SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර sri lankan leader වෙබ් අඩවියේ සංවාදය නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සමගයි.

  • මම මැතිවරණ දේශපාලනයට පක්ෂ දේශපාලනයට පිවිසෙන්නෙ සිරිමාවො බණ්ඩාරනායක මැතිණිය සහ මංගල සමරවීර හිටපු ඇමතිතුමා නිසා.

 

  • සම්බන්ධන් මැතිතුමාගේ ප්‍රකාශය මට ජනාධිපතිකමට වඩා වටිනවා.

 

  • මේ වතාවෙත් ඩොලර් උත්පාදනය සඳහා ආණ්ඩුවෙන් හඳුන්වල දීපු එකදු ව්‍යාපෘතියක්වත් නැහැ.

 

  • හිතුවක්කාර විදිහට ඒකාධිපති විදිහට තීන්දු ගන්න රටකට සංවර්ධිතයි කියන්න පුළුවන්ද?

 

  • ගෝඨාභය කියන්නෙ අදේශපාලනික අහිංසක නායකයෙක්!

 

(01)

2000 මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා ඔබට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඇමරිකාවේ පදිංචියට යනවා. ආපහු ඔබ ලංකාවට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපති සටන සඳහා. ඉන්පසුව රාජපක්ෂවරු තමයි ඔබව පාලිමේන්තුවට අරන් දේශපාලනයේ පිහිටවන්නේ. ඒ නිසා ඔබ දැඩි රාජපක්ෂවාදියෙක් ලෙස දිගටම ඔවුන් වෙනුවෙන් පෙනීසිටිය බවත්  ඔබ ඔවුන්ගේ සියලු බලහත්කාරී ක්‍රියා සාධාරණිකරණය කළා කියලත් බොහෝ දෙනා කියනවා.

ඒ අනුව දැනටත් ඔබට එල්ලවෙන චෝදනාවක් තමයි ඔබ එලියට ඇවිත් දැනුත් කරමින් ඉන්නේ නාමල් රාජපක්ෂගේ අනාගතය ගොඩනැගීම සඳහා වන දේශපාලන ව්‍යාපෘතියක් කියන එක. ඒක එහෙමද?

අංක එක ඒ චෝදනාව මම පිළිකුලෙන් යුතුව බැහැර කරනවා. ඒ ප්‍රශ්නයම වැරදියි. මොකද මම 2001 මැතිවරණයට තරඟ කරනවා. මම පාර්ලිමේන්තුවෙන් සහ දේශපාලනයෙන් ඉවත් වෙන්නෙ නොමිනේෂන් හම්බඋනේ නැති ප්‍රශ්නයක් හින්ද නෙවෙයි. දිස්ත්‍රික්කයෙන් පළවෙනිය විදිහට තේරී පත්වෙලා ඉන්න වෙලාවේ ඒ දේශපාලනයට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එක්ක ඇතිවුනු අභ්‍යන්තර අර්බූධ වලදි, ආණ්ඩුව තුළ ඇතිවෙච්ච අර්බූධවලදිඅර්බූධවලදි ඇතිවෙච්ච කළකිරීම් එක්ක තමයි මම දේශපාලනයට නැවත එන්නෙ නැහැ කියල යන්නෙ. ඒනිසානෙවයි ඒක නිවැරදි වෙන්න ඔින  මම කිසිසේත්ම නොමිනේෂන් හම්බඋනේ නැති නිසා මම ඇමරිකාවට ගියා නෙවෙයි. ඒක වැරදි අර්ථ කථනයක්.

දෙවැනි කොටස මම කවදාවත් රාජපක්ෂවාදියෙක් වෙලා හිටියෙ නැහැ. බොහෝ දෙනා දන්නවා අභ්‍යන්තරික හැම කාරණාවකදීම මම නිවැරදිභාවය වෙනුවෙන් පෙනී ඉඳල තියෙනවා. රාජපක්ෂවාදියෙක් වෙලා හිටියනම් මේ මොහොතෙ මට එතැනින් ඉවත්වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක මට දිගටම ගෙනියන්න තිබුණ.

අවසාන කොටසෙ ප්‍රශ්නයෙ මේ මොහොතෙ අපි සියළු දෙනාම ඉතාම කැපවීමෙන් ඉන්නෙ, මේ රටේ ‌ඵෙතිහාසිකව පවුල් දේශපාලනයට නතුවෙච්ච සංස්කෘතිය ඉන් මුදවා ගැනීමේ කටයුත්තක් වෙනුවෙන් තමයි අපි පෙනී ඉන්නෙ. පුද්ගලික අපේ උවමනාවන් වෙනුවෙන් නෙවෙයි. ඒක ඉතාම පැහැදිලි කාරණාවක්.

(02) 

ඔබ රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනීසිටිය හැටියට රාජපක්ෂවරුන්ට ද්‍රෝහී වේවි කියල කිසි කෙනෙක් හිතුවේ නැහැ. ඔබව නැවත දේශපාලනයට ගෙනාපු රාජපක්ෂවරුන්ට එහෙම කරන්න පුළුවන් උනේ කොහොමද?

