සිංහල බෞද්ධ ජාතිකත්වය කරා මාවත විවරකොට ගත හැක්කේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ වැනි ජාතිකත්ව හැඟීමක් සහිත නායකයින්ගේ පාලනයක් තුලින්ය යන්න නලින් ද සිල්වා විසින් දිගින් දිගටම අවධාරණය කල කාරණාවකි.
පසුගිය වසර 15ක පමණ කාලය තුල ඔහුගේ දේශපාලනය කේන්ද්‍රගතව තිබුනේ මහින්ද රාජපක්ෂ වටාය යන්න මාධ්‍ය ලෝකයේ නිතර කතාබහට සහ මතභේදයට ලක්වූ කාරණාවකි. මේ පිළිබඳව මෙන්ම සිංහල බෞද්ධ ජාතිකත්වය හා ඒ හා සම්බන්ධව ඔහුගේ සම්බන්ධය පිළිබඳවත්, රනිල් වික්‍රමසිංහ සහ රාපක්ෂලා අතර ඇති වෙනස පිළිබඳවත් නලින් ද සිල්වා මහාචාර්යවරයා සමග ශ්‍රී ලංකන් ලීඩර් වෙබ් අඩවිය සිදුකළ සංවාදයකි මේ.
1.සරලවම කිව්වොත් මොකක්ද මේ සිංහල බෞද්ධ ජාතිකත්වය කියන්නෙ?
සිංහල බෞද්ධ ජාතිකත්වය කියලා කියන්නේ යම්කිසි ජාතිකත්වයක්. ජාතිකත්වයක් කියන්නේ, ලෝකයේ මිනිස්සු යම්කිසි කාලයකදි ඉඳන් එකතුවෙලා එක් ජාතියක්, එක් වර්ගයක් ලෙස සළකන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒකට යම් යම් කොන්දේසි තියෙනවා.
එකක් තමයි යම්කිසි සීමිත භූමි ප්‍රදේශයක ජීවත්වීම. දැන් මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් යම්කිසි පරිමිත දේශසීමාවක් තියෙන්න ඕන. අනිත් එක තමයි සාමාන්‍යයෙන් එක භාෂාවක් කතා කරන්න ඕන. දැන් ඒකත් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එක භාෂාවක් කතා කරන එකම සංස්කෘතියක්. එකම සංස්කෘතියක් කියන්නෙ හැම මිනිහම එකම විදිහට ජීවත්වෙනවා කියන එක නෙවෙයි. යම්කිසි ආකාරයකට පොදු ජීවන ක්‍රමයක් මිනිස්සුන්ට තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ කොන්දේසි සහ හුඟක් වෙලාවට එයාලට යම්කිසි ආකාරයක රාජ්‍යයක්, බල ව්‍යූහයක්, දේශපාලන බල ව්‍යූහයක් තියෙන්න ඕන.
ඒ බල ව්‍යූහයේ සමහර වෙලාවට රජෙක් ඉන්න පුළුවන්. පාලකයෙක් ඉන්න පුළුවන්. නැත්තම් වෙනත් මණ්ඩලයක් ඉන්න පුළුවන්. ඒ වගේ කාරණා කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ කාරණා කිහිපය සම්පූර්ණ වුණාම තමයි මිනිස්සු ජාතියක් වෙන්නෙ.
