SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සමග ඇරඹි ලංකාවේ පක්ෂ දේශපාලනය ආරම්භයේදී පැහැදිලිව වෙන් කලහැකි ප්‍රවාහ දෙකක් ලෙස සංස්ථාපනය වී තිබින.

ලංකාවේ පළමු දේශපාලණ පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය වාම කඳවුර නියෝජනය කල අතර, එක්සත් ජාතික පක්ෂය දක්ෂිනාංශික කඳවුර නියෝජනය කරමිනුත් දේශපාලණ බල ව්‍යුහය තුල ක්‍රියාකාරී විය.

 swrd 2

 

නිදහසෙන් පසු ගතවූ දශකය තුල එස්.ඩ්බ්.ආර්.ඩී බණ්ඩාරණායක, ඔහුගේ නායකත්වයෙන් සිංහල මහ සභාව නම් සංවිධානය ගොඩනගන්නේ එක්සත් ජාතික පක්ෂයේ මුල්පෙළේ නායකයෙකුව සිටියදීය. ඒ කාලවකවානුවේදී එම සංවිධානයද සැලකිය යුතු මට්ටමේ දේශපාලන බලවේගයක් බවට පත් වී තිබිනි. වාම සහ දක්ෂිනාංශික ප්‍රවාහය අතර ඇතිව තිබෙන ඉඩ ප්‍රයෝජනයට ගත හැකි බව දුටු එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක තමා ඇතිදැඩි කළ සිංහල මහා සභාව හරහා තම අරමුණු ඉටුකරගැනීමට කටයුතු කරන ලදී.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන්නට හේතුව ලෙස එදා එහි නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක පවසා තිබුණේ මෙසේය.

“රටේ මහ ජාතිය වූ සිංහලයන් ආර්ථීක සහ සාමාජීක සහ සංස්කෘතික වශයෙන් මහත් ආගාදයක වැටී තිබුනා. ඒ විතරක් නොවේ අසමගිය, ප්‍රාර්ථනා භංගත්වය නිසා තව තවත් ඔවුන් අසරනව සිටියා. මේ කාරණා මුල් කරගෙන ජාතික සමගිය සහ ප්‍රගතිය ඇති කළ නොහැකි බව වැටහුනා.

එම කාරණා මුල්කරගෙන ශ්‍රී ලංකා දේශපාලන ගමන් මග වෙනස් කල යුතුව තිබුනා. ඒ අනුව ජාතික නිදහස් සටන සදහා ලොකු කුඩා බාල මහලූ සෑම තරාතිරමකම බලවේග එකරාශී කිරීමේ අරමුණින් සිංහල මහා සභාව ආරම්බ කලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමට හේතු කාරණා වූයේ සිංහල මහා සභාව ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහයට එකතු කරලීම නිසාවෙනි” 

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක - බ්‍රිතාන්‍ය ජාතික රූපවාහිනී බීබීසී සම්මුඛ සාකච්ඡාව

 

ලාංකික ජන සමාජයේ එතෙක් පැවති මනෝභාවයන් වෙනසකට ලක් කෙරෙන “දේශපාලන මොහොත” බණ්ඩාරනායක විසින් උදා කරන ලද්දේ එලෙසිනි. ඒ සම්බන්ධව පසුකාලීන විදවතුන්, දේශපාලකයින් හා ඔහුගේම  දරුවන් කුමන අර්ථකතන සැපයුවද “බලය” යන්න පෙරදැරි කරගෙන හෝ ඒ ‘මොහොත’ එවැනි ව්‍යාපාරයකට විශාල ජනබලයක් ඒකරාශී කිරීමේ තත්වය උදාකරවුයේය.

 

සන්ධානගත දේශපාලනයේ ආරම්භය

වමත් දකුණත් යාකෙරෙන පාලමක් තැනීමේ දේශපාලන පක්ෂයක් ලෙස ආරම්භයේ සිටම ශ්‍රිලනිප කටයුතු කළ අතර එම අනන්‍යතාව ශ්‍රිලනිපය විසින්  මෑතක් වනතුරුම නොනැසී පවත්වාගෙන ආවේය. කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද තම පක්ෂය වටා එක්කරගනිමින් ආණ්ඩු පිහිටුවීමට ශ්‍රිලනිපයට හැකිවන්නේ එය එජාපය මෙන්  පුර්ණ ධනේෂ්වර ගැති පක්ෂයක් නොවීමත් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට, ජනසතු ව්‍යාපාර, පොදු දේපළ ක්‍රමයන් මෙන්ම එවකට පැවති සෝවියට් රුසියාව සහ චීනය සමග නොබිඳෙන මිතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැනි කාරණාද මෙම සන්ධානගතවීම් සඳහා බලපෑ මූලික කාරණා බවට පත්විය.

