SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

« I have a dream »  මාටිං ලුතර් කිංගේ ඓතිහාසික දේශනයට වසර 60ක් පිරේ!

 මීට වසර 60කට පෙර එනම් 1963 අගෝස්තු 28 වැනිදා ඇමරිකාවේ 250,000කට අධික කළු හා සුදු ඇමරිකානුවන් වොෂින්ටන් නගරය වෙත පෙළපාලියකින් පැමිණ සමානාත්මතාවය, නිදහස හා සිවිල් අයිතිවාසිකම් රට තුළ තහවුරු කරන ලෙස ඇමරිකානු රජයට බලකරමින් ඉල්ලා සිටියහ. පැමිණි සිටි දහස් සංඛ්‍යාත ජනතාව ඇමතූ එවකට වයස අවුරුදු 34ක් වූ ඇමරිකන් පාස්ටර් වරයෙකු වූ මාටිං ලූතර් කීංගේ දේශණය ඒ යුගයේදී ලොව පුරා දැඩි කතා බහට ලක් විණි.

 

මෙම දේශණය හේතුවෙන් ඔහුට තම ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ඔහු කිසිදා සිතුවේ නැත. මේ අතර ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් සඳහා වූ සංවිධාන මෙම 60 වන සංවත්සරය පිලිබඳ පවසනුයේ මාටින් ලූතර් කිං විසින් ආරම්හ කල අරගලය තවමත් අවසන් වී නොමැති බවයි. 2023 අගෝස්තු 28 වැනිදා ඇමරිකානු මානව අයිතිවාසිකම් හා සිවිල් අයිතිවාසිකම් සඳහා වූ සංවිධාන සමානාත්මතාවය හා යුක්තිය දිනා ගැනීම සඳහා නැවත වරක් පා ගමනින් වොෂිංටන් නගරය වෙත පැමිණීමට නියමිතය.

 

1929 ජනවාරි 15 වන දින ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්ත්‍රයේ ඇට්ලන්ටා හි උපත ලැබූ මාටින් ලූතර් කිං අප්‍රිකා-ඇමරිකානු බැප්ටිස්ට් දේවගැතිවරයෙකු සහ ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ අවිහිංසාවාදී ක්‍රියාකාරිකයෙකු විය. සිවිල් අයිතිවාසිකම් නායකයෙකු ලෙස ඔහු ගතකළ වසර 13 තුළ සුළු වැරදි සහ සිවිල් විරෝධතා උල්ලංඝණය කිරීම් මත 30 වතාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඇමරිකාවේ montgomery ප්‍රදේශයේදී සුදු ජාතිකයෙකුට තම අසුන දීම ප්‍රතික්‍ෂේප කල සුප්‍රකට රෝසා පාර්ක්ට එරෙහිව එරට නඩු තීන්දුවකින් ප්‍රාදේශීය නීති උල්ලංඝනය කිරීමේ යටතේ ඇයට ඩොලර් 15ක දඩයක් හා සිර දඬුවමක් නියම කරන ලදී. එයට එරෙහිව එවකට වයස අවුරුදු 26 හැවිරිදි වියේ පසු වූ පාස්ටර් මාටින් ලූතර් කිං විසින් මෙම අත්අඩංගුවට පත්වීමට විරෝධය පා ජනතාව සංවිධානය කිරීමට නායකත්වය ලබා දෙන ලදී. සිවිල් නීති කඩකිරීමේ සාමකාමී උද්ඝෝෂන සංවිධානය කරමින් ෆෙඩරල් ආණ්ඩුව පවත්වාගෙන යන ජාතිවාදී නීති අහෝසි කරන ලෙස ඔහු එහි ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබුවේය.

අත් පත්‍රිකා 35,000ක් බෙදා හැරුණු අතර montgomery ප්‍රදේශයම අදාළ බස් සමාගම වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. ප්‍රදේශයේ බස් වර්ජනය දින 381ක් පුරා අඛණ්ඩව පැවතුනි. මාටින් ලුතර් කිංගේ නිවසට හා රෝසා පාර්ක්ගේ නීතිඥයා වන එඩ්ගාර් නික්සන්ගේ නිවෙස් වලට ජාතිවාදී ප්‍රහාර එල්ලකරනු ලැබිණි.