ඉතින් ඒකෙ සමහර කාලවලදි ආගම, එහෙම නැත්නම් රුහුණේ හිටපු මිනිස්සු, යම් යම් ප්‍රශ්න ඇතිකරලා තියෙනවා. එයාලා රජ්ජුරුවන්ට විරුද්ධව වැඩ කරලා තියෙනවා. බොහෝ වෙලාවට අපිට පේන දෙයක් තමයි මාගම අයත් ඇවිත් අනුරාධපුරයේ රජවීම. හොඳම උදාහරණය තමයි ගැමුණු කුමාරයා. ගැමුණු කුමාරයාත් අනුරාධපුරයෙන් ඇවිල්ලා මාගම රජවෙච්ච කෙනෙක්. ඊට පස්සෙ සිරිසඟබෝ, ගෝඨාභය. කොහොමහරි අනුරාධපුරය වටා අපිට රාජ්‍යයක් ගොඩනැගිලා තිබුණා. ඒ නිසා අපිට ජාතියක් හැදිලා තිබුණා. ඒ ජාතියට අපි හිතනවා මිහිඳු මහ රහතන් වහන්සේ තමයි නිල වශයෙන් බුදුදහම මෙරරට හඳුන්වා දුන්නේ කියලා. ඒකෙන් මං කියන්නෙ නෑ බුද්ධාගම ඊට කලින් තිබුන් නෑ කියලා. ඊට පස්සේ අපේ සිංහල- බෞද්ධ ජීවන ක්‍රමයක් මේ රටේ ඇතිකරගත්තා.
ඉන්පස්සේ මේ රටේ සිංහල- බෞද්ධ ජාතිකත්වයක් තියෙනවා. දැන් අපේ සමහර උගතුන් කියන අයට ඇතිවෙලා තියෙනවා ලෙඩක්. ඒ තමයි බටහිර ජාතීන් ඇතිවුණේ ඉතාමත් මෑතකදි. ඒ කියන්නෙ 18වන ශතවර්ෂයෙන් පස්සෙ තමයි ජාතික රාජ්‍යයන් ඇතිවුණේ. ජාතික රාජ්‍ය ඇතිවුණාට පස්සෙ තමයි බටහිර රටවල රාජ්‍ය කියන එකත්, ජාතිකත්වය කියන එකත් දෙක එකට එකතු වුණේ. ඒ නිසා තමයි ජාතික රාජ්‍ය කියන සංකල්පය හැදිලා තියෙන්නේ. ඊට කලින් බටහිර රටවල රාජ්‍ය කියන සංකල්පයක්වත් තිබුනෙ නෑ. යුරෝපයේ රජ්ජුරුවෝ තමන්ගේ දුවව විවාහ කරලා දෙනකොට දෑවැද්දට දුන්නා රටෙන් කොටසක්. ඒ කියන්නේ රටක සීමාවක් නිශ්චිතව තිබුන් නෑ කවදාවත්. ලංකාවේ එහෙම නෑ. ලංකාව වාසනාවකට හරි මුහුදෙන් වටවෙලා තියෙන කුඩා දූපතක්. ඒ නිසා අපිට ඒ ප්‍රශ්නේ තිබුන් නෑ. නමුත් යුරෝපයේ රටවල්වල තමන්ගේ දුවව විවාහ කරලා දෙනකොට රටෙන් කොටසක් දෑවැද්දට දෙනවා. එතකොට රාජ්‍ය කියන එකේ වපසරිය එහෙම නැත්තම් සීමාවල් වෙනස් වෙනවා. ඉතින් මේ නිසා ජාතික රාජ්‍ය කියන එක යුරෝපයේ ඇතිවුණේ බොහොම මෑතකදි. ඊට පස්සෙ තමයි ජාතිය කියන එක ඇතිවුණේ.
ඉතින් යුරෝපයේ උගතුන් කිව්වා ජාතිය කියන එක ඇතිවුණේ මෑතකදි කියලා. ඊට කලින් තිබුන් නෑ කියලා. ඉතින් ඕක ඉගෙනගත්ත අපේ උගතුන් කියන අය , අපේ උගතුන් කියන්නේ බටහිරින් මොකක් හරි කටගාගත්ත මිනිස්සු ටිකක්නේ. ඒ කටගාගත්ත මිනිස්සු කියනවා, ලංකාවෙ ජාතියක් තිබුන් නෑ කියලා.
