“සමාජ මාධ්‍ය” (social media) සංකල්පයක් ලෙස බිහිවන්නෙම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය (mainstream media) ඒකාධිකාරයට එරෙහිව එයට විකල්පයක් ලෙසටය.
නමුත් අද වනවිට එය තනිකරම රාජ්‍ය සහ ව්‍යාපාරික අධිකාරයන්ට යටත් වී තිබේ. විකල්පය ලෙස පැමිණි සමාජ නව්‍යකරණය අද විකෘතියක් බවට පත්ව තිබේ.
ඕනෑම රාජ්‍යයක ආණ්ඩු පක්ෂය විසින් පාලනය කරන ජනමාධ්‍ය ආයතන තිබේ. උදාහරණ ලෙස ලංකාවේ නම් ලේක්හවුස්, ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, අයිටීඑන් ආදිය දැක්විය හැකිය. කලින් කලට ආණ්ඩු කරන දේශපාලන පක්ෂයට, එහි මතවාදයට, එහි නායකයන්ට අනුකූලව ඒවා ක්‍රියාත්මක වේ.
එමෙන්ම ධනවත් පුද්ගලයන් සතු පුද්ගලික ජනමාධ්‍ය ආයතනද තිබේ. උදාහරණ ලෙස විජේවර්ධන පවුලට අයිති විජය පුවත්පත් සමාගම, මහරාජා පවුලට අයිති සිරස රේඩියෝ සහ ටීවී චැනල්, රෙනෝ සිල්වාට අයිති හිරු රේඩියෝ සහ ටීවී චැනල්, දිලිත් ජයවීරට අයිති අරුණ පත්තරය, දෙරණ රේඩියෝ සහ ටීවී චැනල් ආදිය දැක්විය හැකිය. ඒවා ක්‍රියාත්මක වෙන්නේත් ඒවායේ අයිතිකරුවන්ගේ දේශපාලන පක්ෂපාතීත්වයන්ට අනුවය.
මේවායේ මූලික ගැටලුව වන්නේ එම අධිකාරීත්වය සහ එයට අවශ්‍ය ආකාරයට ජනමනස හැසිරවීමයි. උදාහරණයක් ලෙස මහරාජාගේ ජනමාධ්‍ය ව්‍යාපාර සමුච්චය විසින් සමාජයට මුදාහරින්නේ ඔවුන්ට අවශ්‍ය පණිවිඩය, ඔවුන්ට අවශ්‍ය තොරතුරු, ඔවුන්ට අවශ්‍ය දේශපාලන මතවාදය පමණී. ඔවුන්ගේ ආයතන තුළ වැඩකරන ඊනියා මාධ්‍යවේදීන් සියලු දෙනාගේ මොළ ඒ සඳහා සෝදා තිබේ. ඔවුන් තුළ කිසිදු සමබර විචාරයක් නොමැත. සොම්බීන් මෙන් ඔවුන් සිය අධිපතියාගේ මතයම ඉතාම ප්‍රචණ්ඩ ලෙස වමාරයි. මේ තත්ත්වය සියලු ජනමාධ්‍ය ආයතන තුළ පවතින අනිවාර්ය ලක්ෂණයකි.
මෙන්න මේ අධිකාරීත්වයට එරෙහිව තමයි “සමාජ මාධ්‍ය” කියන අදහස ලෝකයේ බිහි වෙන්නේ. සමාජ මාධ්‍ය තුළ ඕනෑම වැසියෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ වෙනත් ඕනෑම අයෙකුගේ අදහස් ග්‍රහණය කරගැනීමේ සමාන හැකියාව ලැබෙනවා. එතකොට විවිධ අදහස් සඳහා සමාන අවස්ථාවක් (equal opportunity) ලැබෙනවා. එවිට එම අදහස් එකිනෙක ගැටීමෙන් ඒවායේ හොඳ නරක හැමදෙනාටම හෙළිදරව් වෙනවා. වෙනත් වචනවලින් කිව්වොත් මහජන කතිකාව (public discourse) ආණ්ඩුවේ හෝ කිසියම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ අධිකාරීත්වයෙන් මිදී පූර්ණ වශයෙන් විවෘත වෙනවා. නමුත් එම විශිෂ්ට සංකල්පය අද දූෂණය කර තිබෙනවා.