 

ඉන් පසුව ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් සංවිධාන 6ක ප්‍රධාන නියෝජිතයෙකු ලෙස මාර්ටින් ලූතර් කිං “රැකියා සහ නිදහස සඳහා” වූ දැවැන්ත පා ගමනක් වොෂින්ටන් නුවර දක්වා 1963 අගෝස්තු 28 වැනිදා සංවිධානය කරනු ලැබුවේය. පාගමනේ ප්‍රධාන අරමුණ වූයේ ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවල ඇමරිකානු බෙදුම්වාදී යුද්ධයෙන් පසුව තව දුරටත් කළු-අප්‍රිකානු ඇමරිකානුවන් මුහුණ දෙන දුක්ඛිත තත්වය සහ ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් සහ ආරක්ෂාව සහතික කිරීමට මධ්‍යම රජය හා ෆෙඩරල් රජයන් අසමත් වී ඇති බව පෙන්වා දීමටයි. මාර්ටින් ලූතර් කිං ඇතුළු කණ්ඩායමට එල්ල වූ රාජ්‍ය පීඩනය සහ එවකට ඇමරිකාව පාලනය කල ජනාධිපති කෙනඩිගේ බලපෑම හේතුවෙන් තම කථන වලදී අඩු රැඩිකල් බවක් පෙන්වීමට සංවිධායක කරුවෝ අවසානයේ තීරණය කරනු ලැබු බව වාර්තා වේ. ඇතැම් සිවිල් අයිතිවාසිකම් ක්‍රියාධරයින් පැවසුවේ කළු ජනතාවගේ ජීවන තත්වය පිළිබඳ සාවද්‍ය සහ දියාරු දැක්මක් මෙම පාගමන මගින් පිළිපිඹු වූ බවයි. කළු විප්ලවීය නායකයෙකු වූ මැල්කම් එක්ස් කිංගේ පාගමන නම් කලේ “වොෂින්ටනයේ විගඩම” ලෙසයි.

 

කෙසේවෙතත් පා ගමනට සහභාගී වූ දැවැන්ත ජනතාව ඇමතු මාටින් ලූතර් කිං මෙසේ පවසා සිටියේය.

“අදත් ඇමරිකාවේ කළු ජාතිකයන් නිදහස් ජාතියක් බවට පත්ව නැත. කළු ජනතාවගේ ජීවිතය අදත් ජාතිවාදයේ හා වර්ගවාදයේ විලංගු මගින් සිර කර දමා ඇත. අදටත් කළු ජාතිකයින් අන්ත දුප්පත්කමේ පතුළටම වැටී ඇත්තේ ඔහු ජිවත්වන රට දැවැන්ත ධනවතෙක් ලෙස ලෝකය තුළ බැබලෙමින් තිබෙන යුගයකදීය. වසර 100කට පසුත් කළු ජාතිකයින් තම උපන් මාතෘ භුමිය තුලම පිටුවහල් වූ ජාතියක් බවට පත්ව ඇත.

අප අද මේ ස්ථානයට දහස් ගණනින් ඒක රාශි වුයේ මේ අයුක්ති සහගත සමාජ ක්‍රමය හෙළා දැකීමටයි. එක්තරා විදියකට ගතහොත් අපි අද අපේ රටේ අගනුවරට ආවේ චෙක්පතක් මුදල් බවට පත් කර ගන්න. අපේ ජනරජයේ නිර්මාර්තෘවරුන් විසින් ඉදිරිපත් කළ නිදහස් ප්‍රකාශනයේ මුලික අයිතිවාසිකම් මත පදනම්ව රටේ ව්‍යවස්ථාව අලංකාර ලෙස සකස් කළ විට, ඔවුන් ඇමරිකාවේ ජීවත්වන සෑම ඇමරිකානුවෙකුටම උරුම විය යුතු චෙක්පතක් අත්සන් කළා. මෙම චෙක්පත සියළුම ජාතීන්ට කළු සහ සුදු යන භේදයකින් තොරව, ජීවිතය, නිදහස සහ සතුට භුක්ති විඳීමේ අහිමි කළ නොහැකි මූලික අයිතිවාසිකම් සහතික කරන බවට පොරොන්දුවක් එමගින් ලබා දෙනු ලැබුවා. එහෙත් ඒ පොරොන්දුව ඉටු කිරීමට ඇමරිකානු පාලනය අපෝසත් වුණා. මෙම ශුද්ධ වූ පොරොන්දුව ඉටුකිරීම වෙනුවට ඇමරිකාව කළු ජනතාවට ලබා දී තිබෙන්නේ වටිනාකමක් නොමැති චෙක් පතක්. අප අද වොෂිංන්ටන් නුවරට දහස් ගණනින් පැමිණ ඉල්ලා සිටින්නේ එදා ඇමරිකාවට නිදහස් ප්‍රකාෂණයෙන් ලබා දුන් එම චෙක්පතේ වටිනාකම යථාර්තයක් බවට පත් කරමින් අපේ නිදහස හා සමාජ සාධාරණත්වය සඳහා වූ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලා සිටීම සඳහා පමණියි. අයුක්තියේ වර්ගවාදී බොරළු මගින් වලලා ඇති සමාජය තුළ යුක්තිය යළි ස්ථාපිත කර ජාතීන් අතර සහෝදරත්වය උදා කිරීමට කාලය පැමිණ ඇත. මේ මොහොතේ දෙඇස් වසාගෙන සිටීම සමස්ත ජාතියටම සිදු කරන නිගරුවක් වන ඇත. 1963 වසර යනු මේ අරගලයේ අවසානය නොවනු ඇත, මෙය මානවවාදයේ අරම්හය සිදු කරන වසර ලෙස ඉතිහාස ගත වනු ඇත.