2. එතකොට සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයේ, අනෙකුත් ජාතීන්ගෙන් වෙනස් වන සුවිශේෂිත්වය තියෙන්නේ ඊට අදාළ සාම්ප්‍රදායික ආකාරයන්, සාම්ප්‍රදායික නිෂ්පාදන ආකෘතීන්, ජීවන රටාවන්, ඇවතුම් පැවතුම්. ඥාති සබඳතා, ආහාර, සුවඳවල්, සංගීතය, භූ දර්ශනය, ගෘහ නිර්මාණය, ඇඳුම් පැළඳුම් ආදී දේ අඩංගු කොටගන්නා සමාජයක් නිසා ද?
ජාතික රාජ්‍යය කියන වචනය පාවිච්චි කරන්න අවශ්‍ය නෑ. ජාතික රාජ්‍යය කියන එක යුරෝපයට ආවේණික වූ සංකල්පයක්. ඒක අපිට අවශ්‍ය නැහැ. මොකද අපිට රාජ්‍යයක් තිබුණා, ජාතියක් තිබුණා, සංස්කෘතියක් තිබුණා. ඒ සංස්කෘතිය තමයි අපේ තියෙන්නේ. අපේ මූලික වශයෙන් අපිට ආවේණික සංස්කෘතියක් තියෙනවා. අපි කියමු දඹකොළපටුනේ ඉඳලා මාගම දක්වා එකම සංස්කෘතියක් තිබුණේ. එකම සංස්කෘතිය නිසා - ඒකෙන් මං අදහස් කරන්නෙ නෑ හැම මිනිහම කෑවෙ බිව්වෙ, හිටියෙ එකම විදිහට කියලා - යම්කිසි පොදු ගතියක් තිබුණා.
අපි දැන් උදාහරණයක් ගනිමු. අපි දැන් පොදුවෙ ගත්තොත් එහෙම අපේ රට භාරතයේ සංස්කෘතියක් එක්ක යම්කිසි පෑහීමක් තියෙනවා. ඒකෙ සමහර කොටස් අපි ගාවත් තියෙනවා. ඒ පොදු ලක්ෂණ ඇතුළෙ අපි ගාව වෙනස් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට සිංහල වෙදකම. සිංහල වෙදකම කියන එක මූලික වශයෙන් ගත්තොත් එහෙම භාරතයේ උතුරේ තියෙනවා ආයුර් වේදය. දකුණේ තියෙනවා ද්‍රවිඩ ජනතාවගේ වෙදකමක්. දැන් ඒවාගෙන් වෙන්වෙච්ච වෙදකමක් අපි ගාව තියෙනවා. අර වෙදකමත් එක්ක යම් යම් පොදු දේවල් තියෙන්නත් පුලුවන්. නමුත් වෙනස් වෙච්ච දෙයක් තියෙනවා. සිංහල වෙදකමේ තියෙන කසාය එහෙම නැත්තම් සමහර ගුලි කල්ක වගේ ඒවා දකුණු ඉන්දීය වෙදකමෙන් වෙනස් වෙච්ච ඒවා තියෙනවා.
ඒ වගේම අපේ ඇවතුම්- පැවතුම්, අපේ ගතිගුණ, ජීවන රටාවන්, අපේ සමහර කෑමබීම යනාදියේ වෙනස්කම් තියෙනවා. අන්න ඒ වෙනස්කම් නිසා තමයි භාරතයේ සිටින අනෙකුත් ජනතාවගෙන් වෙනස් වෙන්නෙ. භාරතයෙත් එහෙම වෙනස්කම් තියෙනවා. උත්තර භාරතයේ ඉඳන් දක්ෂිණ භාරතයට යනකොට වෙනස්කම් තියෙනවා. උතුරෙ ඉඳන් දකුණු කෙළවරට එනකන් එයාලගෙ පොදු ලක්ෂණ තිබුණත් එයාලට එක්කහුවෙන්න බැරි වුණා. එක්කහුවෙන්න බැරි හේතු රාශියක් තියෙනවා. එකක් තමයි ඒ වෙනස්කම්. අනිත් එක කවරදාකවත් එක්කහුවෙන විදිහට රාජ්‍යයක් තිබුන් නෑ. අශෝක රජ්ජුරුවෝ තමයි ටිකක් හරි එක්කහුකරගත්තේ. නමුත් ඊටපස්සෙ කාටවත් එහෙම කරන්න පුලුවන් වුණේ නෑ. ඒ වගේ දේවල් නිසා ඒගොල්ලන්ට ඉන්දියාවේ රාජ්‍යයක් ඇතිකරගන්න බැරිවුණා ජාතියක් හැටියට.