 

මම දේශපාලනයට පිවිසෙන්නෙ අහම්බෙන්. මම මැතිවරණ දේශපාලනයට පක්ෂ දේශපාලනයට පිවිසෙන්නෙ සිරිමාවො බණ්ඩාරනායක මැතිණිය නිසාත් මංගල සමරවීර හිටපු ඇමතිතුමා නිසාත්. ඒ දෙන්න තමයි මම මැතිවරණ දේශපාලනයට එකතුකර ගන්නෙ.

නමුත් මම කිසිම කෙනෙක්ගෙ කිහිලිකරුවක් විදිහට දේශපාලනයට ඇවිල්ල නැහැ. නමුත් අපි ආණ්ඩුවක් ඇතුලෙ ඉන්නකොට, මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක මගේ ඉතා සමීප සම්බන්ධතාවයක් තිබුන,ඒක කාටවත් නෑ කියන්නත් බැහැ, මම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒක මිත්‍රත්වය මත ගොඩනැගුනු එකක් මිසක් මම කවදාකවත් දේශපාලන ලොන්ඩ්‍රියක වැඩ කරන්න ගිහිල්ල තිබ්බෙ නැහැ. එහෙම උනානම් පහුගිය පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙදි හෝ පහුගිය මැතිවරණවලදි ඒ ආකාරයෙන් කටයුතු වෙන්නෙ නැහැනෙ.

ඔබ දකින්න ඇති පහුගිය අගෝස්තු මහා මැතිවරණයෙදි ගත්තොත් මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් වේදිකාවල මැතිවරණ පොරොන්දුවක් විදිහට තිබුණෙ අගෝස්තු මාසෙ 05 වෙනිදා මැතිවරණය තියෙනවා, 06 වෙනිදා ඉඳල ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ඇමති නෙවෙයි කියල. ඒ තරම් ප්‍රාථමික තැනට තල්ලු වෙලා. ඒ සියල්ලෙන්ම තහවුරු වෙන්නෙ කිසිලෙසක කිහිලිකරු දේශපාලනය කලානම් ඒ තත්වය ඇතිවෙන්නෙ නැහැ කියන එක.

එදා අපි මාධ්‍ය ජීවිතය ආරම්භ කලෙත් එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ ආණ්ඩුවේ තිබිච්ච ම්ලේච්ඡත්වයට, ඒ වෙලාවෙ තිබුනු ඒකාධිපති වියරුවට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කිසිදු ආකාරයක ආවරණයක් ඇතිව නොවෙයි. පිටිපස්සෙන් තල්ලුවක්, රක්ෂනයක් ඇතුව නොවෙයි. ඒ ප්‍රතිපත්තියම තමයි අඛණ්ඩව මම ඉදිරියට ගෙනියන්නෙත්.

මම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කොයිතරම් කාලයක්ද කියන එක මට වැදගත් නැහැ, පාර්ලිමේන්තුවේ දරන්න වෙන තනතුරු මට වැදගත් වෙන්නෙත් නැහැ, නමුත් හෙට දවසෙත් හෘදසාක්ෂියක් ඇතුව මේ දේශපාලන භූමියෙන් ඉවත්වෙලා යන්න උනත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව. මොකද මගේ වරප්‍රසාධ මම විකුණගෙන කාල නැහැ. සහ මම මගේ හෘද සාක්ෂියට එකගව තීන්දු අරගෙන තියෙනවා. ඒ නිසා මට බොහොම පැහැදිලිව 93 මැතිවරණයට ආපු පත්‍රිකාවෙ ලියපු දේ ඒ අනුවම ඉඳගෙන මට ඔින මොහොතක විතැන් වෙන්න පුළුවන්. මහා විශාල බලාපොරොත්තු කන්දරාවක් අරගෙන අපි දේශපාලනයට ආපු කට්ටියක් නෙවෙයි.

 

(03)

පලාත්පාලන මැතිවරණය සඳහා ඔබ ඇතුළු කණ්ඩායම ගෙනාපු  හෙලිකොප්ටරය උඩට නග්ගන්නත් කලින් සුනු විසුනු උනා කියල මාධ්‍ය වාර්තා ගියා. ඔබ සමග හෙලිකොප්ටරයෙන් පලාත්පාලන ආයතන වෙත තරඟ කරන්න ඉදිරිපත් උනේ රාජපක්ෂ පාලන සමයේ පළාත් පාලන ආයතන නියෝජනය කරපු අය. ඒ සෑහෙන කොටසක් ඔබ සමග එකතු උනා. ඒ අයගෙන් බහුතරයක්  විවිධ දූෂණ මැර ක්‍රියා සඳහා චෝදනා එල්ල වූ, නමුත් ‘රාජපක්ෂ බලය’ පාවිච්චි කරල ඒවායින් බේරුණු කුප්‍රකට පළාත් පාලන ආයතන නියෝජිතයින්.

මේ නිසාම ඔබගේ  පක්ෂය හරහා  2022 ජූලි 9 ඇති උන සිද්ධීන් නිසා යන එන මං නැතිව අනාත වී සිටි අයට නිවහනක් තනා දීම ඔබේ කාර්ය උනා කිව්වොත් සහ නැවත රාජපක්ෂ දේශපාලනය ගොඩනැගීමේ, ඒ කියන්නේ නාමල් රාජපක්ෂගේ අනාගත වැඩපිළිවෙල සඳහාමයි කියල චෝදනා කරද්දි  ඔබට එය ප්‍රතික්ෂේප කල හැකිද?