 

1956 සන්ධානය - මහජන එක්සත් පෙරමුණ

 

1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ (ම. එ. පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගන්නා ලදී. එහි අනෙක් සාමාජිකයන් වූයේ සිංහල භාෂා පෙරමුණ සහ විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය ය. මෙම පෙරමුණෙහි එක සටන් පාඨයක් වූයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමයි. එහිදී මහජන එක්සත් පෙරමුණ, එවකට රටේ පැවතී ප්‍රධානතම වාමාංශික පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂය සමඟ නිතරඟ ගිවිසුමකට එළඹියේය.

 

ඒ අනුව මහා මැතිවරණයේදී, මහජන එක්සත් පෙරමුණ ආසන 51 ක් දිනා විශිෂ්ට ජයක් ලැබීය. ල.ස.ස.පය  ආසන 14 ක් ලබා දෙවැනි තැනට පත් විය.

 

swrd 3

1959 සැප්තැම්බර් 25 වනදා ශ්‍රිලනිප නායක බණ්ඩාරනායක මහතාට චීවරධාරියකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු එම පක්ෂය අර්බූධයකට ලක් විය. නව අගමැති වරයා වූයේ විජයානන්ද දහනායක ය. කෙසේ වුවද, ඔහුට පක්ෂය එක්සත්ව තබාගත නොහැකි විය. අවසානයේ ඔහු ද, ලංකා ප්‍රජාතාන්ත්‍රික පක්ෂය නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේය.

 

මෙවැනි තත්වයක් යටතේ වුවද, 1960 මාර්තු මාසයේ පැවැති මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් දිනා ගත නොහැකි වීමට මූලිකවම බල පෑවේ බණ්ඩාරනායක ඝාතනය හේතුවෙන් ගලා ආ 'සානුකම්පිත ඡන්ද' ය. මේ අනුව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව බිඳ වැටිණ. ජූලි මාසයේ නැවත මැතිවරණයක් පවත්වන්නට සිදු විය.

 

swrd 4

 

නැවතත් සන්ධානයකින් සිරිමාවෝ අගමැතිනිය වීම

 

1960 ජූලි මාසයේදී පැවැති ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රීලනිපය  ලැබුයේ විශිෂ්ට ජයග්‍රහණයකි. මේ අනුව බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ පළමු අගමැතිනිය බවට පත් වූවාය. ස්වකීය ධූර කාලය තුල දී ප්‍රගතිශීලී තීරණ රාශියක් ගත් නායිකාවක් බවට ඇයව පත්වෙද්දී ඒ තීරණයන්ට බලපෑයේ එවක ශ්‍රිලනිපය සමග සන්ධානගතව සිටි සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වැනි  වාමාංශික පක්ෂයන්හි බලපෑම බවද සිහිකළ යුතුය. 1962 වසරේ දී හමුදා කුමන්ත්‍රණයකින් ගැලවුණු ඇය 1964 දී ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ සන්ධානගත වූවා ය. නමුත් එහිදී සිදුවුයේ  සී. පී. ද සිල්වා ප්‍රමුඛ පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ රාජාසන කතාව පරාජය කිරීමට විපක්ෂයට හැකි වීමෙන්, 1964 දෙසැම්බරයේ දී ආණ්ඩුව බිඳ වැටීමය.

 

swrd 5

 

1965 සන්ධානය - හත් හවුල

 

1965 බිහිවූ හත් හවුල් ආණ්ඩුව කල් යත්ම අවුලක් බවට පත් විය. 1970 මැතිවරණයේ දී, ශ්‍රී. ලං. නි. ප., ල. ස. ස. ප. සහ ශ්‍රී. ල. කො. ප. එක්ව සමගි පෙරමුණ ලෙස තරඟ වැදුනි. එයට ආසන 168 න් 116 ක්, එනම් 2/3 ක්, දිනා ගත හැකි විය. නැවතත් මැතිනිය අගමැති ධූරයට පත් වූවාය. එහිදී සමගි පෙරමුණ විසින් ක්‍රියාත්මක කල සංවෘත ආර්ථික ක්‍රමය විසින් ඇති වූ පාරිභෝජන සීමා කම් දරාගත නොහැකි වූ ලාංකිකයන් විසින් එදවසද තම පරිභෝජනකාමය මුල් කොට ගෙන 1977 මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ආසන 140 ක්, එනම් 5/6 ක බලයක් දිනා දෙනු ලැබීය. එහිදී  ශ්‍රීලනිපය ආසන 8 කට බැසගිය අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය පවා එහිදී අහිමි විය.