ඒ වගේම තමිල්නාඩුවේ දෙමළ දේශය කවදාවත් දෙමළ කියලා අදහසක් තිබුන් නෑ. මං ඒක විශ්වාසෙන් කියනවා. අන්න ඒකයි වැදගත්වෙන්නෙ. ඒක රජවරුන් විසින්, පාලකයන් විසින් ආණ්ඩු කෙරුවා මිසක් චෝලයන් ආණ්ඩු කෙරුවා, පාණ්ඩයන් ආණ්ඩු කෙරුවා, පල්ලවයන් ආණ්ඩු කෙරුවා. රාජ්‍ය වාංශිකයෝ ඇතිවුණා. ඊටත් එහා බටහිරට ගියොත් එහෙම වෙනමම එකක්. චෝල රාජ්‍යයක් ඇතිවුණා.
ඒත් අපේ සිංහල භාෂාවකුත් තියෙනවා. උතුරේ ඉඳන් දකුණට පොදු ලක්ෂණත් තියෙනවා. අපි කාටත් උරුම වෙච්ච ඉතිහාසයකුත් තියෙනවා. අපිව භාරතයේ මිනිස්සු සිංහල ලෙස හඳුන්වලා තියෙනවා. සිහල දේශම් කියලා තමයි අපිට කිව්වෙ. සීහලම් කියලා තමයි අපිට කියන්නේ, සීහලම් කියන එකෙන් තමයි ඊළාම් කියන එක බිඳිලා ඇවිත් තියෙන්නෙ. මධුරාසි විශ්වවිද්‍යාලයේ ශබ්දකෝෂයේ පැහැදිලිව තියෙනවා ඊළාම් කියන වචනය බිඳී ඇවිත් තියෙන්නේ සීහලාම් කියන වචනයෙන් කියලා. ඒක අපි කියන එකක් නෙවෙයි දෙමළ උගතුන් කියන එකක්. ඒවත් එක්ක බැලුවහොත් අපිව හඳුන්වලා තියෙන්නේ සීහල දේශය කියලා. අපිව ඇරෙන්න වෙන කිසිම රාජ්‍යයක් හඳුන්වලා නෑ එහෙම නමකින්. හැම රාජ්‍යක්ම හඳුන්වලා තියෙන්නේ දකුණු ඉන්දියාව නම් කලින් කිවා වගේ චෝල, පාණ්ඩ්‍ය , එහෙම නැත්තම් මෞර්ය රාජ්‍ය, වාංශික රාජ්‍යය තමයි තිබිලා තියෙන්නේ. එක එක රාජ්‍ය වංශවල.
මං කියන් නෑ ලංකාවෙ වංශ හිටියෙ නෑ කියලා. ලංකාවේ වංශ හිටියා. ලංකාවේ මෞර්ය වංශිකයෝ හිටියා ධාතුසේන රජ්ජුරුවන්ගෙන් පස්සේ. ලම්භකරණ වංශිකයෝ හිටියා. ඒ වගේ එක එක වාංශිකයෝ ඉඳලා තියෙනවා. නමුත් එම වාංශිකයෝ ඉඳලා තියෙන්නෙ සිංහලකම ඇතුළේ. ඒකයි වෙනස. මෑතකදි නුවර යුගයෙන් නායක්කාර් වංශිකයෝ රජවුණා. නමුත් ඔවුන් රජවුණේ සිංහල රජවරු හැටියට. නායක්කර් වංශිකයෝ හිටියට දෙමළ රජවරු නෙවෙයි. ඒගොල්ලො රජවුණේ සිංහල රාජ්‍යයක සිංහල රජවරු හැටියට. යම්කිසි ආකාරයක නමින් හරි නාමිකව හරි බෞද්ධ වුණා. ඒ්කෙ ලක්ෂණයක් තියෙනවා.