 

මම මේකට අංක ගණිතයෙන් සහ දේශපාලන විද්‍යාවෙන් කියන දෙකෙන්ම උත්තරයක් දෙන්නම්.

අපි හෙලිකොප්ටරය කියන ලාංඡනය යටතෙ එකතු වෙච්ච පක්ෂය විසින් ඉදිරිපත් කරපු සමස්ත අපේක්ෂකයො ගණන ලංකාවෙන්ම හයදහස් දෙසිය ගණනක්. මේ හයදාහස් දෙසිය ගණන ඇතුලෙම ඔබ ඔය කියපු මන්ත්‍රීවරු හිටියෙ සමස්ත රටෙන්ම  හාරසීය හැත්තෑවක් විතර ප්‍රමාණයක් විතරයි. සමස්ත සාමාජිකත්වය ඇතුලෙ පොහොට්ටුව නියෝජනය කරමින් හිටපු ප්‍රමාණය තමයි ඒ ගණන. එතකොටම මේ චෝදනා නිකංම ප්‍රතික්ෂේප වෙනවනෙ. තුන්දහස් ගණනක් පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු ඉද්දි ඒකෙන් සියයට දහයක් තරම් තමයි අපේ අපේක්ෂකයො උනේ. එතැන අහන්නවත් නඩුවක් නැති තරම්. සාඛ්‍යාත්මකව වගකීමෙන් මේ කියන්නෙ. ඒ හින්ඳ ඒක ජනප්‍රිය දේශපාලන චෝදනාවක් විතරයි.

දෙවැනි කාරණය තමයි, උදාහරණයක් විදිහට දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය ගන්න. ඒ බොහෝ  පළාත්පාලන ආයතනවලට මේ මැතිවරණ නාමයෝජනා පත්‍ර බාරදීල තිබියදී පවා මැතිවරණ නීති පවා උල්ලංඝනය කරමින් පළාත්පාලන ආයතනවල ‌ලේකම්වරු ක්ෂනිකව මාරු කරල දැම්ම පළාත් සභාවෙ ආණ්ඩුකාරවරයින් විසින්. හිටපු මන්ත්‍රීවරුන්ට, හිටපු සභාපතිවරුන්ට ඔවුන්ට අවැසි පරිදි කටයුතු කරන්න හිටපු ලේකම්වරු ඉඩදෙයි කියන පූර්ව නිගමනයත් එක්කයි එහෙම කලේ. ඒ වගේම ඔවුන් අධිකරණයට ගියා මේ මන්ත්‍රීධූර වලින් ඔවුන්ව ඉවත් කරන්න. අපි අධිකරණයෙන්  විශාල පරිශ්‍රමයක් දරල  දිස්ත්‍රික් අධිකරණවලට, අභියානාධිකරණයට ගිහින් තමයි ඒ නියෝග ඉවත් කරගත්තෙ. අපි එක්ක එකතු වෙච්ච මන්ත්‍රීවරුන්ව පක්ෂයෙන් නෙරපල, විනය පරීක්ෂන ගෙනල්ල දේවල් කරන්න උවමනාවක් නැහැනෙ ඔවැනි ගිවිසුමක් තිබුණනම් එහෙම.

 

 

(04) 

ගෝඨාභය ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවුනු ජනාධිපති පුරප්පාඩුව පුරවන්න තියපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්දයෙදි ඔබ පරාජය  වෙන්න බලපාපු හේතුව මොකක් කියලද හිතන්නෙ? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් කිව්ව ඔවුන් දාපු නියෝජිතය ඔබ කියල, ඔහු ඡන්දය දුන්නෙ ඔබට කියල. ඔබේ පරාජයට බලපාපු හේතුව මොකක්ද?

 

ඉතාම නිරවුල්ම හේතුව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තීන්දුවක් ගත්තා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්න කියල.  ඒ තීන්දුව ගැනීමට පාදක වෙච්ච කාරණා ගැන නෙවෙයි මම මේ කියන්නෙ. මොන තත්වයක් යටතෙ හරි රටේ පළමුවෙනි පුරවැසියා හැටියට ඔහු පත්වෙලා තියෙනවා. ඒ මැතිවරණ ජයග්‍රහණය සඳහා පාවිච්චි කරපු උපක්‍රම, උපායමාර්ග, කරපු මෙහෙයුම්, ඒ මෙහෙයුම්වල තියෙන ප්‍රාථමික ගතිලක්ෂන.. මේ ගැන කතාකරන්න බොහො කාරණා තියෙනවා. නමුත් මැතිවරණයකින් පස්සෙ අපේ රටේ හැමදාම කියන දේ තමයි පරාජිත අපේක්ෂකය කියනවා කම්පියුටර් ජිල්මාට් කියනවා, අරක කියනවා මේක කියනවා. විවිධ දේ කියනවා පරාජය නිහතමානීව පිලිගන්නෙ නැතිව විවිධ අර්ථනිරූපන ගේන්න උත්සාහ කරනවා පරාජය වසන් කරගන්න. මම ඒකට කැමති නැහැ. විවිධ ක්‍රියාමාර්ග සිද්ධ උනත් ඡන්දය මිළදී ගැනීම වගේ සාම්ප්‍රධායික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක උනත් ඒක සංඛ්‍යාත්මක නිවැරදිව සිද්ධ වුන ඡන්දයක්. පාර්ලිමේන්තුවෙ හොර ඡන්ද නැහැනෙ.

