SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“රටේ සියලු තීන්දු තීරණ ගන්නේ ආණ්ඩුව IMF එකත් එක්ක අත්සන් කළ ගිවිසුම අනුවයි. අස්වැසුම කියා හඳුන්වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජනතාවගේ දරිද්‍රතාවය වැඩිවී රට බංකොලොත් වීම පවා යොදාගන්නේ IMF සතුටු කිරීමට.

පාලකයන්ගේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති සහ අති විශාල වංචා දුෂණ නිසා වැටුණු රටත්, IMF කොන්දේසි අනුව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකටත් යටත් කරන්න සූදානම් වෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ, පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (04) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමිණි.

එහිදී ඇය මේ සම්බන්ධයෙන් දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.

“රටේ සියලු තීන්දු තීරණ ගන්නේ ආණ්ඩුව IMF එකත් එක්ක අත්සන් කළ ගිවිසුම අනුවයි. අස්වැසුම කියා හඳුන්වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ජනතාවගේ දරිද්‍රතාවය වැඩිවී රට බංකොලොත් වීම පවා යොදාගන්නේ IMF සතුටු කිරීමට. පාලකයන්ගේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති සහ අති විශාල වංචා දුෂණ නිසා වැටුණු රටත්, IMF කොන්දේසි අනුව ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකටත් යටත් කරන්න සූදානම් වෙනවා. ප‍්‍රතික්ෂේප වුණු දේශපාලනඥයන්ගෙන් සැදුම්ලත් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තිබෙන ඔවුන්ගේ බලය පාවිච්චි කරමින් සියලු පනත් අනුමත කර ගන්නවා. ජාතික ජන බලවේගයත් විපක්ෂයේ ඉන්න තවත් සමහර කණ්ඩායම් මේවා අනුමත කර නැහැ. නමුත් ලෝකයට පෙන්වන්නේ දේශපාලන අනුමැතියෙන්, ඒකමතිකභාවයෙන් ක්‍රියාත්මක කරන බවයි. මේ තුළින් නැවත වටයකින් ඉතා අර්බුදකාරී තත්වයන් නිර්මාණය වන බව අපි පැහැදිලිව පෙන්වා දුන්නා. නමුත් විකෘති පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරමින් මේ වැඩපිළිවෙළවල්වල වැරදි අඩුපාඩු පවා සම්පූර්ණ කර නොගෙන ජනතාවට හානිකර ක්‍රියාමාර්ගවලට යොමුවී තිබෙනවා. දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් දශක ගණනක් ක්‍රියාත්මක කර, වැඩපිළිවෙළවල් සාර්ථක නම්, දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව වැඩිවෙන්නේ නැහැ.

ඒ වැඩසටහන් අසාර්ථක වුණේ දේශපාලනීකරණය වීමේ ප‍්‍රධාන හේතුව නිසයි. මේ නිසා සමෘද්ධි දෙපාර්තමේන්තුව තුළත් අර්බුද රාශියක් ඇති වී තිබෙනවා. දේශපාලනීකරණය, පරිපාලන ගැටලු, නිසා මේ රටේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් වැඩකරන්න වුවමනා දෙපාර්තමේන්තුවක් අඩපණ වෙලා තිබෙන්නේ. මේවාට වගකියන්න ඕනෑ රටේ ජනතාවවත්, බහුතර නිලධාරීන් පිරිසවත් නොවෙයි. වැදගත් දෙපාර්තමේන්තු විනාශ කළ දේශපාලනඥයන් වගකියන්න ඕනෑ. එය නිවැරදි නොකර, ජනතාවගේ ජීවිත එක්ක මේ විදිහට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. වැරදි අයට සහනාධාර යෑම වගේම විශාල මුදලක් සහනාධාරවලට වැය වීම නිසා රජය බංකොලොත් වී ඇති බවත් කියනවා. වැරදි අයව මේවාට තෝරන්නේ කවුද? මේවා දේශපාලනීකරණය කිරීමේ වරද භාරනොගෙන මිනිසුන් හැමදාම ආධාර මත යැපෙන්න පුරුදු වී ඉන්න බවට චෝදනා කරනවා. රටේ බංකොලොත්භාවයටත්, අධික වියදම් කිරීමටත් වරද පටවන්නේ ජනතාව මතටයි. මේ වෙලාවේ ජනතාවම වැරදි කළා කියන හැඟීමකුත් ප‍්‍රචාරය කරමින් ඉන්නවා. සමෘද්ධිය නිවැරදි කර, අස්වැසුම දෙනවා නම්, ඒ තුළත් වැරදි තිබෙන බව පැහැදිලියි. ඒ වගකීම ආණ්ඩුව ගත යුතුයි. ආධාර ලැබිය යුතු අය කාණ්ඩ කර තිබෙන ආකාරය විද්‍යාත්මක නොවන බවත්, පැහැදිලියි. මූලික නිර්ණායක 06ක් සහ අනු නිර්ණායක 26ක් තිබියෙදීත් නිවැරදි තේරීම් නොකිරීම වැරදියි වගේම අවිද්‍යාත්මකයි. දරිද්‍රතාවය වැඩි වී ඇති මොහොතක සහනාධාර ලැබිය යුතු සංඛ්‍යාව අඩුවෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය අපට මතු වෙනවා.

ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා මන්ත්‍රී, ඇමති කණ්ඩායම්, ජනතාව ජීවත්වන යථාර්ථයට දුරස්ථව ඉන්නා බව ඉතාම පැහැදිලියි. ඔවුන් ජනතාවට කියනවා, ’ඇප්’ එකක් මගින් අභියාචනා ඉදිරිපත් කරන ලෙස. එයට අවශ්‍ය පසුබිම සකස් කර දීමෙන් පසුවයි ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුත්තේ. ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තිබෙනවාද, අවශ්‍ය මූලික දේවල් තිබෙනවාද යන්න ගැන අදහසක් වත් මේ පාලකයන්ට නැහැ. දරිද්‍රතාවයෙන් පෙළෙන අයට කොමියුනිකේෂන් එකකට යාමටත්, කොමියුනිකේෂන් එකට ගෙවීමකුත් කරමින් තමන්ගේ අභියායචනය ඉදිරිපත් කරන්න සිදුවෙනවා. එය ප‍්‍රායෝගිකව එහි අසාර්ථකභාවය පෙනුණාට පසුව තමයි ලිඛිතව අභියායචනා භාර ගැනීමට පටන් ගත්තේ. මේ වනවිටත් ලක්ෂ 07ක පමණ අභියායචනා ලැබී තිබෙනවා. මේ අර්බුදකාරී අවස්ථාවේදිත් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මූලිකත්වය දෙමින් කටයුතු කරනවා.

මේ ප‍්‍රශ්නයට මුහුණ දුන් ජනතාව බොහෝ ප‍්‍රදේශවල විරෝධතාවන් දක්වන්න පෙළගැසුණා. එහිදී විරොධතාවන් වෙනුවෙන් පෙළගැසුණු අයගෙන් 90%කටත් වඩා සිටියේ කාන්තාවන්. මේ සහනාධාර කප්පාදුව, මූලික ආරක්ෂණ ක්‍රියාවලිය කප්පාදුව වඩාත් බලපාන්නේ කාන්තාවන්ටයි. මේ රටේ කාන්තාවන් ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය යන සෑම අවශ්‍යතාවයන් වෙනුවෙන් බරපතළ ලෙස පීඩාවට පත්වෙලා ඉන්නවා. එසේ පීඩාවට පත්ව සිටින අය මේ ක්‍රියාවලිය මගින් තවදුරටත් පීඩාවට පත්කරමින් ඉන්නවා.

ඒ වගේම ප‍්‍රජාව තුළ ගැටුම් ඇතිවෙන තත්වයකට තල්ලුවෙමින් යනවා. තම අසල්වැසියාට සහනාධාර ලැබුණාද, නොලැබුණාද යන නිවැරදි තොරතුරු සොයා බැලීමේ වගකීමත් ජනතාව මත පටවා තිබෙනවා. ඒ තොරතුරු සොයා බැලීමේදී ගැටුම් ඇතිවීම වළක්වාලිය නොහැකි වෙනවා. සමාජය තුළ සාමූහිකත්වය ඇති කරවන උත්සාහයන් වෙනුවට මිනිසුන්ව බෙදන්න, එකිනෙකා අතර අවිශ්වාසය, හා ගැටුම් අතිකරවන්න උත්සාහයක් ගනිමින් තිබෙනවා. ආණ්ඩුව මේ කරමින් ඉන්නේ ජනතාවගෙන් පලිගැනීමක්. දශක ගණනාවකට පස්සේ, පළමුවෙනි වතාවට ජනතාව පාලකයන්ව ප‍්‍රතික්ෂේප කරන තැනකට පැමිණ තිබෙනවා. එය පාලකයන්ට ඉවසිය නොහැකි තත්වයක්.

රටේ ඇති වී තිබෙන බංකොලොත්භාවය පිළිබඳව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කරන්නේ ඔහු කිිසිදු වගකීමක් දැරිය යුතු නැති ආකාරයටයි. විශාල ලෙස ණය වී ඇති බවත්, එය ගෙවිය යුතු බවත්, හා ජනතාව ඒ වගකීම දැරිය යුතු බවක් ලෙසයි ඔහු කියන්නේ. ණය ගත්තේ කවුද? නාස්ති කළේ කවුද? සොරකම් කළේ කවුද? මෙයට ජනතාව වගකිව යුතු නැහැ. ඔහුත් වගකීම් දැරූ නායකත්වය මෙහි වගකීම් ගත යුතුයි. ජනතාවගෙන් පලිගැනීම් කරමින්, තවදුරටත් ජනතාව පීඩාවට පත්කරමින් ඉන්න අමානුෂික ආණ්ඩුවක්, අමානුෂික පාලනයක් මේ තියෙන්නේ. මේ උදාවී ඇති තත්වය ඉතා හොඳින් තේරුම් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. මේ පාලකයන් පළවා හරින්න ගන්නා ලද තීරණය පළමුවෙනි අවස්ථාවේදීම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.”

@lankatruth

නවතම ලිපි