ඒ ලක්ෂණය තමයි අද වෙනකොට තියෙන්නේ. ජේ.ආර් ජයවර්ධනට බෞද්ධ වෙන්න වුණෙත්, රනිල් වික්‍රමසිංහට බෞද්ධ වෙන්න වුණෙත්. එහෙම නැත්තම් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකට බෞද්ධ වෙන්න වුණෙත් මේ සම්ප්‍රදාය නිසා. ගැමුණු රජ්ජුරුවන්ගේ, එහෙම නැත්තම් දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ ඉඳලා එන සම්ප්‍රදායක් තියෙනවා. සෑම දෙයකටම පොදු බවක් තියෙනවා. ඒ පොදු බව රැකිලා තියෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගෙන් පස්සෙ තමයි. ඒක නිසා තමයි අපිට ජාතියක් හැටියට එකතුවෙලා ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ. කාලයක ඉඳලා ඒක සංසන්දනය කරන්න හදන්න එපා. යුරෝපයේ තියෙන සංකල්ප අනුව ජාතික රාජ්‍ය ඇතිවුණේ ඊයේ පෙරේදා කියලා කිව්වා නම්, ඒ නිසා අපිට ජාතියක් හැටියට සලකන්නේ මේ කාලේ ඉඳන් කිව්වොත් ඒ කාරණය වැරදියි.
3. බොහෝ අය දන්නා පරිදි සහ ඔබත් කියන පරිදි ඔබ පෙනීසිටියේ රාජපක්ෂ පවුල, ඒ කියන්නේ මහින්ද, බැසිල්, චමල්, ගෝඨාභය, නාමල්, ඇතුළු ඔවුන්ගේ ඥාති මිත්රාදීන්ගේ පාලනය වෙනුවෙන්... එම පාලන කාලය තුල සිංහල බෞද්ධ ජාතික රාජ්ය ගොඩනැගීම සිදු උනේ කොහොමද?
ඒ කියන්නේ රාජපක්ෂ පවුලේ පාලනය යටතේ සිංහල බෞද්ධ ජාතික රාජ්යය ප්රගතියේ දිශාව වෙත යොමු උනාද?
ඒ ප්‍රශ්න දෙකටම උත්තර නෑ. මම රාජපක්ෂල වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ, පෙනී ඉඳලත් නැහැ. ඔික වැරදි කතාවක්. කව්ද ඔික කියන්නෙ? මම ඔිකට කියන්නෙ මෙටාව සහ මොටාව කියල. මෙටාව කියන්නෙ සමාජ මාධ්‍ය සකබර්ග් ඇසුරින් එන මිනිස්සු. මොටාව කියන්නෙ විශ්ව විද්‍යාල ඇසුරින් එන මිනිස්සු. ලංකාවෙ විශ්ව විද්‍යාල කියන්නෙ අන්තිම මොට්ට තැනක්. මොටාවෙන් කරන්නෙ මොට්ට මිනිස්සු බිහිකරන එක. ඔය මෙටාවෙන් සහ මොටාවෙන් තමයි කියන්නෙ මම රාජපක්ෂල වෙනුවෙන් පෙනී ඉන්නව කියන එක. ඔික අන්තිම බොරු කතාවක්.
රාජපක්ෂල වෙනුවෙන් නෙවෙයි, මම පෙනී ඉන්නෙ සිංහල ජාතිකත්වය වෙනුවෙන්. ඒකෙදි කෙනෙක් ඒ ජාතිකත්වයට ආදාරයක් කරනවනම් අනෙක් මිනිස්සුන්ට සාපේක්ෂව ඒ මිනිසාට මම පක්ෂ වෙනවා.