මේ සියල්ලම අභිබවා ගියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් තීන්දුවක් ගත්ත ඒ මැතිවරණයට සහයෝගය දෙන්නෙ නැහැ කියල. හොඳටම පැහැදිලියි කව්ද  රනිල් වික්‍රමසිංහ මැතිතුමාව යෝජනා කලේ කියල. කව්ද ස්ථිර කලේ? මයික්‍රෆෝනයක් ඉදිරිපිට කව්රු මොනව කිව්වත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ දේශපාලන  න්‍යාය පත්‍රයේ ක්ෂනිකව හෝ අප්‍රකාශිත කාරණාවක් නිසාවෙන් තීන්දුවක් ගත්ත ඩලස් අලහප්පෙරුම පරාජය කරන්න ඔින කියල. ඒ තීන්දුව තමයි ක්‍රියාත්මක උනේ. ඒ තීන්දුවට එරෙහිව හිටියෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විසිගානයි. ඒ විසිගානෙන් 13 දෙනෙක් මමත් එක්ක ආණ්ඩුවෙන් ඉවත් උනා. තවත් කිහිප දෙනෙක් ස්වාධීන පක්ෂවල ඉන්නව. තවත් කිහිප දෙනෙක් ආණ්ඩුව ඇතුලෙ ඉන්නවා.

අපි මේ මැතිවරණයෙදි ලබාගත්තු විශිෂ්ටම ජයග්‍රහණය තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට සමස්ත විපක්ෂයම එකතුවීම. ඒ එකතුවෙ සියළු දෙනාගෙම ඡන්ද ලැබුනද නැද්ද කියන එක වෙන කාරණාවක්. හැබැයි ඉතාම පැහැදිලිව ජවිපෙ මන්ත්‍රීවරු තුන්දෙනා හැරෙන්න අනික් සියළු පක්ෂ එකට හිටගත්ත. ඒක මගේ ඉතිහාසය තුළ මම දැකපු ප්‍රථම අවස්ථාව.

 

දැන් මේ මොහොතෙත්  රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට ඉල්ලීම් කරන්නේ ආයාචනා කරන්නෙ විපක්ෂය එකට එකතු වෙන්න ඔින කියල. ඒ ආරාධනාව පිටිපස්සෙ තියෙන්නෙ දේශපාලන ප්‍රලාපයන් බව පේනවා. නමුත් ඔහු උත්සාහගන්නෙ මේ විපක්ෂය කිසියම් ආකාරයකින් එකට තියාගන්න ඔිනි කියන තැන. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් අවසාන අව්රුද්දෙ උත්සාහ ගත්තෙ විපක්ෂය එක්ක යම් සම්මුතියක් ඇති කර ගන්න. නමුත් ඒක කරන්න බැරිඋනා. මම ආඩම්බර වෙනවා ඒ  මැතිවරණයෙදි ඒ සම්මුතිය අපි ජවිපෙ හැර අනික් විපක්ෂයේ සියල්ලොම එක්ක ඉතිහාසයෙ පළවෙනි වතාවට ඇතිකරගන්න පුළුවන් වීම ගැන.

 

TNA පක්ෂයේ නායකයා සම්බන්ධන් මැතිතුමා ප්‍රසිද්ධියේ කිව්වා අපි පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුව ඇතුලෙ දකුණෙ නායකයෙක්ට ඡන්දය දෙන්න තීරණය කළා, කරුණු දෙකක් උඩ කියල. පළවෙනි කාරණාව ඩලස් අලහප්පෙරුම කියන්නෙ ජාතිවාදියෙක් නෙවෙයි, දෙවෙනි කාරණාව ඩලස් අලහප්පෙරුම කියන්නෙ හොරෙක් නෙවෙයි, කරප්ටඩ් පොලිටීෂියන් කෙනෙක් නෙවෙයි කියල. ඒ නිසා අපි ඡන්දය දෙන්න තීන්දු කලා කියල කිව්ව.

 

ඒ අනුව සම්බන්ධන් මැතිතුමාගේ ප්‍රකාශය මට ජනාධිපතිකමට වඩා වටිනවා.  ඒ මගේ දේශපාලන ජීවිතයේ අස්වැන්න ඒ තියෙන්නෙ. ඒ සතුට මට තියෙනවා. අපි කවදාකවත් ජනාධිපති වෙන්න , අගමැති වෙන්න , ඇමති කෙනෙක් වෙන්න දේශපාලනයට ආව කට්ටියක් නෙවෙයි. ඒක මට අභිමානයට කාරණාවක්. නමුත් අවසාන මොහොතෙ අවසාන පැය විසිහතරෙ වෙච්ච මෙහෙයුම් කිහිපයක් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලෙ අපිත් එක්ක ඇවිල්ල එකට කතාකරල ඡන්දය දෙන්න තීරණය කරල හිටපු විසිගානක විතර ප්‍රශ්නයක් මතු උනා. මේක කුමන්ත්‍රණයක් නෙවෙයි  එළිපිට මහදවල් හයිවේ රොබරියක් විදිහට තමයි ක්‍රියාත්මක උනේ.