 

swrd 6

 

ශ්‍රී. ල. නි. ප. සහ විපක්ෂයේ අනෙක් කණ්ඩායම් අසමඟිව භේද භින්න වී තිබීම එජාප රජයට එදාත් මහත් ආශීර්වාදයක් විය. එතැන් සිට වසර 17ක් පුරා එජාපය වෙනත් පක්ෂයකට බලය නොදෙමින් ව්‍යවස්ථා මර උගුල් අදිමින් අඛණ්ඩ පාලන ක්‍රමයක් ගෙන ගියේය.  1988/89 දකුණේ ඇතිවූ මහා භීෂණය  සමග එජාප රජය විසින් හැටදාහකට අධික තරුණ තරුණියන් පිරිසක් රටට අහිමි කිරීමේ පාපයට එනයින් ශ්‍රිලනිපය ප්‍රමුඛ විපක්ෂයද අනිවාර්ය ලෙසම වගකිව යුතු වේ.

 

1994 නැවතත් සන්ධානය -  පොදුජන එක්සත් පෙරමුණ

 

ශ්‍රී. ල. නි ප. ප්‍රමුඛ පක්ෂ කිහිපයක් විසින් පොදුජන එක්සත් පෙරමුණ (පො. එ. පෙ.) නම් සන්ධානයක් පිහිටුවා ගනු ලැබුනේ එ. ජා. ප. රජය පරාජය කිරීම මූලික අරමුණ කරගෙන ය. 1993 දකුණු පළාත් සභාවේ බලය ලබා ගැනීමෙන් ඇරඹි මෙම ගමන 1994 නොවැම්බරයේදී කූටප්‍රාප්තියට පැමිණියේ බණ්ඩාරනායක යුවලගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරණය ජය ගැනීමෙනි. එයට පෙර ඇය බස්නාහිර පළාතේ මහා ඇමතිවරිය ලෙස ද, 1994 අගෝස්තු මැතිවරණයෙන් පසු අගමැතිවරිය ලෙස ද කටයුතු කළා ය.

පො. එ. පෙ. 2001 පැවැති මහා මැතිවරණය පරාජය වූ අතර එ. ජා. ප. රජයක් බිහි විය.

 

swrd 7 

2004 සන්ධානය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

 

2004 මුලදී පො. එ. පෙ. සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා ගන්නා ලදී. 2004 අප්‍රේල් මාසයේ පැවැති මැතිවරණයෙන් සන්ධානය ජය ලැබූ අතර ශ්‍රිලනිප පාක්ෂිකයෙකු වන මහින්ද රාජපක්ෂ අගමැති බවට පත් විය. 2005 නොවැම්බරයේදී ඔහු ජනාධිපති ධූරයට පත් විය.

 

2015 සන්ධානය - එක්සත් ජනතා නිදහස් සන්ධානය

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකල ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේකෂකයා වශයෙන් ඉදිරිපත් විය. එහිදී මහින්ද රාජපක්ෂ ව  පරාජය කර ඡන්ද හැට දෙලක්ෂයකට ආසන්න මනාප සංඛ්‍යාවක් රැගෙන මෛත්‍රීපාල සිරිසේනගේ  ජනාධිපතිත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එකසත් ජාතික පක්ෂය එකතුවූ ආණ්ඩුවක් පිහිටුවන ලදී. ඒ 2015 වසරේ ජනවාරි 8 වැනිදායි. එහිදී ජනාධිපති සිරිසේන විසින් අගමැති ලෙස රනිල් වික්‍ර‍මසිංහ ව පත්කරන ලදී.

 swrd10

 