උදාහරණයක් ලෙස පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් වුණේ ට්විටර් සමාගම විසින් එම සමාජ මාධ්‍යයේ විවිධ අයවලුන් විසින් සිදුකරන ප්‍රකාශයන් වාරණය කිරීම සහ එම සමාගම විසින් තෝරාගත් පුද්ගලයන් ට්විටරයෙන් තහනම් කිරීමයි. එය දරුණුවටම ඇවිළුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ව තහනම් කිරීමත් සමගයි. එයට හේතුව වුණේ ට්විටර් සමාගමේ අධිපතීන් දේශපාලනිකව ඔහුට විරුද්ධ වීමයි. ට්විටරයේ වැඩිපුර ප්‍රචාරය කළේ වාමාංශික (leftist) දේශපාලන මතවාදයයි. නමුත් ඇමරිකාවේ දක්ෂිණාංශික (right-wing) වැසියන්ගෙන් එයට ප්‍රබල විරෝධයක් පැමිණියා. එයින් ඔප්පු වෙන්නේ ට්විටරය සමබර නැති බවයි. අන්තිමට ඊලෝන් මස්ක් නමැති මහා ධනපතියා ට්විටරය සල්ලිවලට මිලට ගෙන ට්‍රම්ප්ගේ ගිණුම නැවත සක්‍රීය කළා. නමුත් ට්විටරය තවම තියෙන්නේ තවත් අධිකාරයක් යටතේමය.
හරිනම් මේ සමාජ මාධ්‍ය අයිති විය යුත්තේ පොදු ජනතාවටය. ඒවා පොදු දේපළ (commons) විය යුතුයි. ඒවායේ පාලනය විමධ්‍යගත (decentralised) විය යුතුයි. නමුත් එච්චර දෙයක් කරගන්න තරම් මානව සමාජය තවම දියුණු නැහැ. ලංකාවේ ට්විටර් කලාපයේ ආධිපත්‍යය තිබෙන්නේ ඉංග්‍රීසි කතා කරන ප්‍රභූන් සහ වෙන්ට ප්‍රභූන් අතරයි. සිංහල පමණක් කතා කරන අතිශය බහුතරයක් ලාංකික වැසියන්ගේ හඬ එහි ඇහෙන්නේ නැහැ. ඒක හරියට සල්ලිකාර කොල්ලන්ගේ සහ කෙල්ලන්ගේ නයිට් ක්ලබ් එකක් වගේ. නමුත් ඒ නිසාම එතන ලොකු දේශපාලන බලයක් සංකේන්ද්‍රණය වෙලා. ඒක තමයි අධිපත්‍යය. මා ඒ ආධිපත්‍යයට විරුද්ධ නිසා ට්විටරයෙන් ඉවත් වෙලා බොහෝ කල්.
ලංකාවේ මේ වෙනකොට වඩාත්ම බහුල සමාජ මාධ්‍යයන් වන්නේ ෆේස්බුක්, යූටියුබ් සහ ටික්ටොක් කියා සරලව ශ්‍රේණිගත කළ හැකියි. ඒ අතරින් ෆේස්බුක් ගතහොත් ඒ තුළත් විවිධ අධිකාරයන් තිබෙනවා. ෆේස්බුක් අයිති සකර්බර්ග්ගේ මෙටා සමාගම විසින් එහි ඇල්ගොරිදම් හරහා එක්තරා පාලනයක් කෙරෙනවා. අරගලයට පෙර සහ අරගලය අතරතුර ෆේස්බුක් එකෙන් අරගලකරුවන්ගේ මතවාදය අතිශය අසමමිතික ලෙස උඩට ගත්තා. මා සහ අපේ කඳවුරේ ප්‍රකාශකයන් දැඩි ලෙස වාරණයට ලක් වුණා. අපේ කඳවුරේ හඬ ෆේස්බුක් තුළ හැංගුවා. එය සාධාරණ තත්ත්වයක් නොවෙයි.