 

(05) 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක උනා. ඒ නිසා දැන් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුලින් ණය ප්‍රශ්නයත් විසඳෙන්න නියමිතයි. ඒ නිසා IMF ඉතුරු ණය වාරිකයත් ඉදිරියේදී ලැබෙනවා. ලෝක බැංකුවේ ඩොලර් මිලියන 700ත් ලැබෙනවා. ඒක ඍජුවම දෙන්නේ ජනාධිපතිවරණය සඳහා කියල පේනවා... ජපානයෙන් ඩොලර් බිලියන දෙකක ආදාරයක් ලැබෙනවා. ඉදිරි අවුරුදු තුන සඳහා ඩොලර් බිලියන 20ක ණය ගන්න නියමිතයි...

ඔය ටික කෙරෙන කොට 2017-2018 කාලයේ තිබුන තත්වය නැවත උදාකොට ගන්න පුළුවන්. ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් උන පෙට්‍රල් 117 කරන්නත් ඉඩ තියනවා. දැනට ගෑස් පරණ මිලට ඇවිත්... එහෙම කරලා ජනාධිපතිවරණය තිව්ව ගමන් රනිල් දිනන ඉඩ ඉතාම වැඩියි. පාර්ලිමේන්තුව තුල බොරු විරෝධයක් තිබුනට සියලුම මන්ත්‍රීවරුන්ගේ පොදු එකඟතාවය තමයි රනිල් නිසා තමයි ඒ අය රැකුණේ කියන එක. මොකද අරගලයෙන් ප්‍රතික්ෂේප උනේ 225මයි. ඒ හින්ඳ  ඒක ඒ සියලු දෙනා තුලින් ප්‍රකාශ වෙනවා. ඒ ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?

 

මේ රටේ මේ ආර්ථික ක්ෂය වීම,අවපාතය, ආර්ථිකය කඩා වැටීමෙන් ගොඩඑනව නම් පුරවැසියෙක් විදිහට ඉහලින්ම සතුටු වෙන පුද්ගලයෙක් මම. නමුත් මට දැනට පෙනෙන කාරණය තමයි ණය ගන්නෙ  ලෝක බැංකුවෙන් වෙන්න පුළුවන්, IMF එකෙන් වෙන්න පුළුවන් ජපානයෙන් වෙන්න පුළුවන් වෙනත් රටකින් වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතිහාසය පුරාම ණය ගැනීමට දක්ෂ උනා මිසක ණය ගෙවීමට හෝ ඒ ණය නිවැරදිව ‌ඩොලර් උත්පාදනය සඳහා ආයෝජනය කිරීමට සමත් වෙලා නැහැ.

අයිඑම්එෆ් එකට නවසිය හැටපහේ තමයි පළවෙනි වතාවට යන්නෙ. පළවෙනි ණය ඩොලර් මිලියන 25යි. අපි අයිඑම්එෆ් එකට 17ත් වතාවක් යනවා. 17 වතාවෙන් 08 වතාවක් IMF එකට යනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්කො අගමැතිවරයා එක්කො විෂයභාර ඇමතිවරයා, එක්කො ජනාධිපතිවරයා. හැබැයි මේ දැන් ඉතිහාසය පුරාම IMF එකෙන් ගනිපු ණය,  වෙනත් රටකින් ගනිපු ණය කොහේටද ආයෝජනය වෙලා තියෙන්නෙ? ගැටළුව තියෙන්නෙ එතැන.

මේ මොහො‌තෙ අපිට පොඩි කුෂන් එකක් තියෙනවා. ඇත්ත. ආණ්ඩුව පාර්ශ්වය කියන විදියටම පෝලිම් නැහැ, රුපියල ස්ථාවර වෙලා, ඩොලර් එක ස්ථාවර වෙලා වගේ කාරණා තියෙනවා. ඒක මේ මොහොතෙ  ඇත්තනේ. හැබැයි අපි මේ මොහොත ගත කරන්නේ මේ කිසිම ණයක්, පොළියක්, වාරිකයක් නොගෙවන රාජ්‍යයක් විදිහටනේ. පසුගිය මාස 13ට නොගෙවා හැරපු ණය සහ පොලිය ඩොලර් බිලියන 4.4ක්. ඩොලර් මිලියන 4400ක්. ඒ දැනට වාරික, පොළිය නොගෙවල ඉතිරිවෙලා තියෙන ප්‍රමාණය. ඒ වගේම IMF ඇග්‍රිමන්ට් එකේ තියෙනවා 2028-29 වෙනකොට ඩොලර් බිලියන 25ක් නැවත ගෙවන්න වෙනවා. මේක ලේසි පහසු වැඩක් නෙවෙයි.

මම අහන්නෙ මේ ගන්න ණය කුමකටද ආයෝජනය කරල තියෙන්නෙ?

මේක ණය ගැනීම සඳහා තවත් පාරක් විවෘත කරගැනීමක් විතරක්ද? එහෙම නැත්නම් රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ක්‍රියාමාර්ගයක් විදිහට පාවිච්චි කරනවාද?

මම සරල උදාහරණ දෙකක් ඔබට දෙන්නම්.