ඒ අනුව ශ්‍රිලනිපය ආරම්භයේ පටන්ම තනිව තරඟ වැදීමකට වඩා වැඩි නැඹුරුවක් පෙන්වා ඇත්තේ තවත් පක්ෂ සමග සන්ධානගතවීමටය. සින්ධානගත දේශපාලනයේ පක්ෂ එක්කර ගැටගැසීමේ විය ගහ ලෙස ශ්‍රිලනිපය ආරම්භයේ සිටම තම භූමිකාව රඟ පා ඇත. මේ තත්වය ක්‍රමයෙන් විනාශව දියවී යන පක්ෂයක් බවට ශ්‍රිලනිපය පත්වන්නෙ 2015න් පසුව බව ඉහත විශ්ලේෂනය මැනවින් ගලපන්නෙකුට අවබෝධ විය යුතුය. මන්ද ඒ තාක් ශ්‍රිලනිපය සන්ධානගත වූයේ ලංකාවේ වාමවාදී සමසමාජ අදහස් සහිත පක්ෂ සමග වන අතර 2015න් පසු ලංකාවේ දේශපාලන මහපොළොව විශාල වෙනසකට පත්විය. පොදු රටවැසියා යන්නට නව අර්ථකතනයක් ඉන් බිහිවූ අතර ඉන් පසු පිහිටුවන්නට බලාපොරොත්තු වන කිසිදු රජයකට ස්ථාවර පැවැත්මක් එක්කරගැනීම අසීරු කරුණක් විය.

 

swrd 9

 

හැටනව ලක්ෂයක ජන වරමක් ගත් ගෝඨාභය රාජපක්ෂට තම පාලන කාලය සම්පූර්ණ කිරීමට පවා අසීරු වන්නේත් ජනාධිපති තනතුරට  නැවත නොඉල්ලන කතා කියා මුලදීම තම පාක්ෂිකයන් බැහැරට යෑමේ අවකාශය උදාකරවන්නේත් 2015 බලපෑම බව අපගේ අදහසය.

 

එපමණක් නොව පොදු රටවැසියාගේ ජයග්‍රහණයක් ලෙස සැලකූ 2015 යහපාලන කාලය තුළ රටේ ඇතිවූ ඛේදවාචකයන්ද මෙහිලා බලපෑම් ඇතිකරලූ සිදුවීමය.  පාස්කු ප්‍රහාරය හේතුකොටගෙන ශ්‍රිලනිපයේ නායකයින්ව විශ්වාස නොකරන රටවැසියන් විශේෂයෙන්ම කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාවක් බිහිවිය. එය ශ්‍රිලනිපයට තිබුනු මධ්‍යස්ත පිළිවෙතට මරු පහරකි.

 swrd11

 

අද වන විට පොහොට්ටුව හෝ එජාපය පැරදවීමට මූලිකත්වය ගත හැකි එකම පක්ෂය වූ ශ්‍රිලනිපයට සන්ධානයක් අටවා ගත නොහැකිවා පමණක් නොව තමන් සමග සිටින සාමාජිකයින්ද තනතුරු වරදාන ලබාගනිමින් වෙනත් නායකත්වයන් පසුපස යෑම නොවැලැක්විය හැකි ව ඇත. මේ නිසා සන්ධාන දේශපාලනයේ මහා යෝධ රුක්ෂයක් ලෙස වැඩුනු ශ්‍රිලනිපය හෙට අනිද්දා වනවිට අතේ ඇඟිලි ගානටත් වඩා අඩු පාක්ෂිකයින් පිරිසක් සමග විනාශ මුඛයට යමින් සිටින්නේය.

 

පක්ෂය ප්‍රතිව්‍යූහගත කිරීමට පෙර සිදුවිය යුත්තේ පක්ෂයේ  ඇතුලත සහ පිටත දෙපසම විශ්වාසය සහ බලාපොරොත්තුව වර්ධනය කළහැකි නායකත්වයකි. අවාසනාවට ඒවන් නායකත්වයක් දැනට සිටින පිරිස අතර පෙනෙන්නටවත් නැත. නැතහොත් පවතින තත්වය තුළ එවන් පුද්ගලයින් සැඟවී ඇත.

 

පොදුජන එක්සත් පෙරමුණ හෙවත් පොහොට්ටු සන්ධානය දියවී යමින් පවතින මේ මොහොත ශ්‍රිලනිපයට වාසිදායක වුවද එහි වාසිය අත්පත් කරගන්නට සමත් පක්ෂ ව්‍යූහයක් අද ඔවුන් සතුව නොමැත. එසේ තිබුණේ නම් මේ වනවිට ඩලස් පිළ ඇතුළු විපක්ෂයේ පක්ෂ ගණනාවක් ශ්‍රිලනිපය හා බළමුළු ගැන්වීලාය.

අර්බූධය පැහැදිලිය. එහෙත් හැම කෙනාටම අවශ්‍ය බලය පමණි.ඒ නිසාවෙන් පක්ෂයක් ලෙස යළි ගොඩනැගීමක් ගැන හැඟීමක් නැත.

 

#samaara paranavithana

නවතම ලිපි