කළු ජනතාවට පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය ලබා දෙන තුරු ඇමරිකාව තුල විරාමයක් හෝ සාමයක් ඇති නොවනු ඇත. යුක්තියේ දිනය උදාවන තුරු අරගලයේ සුනාමිය සමස්ත ඇමරිකානු ජාතියේ අත්තිවාරම සෙලවීම නතර නොවනු ඇත. අප හදවත් තුල ඇති නිදහස දිනා ගැනීම සඳහා වූ අසීමිත ආශාව වෛරයෙන් හෝ ලේ වැගිරීම් මගින් සංසිඳවා ගැනීමට අපි අපේක්ෂා නොකරමු. අප සැමවිටම අපගේ අරගලය සිදු කරනුයේ අපගේ අභිමානය රැකෙන අයුරින් උසස් විනයක් පවත්වා ගනිමින් පමණි. අපගේ ශ්‍රේෂ්ඨ ඉල්ලීම් කිසිදු ආකාරයකින් කායික ප්‍රචණ්ඩත්වයත් දක්වා වර්ධනය නොකළ යුතුයි.

කළු ජනතාව ලෙස අප විසින් ග්‍රහණය කර ගෙන ඇති ශ්‍රේෂ්ටවූත්, විශ්මිත ජනක වූත් අපගේ සටන්කාමී ආත්මය රටේ සියළුම සුදු ජාතිකයින්ගේ අවිශ්වාසයට හා සැකයට ලක් කිරීමට අප යොමු නොවිය යුතුයි. මන්දයත් අපගේ සුදු ජාතික සහෝදරයින් අද අපත් සමග මේ අරගලය සමග අත්වැල් බැඳගෙන සිටීම අපට ලබා දෙන ශක්තියක් සේම, ඔවුන් අප වෙත ලබා දී ඇති ගරුත්වය පිලිබඳ සාක්‍ෂියක් බව අප අවබෝධ කර ගත යුතුයි. ඔවුන්ගේ ඉරණමත් අප සමග බැඳී ඇති බවට ලබා දෙන සැබෑ ඉඟිය එයයි. අයුක්තියේ මහා පවුර කඩා බිඳ දැමීමට අප එක්ව සටන් කල යුතුව ඇත. අපට ජයග්‍රහණය කළ හැක්කේ අප කැපවීමෙන් එක්ව අරගලය මෙහය වූවොත් පමණි. එම නිසා මෙම අරගලයේදී අපට ආපසු හැරිය නොහැක.

සමහරු අද අපෙන් අසනවා “සිවිල් අයිතිවාසිකම් ක්‍රියා කාරකයින් ලෙස ඔබ සෑහීමකට පත් වන්නේ කවදාද කියා? නීග්‍රෝ ජාතිකයින් පොලිස් ම්ලේච්ජත්වයේ ගොදුරක් වන තාක් අප කිසිදා සෑහීමකට පත් නොවනු ඇත. ඔවුන්ට රට තුළ එක් සීමාවක සිට අනෙක් සීමාවට යාමේ නිදහසේ ගමන් කිරීමේ අයිතිය තහවුරු නොකරන තුරු, “සුදු ජාතිකයන්ට පමණයි” කියා බෝර්ඩ් ලෑලි එල්ලා තිබෙන තුරු, අපේ දරුවන්ට, අපගේ වැඩිහිටි පරම්පරාවට නොසලකන තාක් සහ ඔවුන්ගේ ගෞරවය ලබා නොදෙන තාක් අප සෑහීමකට පත් නොවනු ඇත. මිසිසිපියේ කළු ජාතිකයන්ට චන්ද අයිතිය ලබා නොදෙන තාක්, නිව් යෝර්ක් හි වෙසෙන කළු ජනතාවට තමන් ලබා දෙන චන්දයෙන් ලැබෙන දෙයක් නැති බව ප්‍රකාශ කිරීම නතර වන තුරු අප සෑහීමකට පත් නොවනු ඇත.