මේ ණය අතර තියෙන භයානකම ණය තමයි ISB.( international sovereign bonds ) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර. මේ බැඳුම්කර ඩොලර් බිලියන 18ක විතර අපි අරගෙන තියෙනවා. මෙයින් 12.5ක් විතර අරගෙන තියෙන්නෙ වික්‍රමසිංහ මැතිතුමා අගමැතිතුමා විදිහට 2015ත් 2019 සැප්තැම්බර් මාසයත් අතරෙ. ඒක 07%ක විතර අධිකතර පොලියට ගන්න ඒව. ඒව තමයි බරපතලම ප්‍රශ්න. දිවිපාර්ශ්වික ණය තියෙන්නෙ 1.5% -2% වගේ පොළියට ගනිපු ඒව. මම මේ ඒවා සාධාරනීකරණය කරනව නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ කාලෙත් උනේත් ඒ වගේමයි. නමුත් බරපතල විදිහට මේවා ආයෝජනය කළේ මැතිවරණ ජයග්‍රහණය සඳහා වෙන වෙන උපක්‍රම විදිහට. ඒ අර්බූධයෙන් තමයි අපි හිරවෙලා ඉන්නෙ.

අපේ විදේශ ශ්‍රමිකයො ගත්තොත් නිල සංඛ්‍යා ලේඛනවල හැටියට ඉන්නවා මිලියන  1.2 ක්. නිල නොවන සංඛ්‍යා ලේඛනවල හැටියට ලක්ෂ 16ක් විතර ඉන්නවා. මේ අයගෙන් අපිට ඉතිහාසය පුරාම ලැබුනු වැඩිම මුදල බැලුවොත් ඩොලර් බිලියන 7ක් විතර. හැබැයි වියට්නාමයෙ කජු අපනයනයෙන් ඩොලර් බිලියන 7ක් විතර වාර්ෂිකව රටේ ආර්ථිකයට එකතු කරගන්නව. ඉතිං අපි ලක්ෂ 14ක් 16ක් යවල ඉතිහාසය පුරාම අපිට ගන්න බැරිවෙච්ච මුදල වියටිනාමය කජු අපනයනය කරල අව්රුද්දකට ගන්නව.

GDP (දළ දේශීය නිෂ්පාදිතයේ) එකේ 9%කට අඩු ප්‍රමාණයක් තමයි අපේ remittance වලින් අපිට හම්බ වෙන්නෙ. හැබැයි ඒක තමයි ඉහළම කොටස. මේක ඩබල් කරගන්න පුළුවන්නම් අමතර ඩොලර් බිලියන 7ක් අපිට එකතු වෙනව. මේව නැවත පිටරට යැවීමකුත් නැහැ. ශුද්ධවූ ආදායමක් අපිට ලැබෙන. එහෙම කලොත් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය ඉවරයි. අපිට හැමදාම ඩොලර් බිලියන 4ක5ක6ක ගැප් එකක් එනව ආනයනය සහ අපනයනය අතරේ. අපේ ආදාමය සහ වියදම අතර තියෙන ගැප් එක පුරවන්නනේ අපි මේ ඉතිහාසය පුරාම ණය අරගෙන තියෙන්නෙ. ඉතිං ඒකෙන් මිදෙන්න තියෙන හොඳම පාළම තමයි මෙතන. ඒකට කරන්න තියෙන්නෙ skilled labour එක හදල, පිලිපීනයෙ, මැක්සිකෝවෙ වගේ (තවත් බොහෝ රටවල් ගණනක් කරනවා වගේ,  ඉන්දියාව පවා මේක හොඳටම කරල ඩොලර් බිලියන 100ක් විතර වාර්ෂිකව එකතු කරගන්නවා,) අන්න එහෙම සැලසුමක් ඇතිව ඉලක්කයක් ඇතිව ඒක හඹාගෙන යන්න ඔින. එකම දේ මේ ආණ්ඩුවට එහෙම සැලසුමක් නැහැ.

දැන් අපිට කියන්නෙ 1948 මේක සංවර්ධිත රාජ්‍යයක් කරනව කියල. අපි හිතමු මොහොතකට ඒක ඇත්ත කියල. හැබැයි 48දි සංවර්ධිත රාජ්‍යයක් කියන්නෙ අර ඉතිහාසයේ තිබුනු හඳෙන් හාල් ගෙනත් දෙනව වගේ මැතිවරණ පොරොන්දුවක් වෙන්න බැහැනෙ. සැලැස්මක් තියෙන්න ඔින. සංවර්ධිත රාජ්‍යයක දර්ශක මොනවද? ඒක පුද්ගල ආදායම අවම තියෙන්නෙ ඔින  ඩොලර් 12000ක් විතර. දැනට තියෙන්නෙ ඩොලර් 3700ක් විතර. 48 හීනය හොඳ හීනයක් නම් ඒ 3700, 12000 දක්වා යන විදිහ මොකක්ද? ක්‍රමවේදය මොකක්ද? රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 300ක් විතර වෙන්නෙ ඔින. දැන් තියෙන්නෙ ඩොලර් බිලියන 77ක් විතර.