අරගලයට පෙර සහ අරගලය අතරතුර මම දිලිත් ජයවීරගෙන් ඉල්ලා සිටියා අඩුම තරමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කතා කරන්න දෙරණේ සංවාද තුළ සාධාරණ අවස්ථාවක් ලබා දෙන්න කියා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඒ කාලය තුළ විවිධාකාර පුද්ගලයන් දෙරණට ඇවිල්ලා ගෝඨාභයට නොයෙක් චෝදනා කරලා යනවා. නමුත් ඒවාට පිළිතුරු දෙන්න අවස්ථාවක් කිසිම මාධ්‍ය ආයතනයකින් දුන්නේ නැහැ. රූපවාහිනී සංස්ථාව විතරයි පොඩි අවස්ථාවක් දුන්නේ. එතකොට ප්‍රමාද වැඩියි. ඒ නිසා ඒක කිසිසේත්ම සාධාරණ සටනක් නොවෙයි. හරියට දේශපාලනය කරනවා නම් පිටිය හැමෝටම සමාන විය යුතුයි. බිස්නස්කාරයෝ එක්ක එහෙම මහත්මා දේශපාලනයක් කරන්න බැහැ.
ඒ වගේම ඉහත දැක්වූ ප්‍රධාන ධාරාවේ ව්‍යාපාරිකයන් ෆේස්බුක් තුළත් ඔවුන්ගේ ආධිපත්‍යයන් හදාගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා ඔවුන් සතුව හැත්තෑදහසක ෆේස්බුක් බලකායක් ඉන්නවාය කියා. බොහෝ ඒවා හොර ගිණුම්. එක් අයෙකු විසින් එකවර ගිණුම් දහයක් හෝ ඊටත් වැඩි ගණනක් පවත්වා ගෙන යනවා.
නාමල් රාජපක්ෂ ෆේස්බුක් ලයිව් එනවා කිව්වම ඒ ලින්ක් එක ජවිපෙ ෆේස්බුක් බලකායට යවනවා. ඔවුන් කරන්නේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් තමන්ගේ හොර ගිණුම්වලින් “නිවන් සුව” “නිවන් සුව” කිය කිය කොට කොට යන එකයි. ඒක සමාජයේ සත්‍ය හඬ නොවෙයි. එය සමබර නැහැ. සාමාන්‍ය සමාජයේ මිනිස්සු එහෙම හැසිරෙන්නේ නැහැ. පොහොට්ටුවේ එහෙම සංවිධිත බලකායක් නැහැ. පොහොට්ටුව කියන්නේ ඓන්ද්‍රීය සමාජයක්. ජවිපෙ සාමාජිකයන් ලියන කුණුහරුප දැක්කම පොහොට්ටුවේ ශිෂ්ටසම්පන්න මිනිහා ලැජ්ජාවෙන් අහක බලාගන්නවා. ඒ නිසා අර ජවිපෙ හදන කෘත්‍රිම අධිකාරයට සමාන ප්‍රතිවිරෝධයක් දක්වන්න විදිහක් නැහැ. ඒ නිසා සමාජ මාධ්‍ය තුළ පැවතිය යුතු මූලික ගුණය ජවිපෙ සහ තවත් එවැනි අධිපති ඒකකයන් විසින් අමු අමුවේ මකනවා. එහෙම මක මක ඔවුන් අපට සමාජවාදය ගැන බන කියනවා.
