වේලාව සවස 4.30 ය. පන්නිපිටිය ධර්මපාලය ලඟ එකම සෙනග පොදියකි. වාහන හිරවී ඇත.
මා සිතුවේ අනතුරක් කියා වුවද ඉබි ගමනෙන් පාසල අසලට යනවිට තේරුම් ගත්තේ ඒ සවස පන්තියක් හෝ පුහුනුවක් හෝ කුමක් හෝ ඉවර වී තම දරුවන් අරගන්නට ආ දෙමාපියන් විසින් වාහන එක පොදියේ පාසැල් ගේට්ටුව ලඟ නවත්ත්වා දරුවා ගන්නට පාර්ක් කර ඇති බැවිනි.
ඉබි ගමනින් යන මා දුටුවේ මගේ හොඳම යහලුවන් දෙදෙනෙක්ද ඒ අතර සිටිනා බවකි. එකෙක් මේ මහරගමය. පාර අයිනේය. අනෙත් එකා ගොඩගමය . බසයෙන් බැස පයින් යන දුරය . එකෙකුගේ දරුවා 10 වසරේ ගැහැණු දරුවෙකි . අනෙත් ගොඩගම එකාගේ දරුවා පිරිමි දරුවෙකි ඒත් දහය වසරේය .මම මුන් දෙදෙනාටම කෝල් කරෙමි. උන් දෙදෙනාම වේලාසනින් ඔෆිස් එකෙන් ඇවිත් දරු දෙදෙනා ගන්නට පාසල ලඟ ඉන්නා බව උත්තර ලෙස ලැබින .මුන් දෙන්නාම මම වාගේම ගම් බයියෝ දෙන්නෙකි. එකෙක් මතුගමය . අනෙකා මාතරය .කොලඹින් ඉඩම් අරන් කොළඹ ඒ කියන්නේ ගොඩගම සහ මහරගම පදින්චි වෙලාය .
හෙමින් හෙමින් ඉබි ගමනින් මා නුගේගොඩ දෙසට එන අතරේ ඒ ගැන කල්පනාවට වැටුනෙමි.මට ආ පළවැනි ප්රශ්නය වූයේ දහය වසරේ ලමයෙකුට කොට්ටාවේ සිට මහරගමට තනි එක බසයෙන් එන්නට බැරිද ? අවිස්සාවේල්ලට යන බසයේ නැගී ගොඩගමින් බැසිය නොහැකි ඇයි දැයි යන්නය .බස් දෙකකින් යන්නට උවමනා නැත .ඒත් දරුවන් කිලෝ මීටරයක් දෙකක් වත් ඉඳහිට බස් වල නොයවා කාර් එකෙන්ම රැගෙන යාම ඒම කරන්නේ දරුවන්ට ඇති අප්රමාණ ආදරය නිසාය .වේලාසනින් ඔෆිස් එකෙන් ඇවිත් දරුවා බස් එකේ නොයවා කාර් එකේ අරන් යන්නේ අන්න ඒ ආදරය නිසාය .
එහෙත් මට එහෙම කියා එකඟ විය නොහැකි කාරනා කිහිපයකි .ඒ ධර්මපාල පාසැලේ ගේට්ටුව ලඟ එක පොදියට ගසා තිබූ වාහන පොදිය මාගේ පමනක් නොව ඒ වෙලේ පාරේ ගමන් කරමින් සිටි සියල්ලන්ටම මේ වාහන පොදිය පාර්ක් කර ඇති අවිධිමත් ආකාරය බලපෑ බැවිනි. එතන කිසිඳු විනයක් නොතිබුණි.
මගේ යහලුවන් දෙදෙනාම කරුවලේ කුප්පි ලාම්පුවෙන් පාඩම් කෙරූ පයින් ගමේ ඉස්කෝලෙට ගිය එවුන් නිසා තමන් තමන්ගේ දරුවන්ට එසේ නොවිය යුතුයි මුන් කල්පනා කරනවා විය යුතුය. අනෙක සෙන්ග පිරුනු බසයක දරුවෙක් යැවිය හැකිද යන්න ඔවුන් කල්පනා කරනවා විය හැක.එය දරුවන් වෙනුවෙන් ඇති අසීමිත ආදරයයි.එහෙත් එහෙම කියා හිත හදා ගැනීමට නොහැක . මගේ කල්පනාවේ හැටියට මේ දරුවන් ඒ නවයක් ගත්තා වුවද සමාජානුයෝජනය තුල අවුලක් ඇති දරුවන් බවට පත් වීමට මේ දෙමාපියන්ගේ මෝඩ ආදරය බලපාන්නට ඉඩ
ඇති බවයි.
බස් එකක යෑම මට කෙටි කතාවකි .මුහුණු කියවීම තරම් තවත් රසයක් ලොව නැත.වීදුරුවෙන් එළිය බලාගෙන විඩාබර දැසින් කල්පනාවේ නිමග්න වූ මිනිසුන්ගේ කම්මුල්වල පවා කතාන්දර ඇත. මැලියම් බැඳුනු දත් බුලත් කහට නහය උඩ සුදු සිහින් කුඩු කලු ඩොට්ස් දාඩිය එක එක කතා බහ ජැක් ගැහිලි ප්රේම කතා දාඩිය ගඳ පු+ක මිරිකිළි හොරෙන් යෑම් ඉවසීම කේන්තිය කලකිරීම මේ ඕන මගුලක් බස් වල ඇත .ඒවා ජීවිතයට කෙතරම් වැදගත් හැඟීම් ගෙන එන්නේද?
මේ අවුරුදු පහලවේ ලමයින් බස් එකක නොයා හැදීමෙන් අහිමි වන්නේ විශාල අත්දැකීම් සමුදායකි. රෝස් කැලෙන් ගෙනැත් රෝස මල් යහනාවක සතප්පවා උගත් ගොන් තඩියෙක් අවසානට මෙන්න මේ ගොන් ආදරය විසින් සමාජයට දායාද කරති. ඉතින් දැන් ඉන්නේ ඉතාම කීකරු තනියම ඉන්න දන්නා ඒ නමයකි. ඒ තුනකි. එක්කො දොස්තරයෙකි. ඉන්ජිනේරුවෙකි. ඔය මොකෙක් හරි උගතෙකි.මාස්මිලෝස් වැනි මටසිලුටු සුදු මුදු සම ඇති බෝනික්කෙකි. අත්වල මස් ගොබ ලොකු පච්ච කෙටූ බඩේ සික්ස් පැක්ස් ඇති නලුවෙකි.හැබැයි ගොන් තඩියෙකි. ක්‍රීඩාවක් නැත.සමාජයක් නැත.ඥාතියෙක් අසල්වැසියෙක් නැත . රස්තියාදුවක් නැත..කොටින්ම හරි හමන් සාරයක් නැත.
අපේ රටේ අනාගතයට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටා ආරක්ෂාව ලැබේවා..
@Sarath Premathilaka fb