IMF පුරෝකථනය කරනවා 2028දි අපේ GDP එක ඩොලර් බිලියන 84ක්හෝ 85කට යාවි කියල. අපි නෙවෙයි කියන්නෙ. ඒක ඇත්තය කියල හිතුවොත් තව අව්රුදු 20යි 48ට. අව්රුදු 20කින් කොහොමද 300ට ගෙනියන්නෙ? මේව පුද්ගලික මඩප්‍රහාර නෙවෙයි. මේව ආර්ථික විද්‍යාත්මකව ඉදිරිපත් වෙන්න ඔින කාරණා.

නැතිනම් මුළු දේශපාලන ඉතිහාසයම ගෙවිල තියෙන්නෙ හඳෙන් හාල්, හාල් සේරු දෙක, රැකියා ඔයවගේ පොරොන්දු එක්කනේ. මේකත් තවත් හුදු පොරොන්දුවක් විතරක් වෙනව.

මේ සියල්ලෙන් ණය ගොඩ වැඩිවෙනව. ආයෝජනය නොකර ණය අරගෙන ඉතිහාසය පුරාම කලේ ඒක. මේ වතාවෙත් ඩොලර් උත්පාදනය සඳහා ආණ්ඩුවෙන් හඳුන්වල දීපු එකදු ව්‍යාපෘතියක් වත් නැහැ. මැලේසියාව දූරියන් අපනයනයෙන් ගන්න ආදායම හොයල බැලුවොත් අපි මොනවද කරන්නෙ? අපිට තියෙන හොඳම සම්පත තමයි මානව සම්පත.   

 

(06) 

ඔබ මොනවා කිව්වත් රනිල් බලයේ තියා ගතයුතුයි, රනිල්ට සහාය දිය යුතුයි කියල, ඇමරිකාව ප්‍රමුඛ කඳවුරේ බලපෑමක් තියන බව පේනවා. එහෙම නැත්තම් මේ විධියට ණය කපා හැරීමට එකඟ වෙලා, අළුතින් ණය සහ ආදාර ලැබෙන්නේ නැහැ. ලංකාවේ ව්‍යාපාරිකයෝ දැන් සම්පූර්ණ සහාය දෙන්නේ රනිල්ට. එහෙම නැත්නම් ජන බලයක් නොමැති ජනාධිපතිවරයෙකුට මේ ආකාරයෙන් ඇමරිකාව ප්‍රමුඛ කඳවුරේ සහාය හිමිවෙන්නේ නැහැ. අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රශ්නය ඒ අයට අදාළ නැහැ...

ඒ වගේම මැතිවරණ තියන්න කියල තද බල ඉල්ලීමක් ඔබත් ඇතුළු කිසිම විපක්ෂ දේශපාලන කණ්ඩායමකින් එන්නේ නැහැ. එහෙම වෙන්නේ මෙවෙලේ රනිල්ට ඉඩ දිය යුතුයි කියන පොදු එකඟතාවයෙන් කියන එක පැහැදිලියි. දැන් නිදහස ජනතා සභාව ආරම්භයේ තිබුන තත්වය සුනු විසුනු වෙලා. ඒකෙත් බෙදීම් තියෙන බව පේනවා.

මේ යන විදිහට ඔබ ඉදිරියේදී රනිල්ට සහාය දක්වනවා ද?

 

නිසැකවම නැහැ. මේ මොහොතේ තියෙන පෙළගැස්වීම්වල හැටියට, ජාතික මැතිවරණයක් කිසිම සාධාරණ හේතුවක් නැතිව අවලංගු කරපු, පැත්කට දමපු, දේශපාලන නායකත්වයක් තියෙන්නෙ.

ඇමරිකාව රනිල් මැතිතුමාට සපෝට් කරනව කියල මතයක් එලියෙ  තියෙනවා. සංවර්ධිත රාජ්‍යයක් කියන්නෙ IMF එක ඇතුලෙ ඒකෙ වැඩිම කොටස් තියෙන්නෙ ඇමෙරිකාවට බව ඇත්ත, ඒක කව්රුත් දන්නව. ඇමරිකානු ආයතනවලින් තමයි අපි ඉතිහාසයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වැඩිපුරම අරගෙන තියෙන්නෙත්. එතකොට ඔවුන්ට තමන්ගෙ ණය අයකරගැනීමේ සාධාරණ උවමනාවකුත් ඇති. ස්වෛරීත්ව බැඳුම්කර නොගෙවීම සම්බන්ධයෙන් ඇමරිකානු කොම්පැනි  අධිකරණයට ගියෙත්, ඇමරිකන් ෆෙඩරල් කෝට්ස්වලින් තීන්දු දුන්නෙත් ඔවුන්ට ඔවුන්ගෙ ණය ලබාගැනීමට ඇති සාධාරණ උවමනාව නිසා වෙන්න ඇති.

හැබැයි අපි නිදහස ජනතා සභාව විදිහටත්, පුරවැසියො විදිහටත්, මම පුද්ගලිකවත් මේ මොහොතෙ හිතන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය පැහැර හරින, ඊට පයින් ගහන  දේශපාලන පක්ෂයක නායකයො එක්ක කිසිම දේශපාලන ගමනක් යන්න බැහැ කියලයි. අපේ රටේ ඉතිහාසයෙ පළවෙනි වතාවට තමයි මැතිවරණයක් ප්‍රතික්ෂේප කරන්නෙ. එක්කො මැතිවරණයක් නොතියන්න නෛතික නියෝගයක් තියෙන්න ඔින. එහෙම නැත්නම් සම්මුතියක් තියෙන්නට ඔින. කොවිඩ් වෙලාවෙ සම්මුතියකින් මැතිවරණය මාස 5ක් පස්සට ගත්ත. එහෙම නැත්නම් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් තියෙන්නෙ ඔින. හිතුවක්කාර විදිහට ඒකාධිපති විදිහට තීන්දු ගන්න රටකට සංවර්ධිතයි කියන්න පුළුවන්ද?