අපගේ මුලික අයිතිවාසිකම් පිපාසයට ලබා දෙන ජලය සේ, යුක්තිය අහසට නැගෙන නොසිඳෙන ජල කඳක් ලෙස ගලා යන තුරු අප සෑහීමකට පත් නොවනු ඇත.

මිසිසිපි වෙත ආපසු යන්න, අල්බාමා වෙත ආපසු යන්න, දකුණු කැරොලිනා වෙත ආපසු යන්න, ජෝර්ජියාවට ආපසු යන්න, ලුසියානා වෙත ආපසු යන්න, උතුරු නගරවල මුඩුක්කු සහ ගෙටෝ වෙත ආපසු යන්න, කෙසේ හෝ මෙම තත්වය වෙනස් විය හැකි සහ වෙනස් කළ හැකි බව ඔබගේ ජනතාවට කියා දෙන්න. බලාපොරොත්තු සුන් වූ මිටියාවතේ නොසැලී සිටිමට අධිෂ්ඨාන කර ගනිමු.

මගේ මිත්‍රවරුනි, ඔව්! අපි අද සහ හෙට දිනයේ දැවැන්ත දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූවත් මට තවමත් මෙම සිහිනය තිබේ: එය ඇමරිකානු පරමාදර්ශය තුළ ගැඹුරින් මුල් බැස ගත් සිහිනයකි. එම සිහිනය අනාගතයේ යම් දිනක අපේ රට තුළ උදාවී එහි සැබෑ යථාර්ථක් බවට පත්වනු ඇතැයි මම සිහින දකිමි. “සියලු මිනිසුන් සමාන ලෙස දෙවියන් විසින් මවා ඇති බවට සමස්ත ඇමරිකානු ජනතාවම ස්වයංව අවබෝධ කර ගන්නා තුරු අපි මෙම සත්‍යයන් වෙනුවෙන් සටන් කිරීමට අපට බලකෙරී ඇත.”

කවදා හෝ ජෝර්ජියාවේ රතු කඳුකරයේ ජීවත් වූ කළු වහලුන්ගේ දරුවන්ට සහ ඔවුන්ගේ සුදු වහල් හිමියන්ගේ දරුවන්ට සහෝදරත්වයෙන් එකම මේසයේ එකට අසුන් ගැනීමට හැකි වනු ඇතැයි මම සිහින දකිමි.

අසාධාරණයේ සහ පීඩාවේ ගිනි ඇවිලෙන ප්‍රාන්තයක් වන මිසිසිපි ප්‍රාන්තය පවා නිදහසේ සහ යුක්තියේ ක්ෂේම භූමියක් බවට යම් දවසක පරිවර්තනය වනු ඇතැයි මම සිහින දකිමි.

මගේ මුනුබුරු මිනිබිරියන් හතර දෙනා කවදා හෝ ඔවුන්ගේ සමේ පැහැයෙන් හා ඔවුන්ගේ චරිතයේ වටිනාකමෙන් විනිශ්චය නොකරන ජාතියක සේ ජීවත් වනු ඇතැයි මම සිහින දකිමි.

අනාගතයේ යම් දිනක අල්බමාහි පවා එහි සුදු ජාතිවාදී ආණ්ඩුකාරවරයා සමඟ හා එහි වෙසෙන පිළිකුල් සහගත ජාතිවාදීන් සමඟ කුඩා කළු පිරිමි දරුවන් සහ කුඩා සුදු ගැහැණු දරුවන් සහෝදර සහෝදරියන් මෙන් අත්වැල් බැඳගත හැකි දිනයක් උදා වනු ඇතැයි කියා මට අද සිහිනයක් තිබේ!