ඒ අතර එනවා ඇමරිකන් හඬ. ඔවුන් විසින් තෝරාගත් පුද්ගලයන් සහ ආයතන වෙත සමාජ මාධ්‍ය උපරිමයෙන් භාවිතා කරන ආකාරය පිළිබඳව උගන්වනවා. බොරුවක් වුණත් ඇත්ත වගේ ජනගත කරන්නේ කොහොමද කියා ඔවුන් උගන්වනවා. ඔවුන් ඒ සඳහා තෝරාගන්නේ සිංහල විරෝධී බෞද්ධ විරෝධී පුද්ගලයන්. එතන කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික මර්දනය සඳහා සමාජ මාධ්‍ය බලකායක් කෘත්‍රිමව නිෂ්පාදනය කිරීමයි. වීඩියෝ හදන්න අවශ්‍ය කරන මිල අධික කැමරා ආදී ආම්පන්න ඔවුන් සපයා දෙනවා. ඒ පුද්ගලයන්ට එකතු වෙලා වැඩ කරන්න කන්තෝරු ලබා දෙනවා. ඇතැමුන්ට මාසික වේතනයක් (සහ චේතනාවක්) පවා ලබා දෙනවා. සිංහල බෞද්ධ ජනතාව නියෝජනය කරන අයට මේ කිසිවක් ලැබෙන්නේ නැහැ. අන්න එතන තමයි සමාජ මාධ්‍ය අසමතුලිතතාවය ඇති වෙන්නේ.
උදාහරණයක් හැටියට මා වැන්නෙකුට කවදාවත් එහෙම අනුග්‍රහයක් ඇමරිකාවෙන් ලැබෙන්නේ නැහැ. මොකද මා ඉන්නේ ඔවුන්ට සතුරු පිලේ. නමුත් මා ඉන්න පිලට එහෙම සමාජ මාධ්‍යයේ යටිකූට්ටු වැඩ උගන්වන්න, කැමරා අරන් දෙන්න, ස්ටූඩියෝ හදලා දෙන්න, මාසෙට ගාණක් ගෙවන්න කවුරුවත් නැහැ. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. එහෙම දෙන්න ඕනත් නැහැ. ඒවා විය යුත්තේ ඓන්ද්‍රීයව. මේ ලිපිය මගේ උවමනාවට ලිව්වට මේ මා කියන්න හදන අර්බුදය හරියට ජනගත කරගන්න මට බැහැ. මේක කියවන්නේ සීමිත පිරිසක්. මේවා කපටි ලෙස ස්ථානගත කරන හැටි, මේවායින් වීඩියෝ හදලා වෛරල් කරන හැටි, විහිළු වීඩියෝ හදලා සියුම්ව මේ අදහස් ජනමනසට කාවද්දන හැටි මම දන්නේ නැහැ. ඒවා දන්න මිනිස්සුත් අපේ කඳවුරේ නැහැ. හිටියත් ඔවුන්ට උවමනාවකුත් නැහැ. මට වුණත් එහෙම ලොකුවට උවමනාවක් නැහැ. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය.
මේක දීර්ඝව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. නමුත් මා හිතන්නේ දැනටමත් අපි ඇමරිකන් හඬට පරාජය වී අවසානයි. සමාජ මාධ්‍යයේ ආධිපත්‍යය තියෙන්නේ සිංහල විරෝධී බෞද්ධ විරෝධී පාර්ශවයන් අතේ. මතවාදීය දේශපාලන කඳවුරක් හැටියට අප අසමත් වෙලා තිබෙනවා සමාජ මාධ්‍යයේ අපේ හඬ විධිමත්ව සංවිධානය කරගන්න. එක්කෝ අපිත් ඇමරිකන් එම්බසිය කරනවා වගේ අපේ පැත්තෙන් බලකායක් හදන්න ඕනා. නැත්නම් ඇමරිකන් හෝ මොන අධිකාරයකට හෝ ලංකාවේ මාධ්‍ය කෙරෙහි එහෙම කෘත්‍රිමව බලපෑම් කිරීම නවත්වන්න ඕනා. ධර්මය අපට මග වේවා!
@එරන්ද ගිනිගේ