සංවර්ධිත රටක් කියන්නෙ, ඒක පුද්ගල ආදායම වර්ධනය වූ පමණින් රටක් සංවර්ධිත වෙන්නෙ නැහැ. මානව සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, සියළුම දේවල් එකතු වෙන්න ඔින රටක සංවර්ධනයට.   

අපිට අදහගන්න බැරි විදිහට ඒකට බාධාවන් පමුණුවමින් පවතින්නෙ. පහුගිය දවස්වල රටේ ඇතිවෙච්ච තත්වය එක්ක මිනිස්සු කම්පනයට පත්වෙලා තිගැස්මකට ලක්වෙලා තියෙනවා. අරගයට පසුබිම් වූ කාරණා, ඒකට මුහුණ දුන් කාරණා, ඊට පසුව ඇතිවූ තත්වයන් පිළිබඳ තිගැස්මක් තියෙනවා. ඒ තිගැස්මත් එක්ක කම්පනයට පත්වෙච්ච සමාජයක් එක්ක අපි මේ කතාකරන්නෙ. ඒ නිසා අපේ කණ්ඩායම කවදාවත් එහෙම එකතු වීමක් ගැන කවදාකවත් කතාකරල නැහැ.

පහුගිය දවස්වල ගෙනාපු පනත් ටික බලන්න. පුනරුත්ථාපන පනත, ප්‍රතිත්‍රස්ත පනත මොනවගේ ඒවද බලන්න. මාධ්‍ය නියාමන පනත බලන්න. ඇයි මේව ගේන්නෙ? මොකක්ද මේවයෙ යටි අරමුණ වෙලා තියෙන්නෙ? මැතිවරණ කල් දමල මේ යන්නෙ වෙන පාරකට.

කම්පනයක වෙච්ච සමාජයක ඔවුන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව නොයෙක් අත්හදා බැලීම් කරන්න උත්සාහ ගන්නව. ඒ හින්ඳ අපේ කිසිම සහායයක් හම්බවෙන්නෙ නැහැ.

 

 

(07) 

ඉතිහාසයේ ඉඳපු ප්‍රජාතන්ත්‍රවාදීම නායකයා ගෝඨාභය කියල සමාජ මාධ්‍යවල කතා වෙනව. ඔබ මේ ගැන මොකද කියන්නෙ.

 

 

ඇත්තටම ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් නෙවෙයි ඔහු අහිංසක නායකයෙක්. මොකද කැබිනට් මණ්ඩලය තුළ අපි ඔහුගෙ ප්‍රජාතන්ත්‍රවාදය දැක්කෙ නැහැ. ඔහු සෘජු, තමන් කියන දේ හරි කියල හිතන කෙනෙක්. කාබනික පොහොර පිළිබඳ ප්‍රශ්නයෙදි උනත් අදාළ විෂ්‍ය භාර අමාත්‍යවරයාගේ සහ අනෙක් අමාත්‍යවරුන්ගෙ හඩට ඔහු සවන් දුන්නෙ නැහැ.

 

ඒ හින්ඳ ප්‍රජාතන්ත්‍රවාදී චරිතයක් කියන්න බැහැ. නමුත් ඔහු අදේශපාලනික චරිතයක්. ඔහු පිළිබඳ මගේ තියෙන සරලම නිර්වචනය ඒකයි. ඔහුගේ දේශපාලන අර්බූධය නිර්මාණය වෙන්නෙම මේ අදේශපාලනික හේතූන් උඩ. ඇහුන්කන් දීමේ ගුණය ඔහුතුළ තිබ්බේම නැහැ. ඔහු තනියම තීන්දු ගත්ත. තනියම තීන්දු ගන්න බැරිවෙන තැනදි පවුලෙ තමන්ට එකඟවෙන කෙනා එක්ක ඒක ශෙයා කරගත්ත.  ඔහු පාර්ලිමේන්තු කණ්ඩායම විශ්වාස කලේ නැහැ. ඔහු කැබිනට් මණ්ඩලය විශ්වාස කලේ නැහැ. ‌ඔහු දේශපාලන ස්ථරයන් විශ්වාස කලේ නැහැ. අපි මුලදි හිතුව ඔහු පක්ෂයක් නියෝජනය නොකරන එකම, දේශපානඥයෙක් නොවීමම ඔහුගේ තියෙන සුදුසුකම කියල. නමුත් ඇත්තටම ඒ අදේශපාලනික තත්ත්වයත් එක්ක මතු උනේ ඒකෙ අනික් පැත්ත. ඒ අදේශපාලනික තත්වයත් එක්ක තමයි මේ තරම් බරපතල තත්වයකට රට කඩා වැටුනෙ.

@Slleader.lk

(සංවාද සටහන - සිරිමලී ලියනගම)

  

නවතම ලිපි