මේ සිහිනය සැබෑ වන ඒ ශ්‍රේෂ්ට දිනයේ අපට එකට වැඩ කිරීමට, එකට යාච්ඤා කිරීමට, එකට අරගල කිරීමට, එකට සිරගෙට යාමට, නිදහස වෙනුවෙන් එකට නැගී සිටීමට හැකි වනු ඇත, කවදා හෝ අපි නිදහස් ජාතියක් බවට පත්වන බව දනිමු. එවිට නව අරුතක් ඇති මෙම වචන සහිත ගීත ගායනා කිරීමට සියලු දෙවියන්ගේ දරුවන්ට හැකිවන දිනය බවට එය පත් වනු ඇත: “මගේ රට, ඔබ සමග ඒ නිදහසේ මිහිරි දේශය ගැන මම ගායනා කරමි. ඔබ වෙනුවෙන් මම නිදහසේ ගී ගායනා කරමි. මගේ පියවරුන් මිය ගිය දේශය, වන්දනාකරුවන් ආඩම්බර වූ දේශය, ඔබේ දේශයේ සෑම කඳුකරයකම නිදහසේ සීනුව නාද වේවා! ඇමරිකාව ශ්‍රේෂ්ට ජාතියක් බවට පරිවර්ථනය වීමට නම් මා දුටු එම සිහිනය සැබෑ යථාර්තයක් බවට පත් විය යුතුයි.

සෑම ගමකම, සෑම ගම්මානයකම, සෑම නගරයකම සහ සෑම ප්‍රාන්තයකම නිදහසේ සීනුව නාද කිරීමට අප ඉඩ දෙනවිට, කළු සහ සුදු, යුදෙව් සහ යුදෙව් නොවන, රෙපරමාදු සහ කතෝලිකයන් යන සියලුම දෙවියන්ගේ දරුවන් වන අපට එම දිනය එක්ව සැමරිමට හැකියාව ලැබෙනු ඇත. ඒ ශ්‍රේෂ්ට දිනයේදී පුරවැසියන් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙසේ පැරණි නීග්‍රෝ අධ්‍යාත්මික වචනවලින් වූ විමුක්ති ගීත අපට ගායනා කළ හැකිය:

“අවසානයේ අපි නිදහස් වුනෙමු ! අවසානයේ නිදහස් වුනෙමු! අපව සහෝදරත්වයෙන් සමගි කළාට සර්වබලධාරී දෙවියන්ට ස්තුති වේවා, අවසානයේ අපි නිදහස් වුනෙමු!

 

පසුකාලීනව සුප්‍රකට « I have a dream » ලෙස ලොව පුරා ප්‍රකට වුයේ මාටින් ලූතර් කිංගේ මෙම ඓතිහාසික දේශණයයි.

 

සාමය වෙනුවෙන් සහ කළු ජනතාව විසින් මුහුණ දුන් උග්‍ර දරිද්‍රතාවයට එරෙහිව සටන් කළ ‘මාටින් ලූතර් කිං’ 1968 අප්‍රේල් 04 වන දින ටෙනසි හි මෙම්ෆිස්හිදී ඇමරිකානු සුදු ජාතිවාදියෙකු විසින් ඝාතනය කරන ලදී.

 

“ජාතියක් විසින් ජාතිවාදය නිර්මාණය නොකරන නමුත් ජාතිවාදය විසින් ජාතිය නිර්මාණය කරනු ලබයි” මාටින් ලූතර් කිං ලියා තැබීය.

 

කෙසේ වෙතත් මාටින් ලුතර් කිං විසින් ආරම්හ කළ ඇමරිකානු කළු ජනතාවගේ සමානාත්මතාවය වෙනුවෙන් වූ අරගලය තවමත් අවසන් වී නැත.

FBI සංඛ්‍යා ලේඛනවලට අනුව, 2020 සිට එක්සත් ජනපදයේ ජාතිවාදී අපරාධ ඉතා වේගයෙන් වැඩි වෙමින් පවතී. එහි ප්‍රධාන ගොදුර බවට පත්ව ඇත්තේ ඇමරිකාවේ කළු ජනතාව වේ. පසුගිය වසරේ ඇමරිකානු පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම සහ ඒ හේතුවෙන් ඇවිලී ගිය BLACK LIVES MATTER ව්‍යාපාරයේ විරෝධතා නිසා ඇමරිකාවේ ජාතිවාදය ඉතා බරපතල ලෙස ලොව පුරා ප්‍රශ්ණ කිරීමට ලක් විණි.

 

උපුටාගැනීම - lankatruth

නවතම ලිපි