මම කියන්නෙ නැහැ මහින්ද රාජපක්ෂ ජාතිකත්වය ඇති මිනිහෙක් කියල. බැසිල් රාජපක්ෂට කිසිම ජාතිකත්වයක් නැහැ. නමුත් මහින්ද රාජපක්ෂව ජාතිකත්වයට තල්ලු කෙරුණා. ඒක කළේ අපේ රටේ ජාතික බලවේග විසින්. ඒ තල්ලු කිරීමත් එක්ක එයාට පුළුවන් උනා දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පරාජය කරන්න. ඒක ලොකු ජයග්‍රහණයක්. ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවුනු, මම හිතන විදිහට හයවන පරාක්‍රමභාහු රජතුමාගෙන් පස්සෙ සිද්ද වෙච්ච ලොකුම ජයග්‍රහණය ඒක.
එවැනි දෙයක් කිරිම සිංහල බෞද්ධ ජාතික රාජ්‍යය වෙනුවෙන් ඉටුවෙච්ච කාරණයක් හැටියට මම සලකනවා. ඒ වෙනුවෙන් මම මහින්ද රාජපක්ෂට හැමදාමත් ස්තූති කරනවා. ඒ කියන්නෙ මම රාජපක්ෂවාදියෙක් කියන එක නෙවෙයි. දැන් අපි ගැමුණු රජ්ජුරුවන්ට පක්ෂයි කියන එකෙන් කියනවද මම ගැමුණුවාදියෙක් කියල. ගැමුණුවාදියෙක්වත්, දේවානම් පියතිස්ස වාදියෙක්වත්, සිරිසඟබෝවාදියෙක්වත්. වාදියෝ නෙවෙයි. ඒ අය රටට යම්කිසි සේවයක් කරපු මිනිස්සු, සිංහල ජාතිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන්.
4. ලංකාව අතිශය වානිජකරණයට ලක්වූයේ, දැවැන්ත පාරිසරික හානියක් සිදු වූයේ, සාම්ප්රදායික මිනිස් සබඳතා, ඒ කියන්නේ සිංහල සාම්ප්‍රදායිකත්වය අහෝසිවෙමින්, වටිනාකම් අතර සබඳතා බවට සිංහල බෞද්ධ සබඳතා ඌනනය වීමේ සීග්‍රතාවය වැඩි උනේ, වන විනාශය අධික වූයේ, ජේආර් පාලන සමයට වඩා, - පාරිභෝජනවාදය, මහා පරිමාන ඉදිකිරීම්, මාර්ග ඝනත්වය -අතින් ලෝකයේ හතරවන ස්ථානය,- වණ විනාශයේ ඉහලම ධාරිතාවය, වැනි තත්වයන් තුලින්- රට වානිජකරණයට ලක්වුණේ රාජපක්ෂවරුන් යටතේ...
නමුත් ඔබ ප්‍රකාශ කරනවා ජේ.ආර්., රනිල් වැන්නන් සිංහල බෞද්ධ විරෝධීන් සහ රාජපක්ෂවරු ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ ජාතිකත්වයේ නායකයින් කියල. මේක වෙන්නේ කොහොමද?
(රනිල්, රාජපක්ෂලා තරම් පන්සල් නොයන නිසා සහ ඔහු එම අතීත උරුමයන්හට හට අකමැති නිසා ද?) උදාහරණයකට දැනට උද්ගතව ඇති කුරුන්දි පුදබිම පිලිබඳ ප්‍රශ්නය රාජපක්ෂලා යටතේ නම් ඇති වෙන්නේ නැති නිසාද?
කුරුන්දි පුදබිම ප්‍රශ්නය වගේ එකක් මහින්ද හෝ ගෝඨාභය යටතේ කවදාකවත් ඇතිවෙන්නෙ නැහැ. ඒකට හේතුව මේකයි.
අපේ රටේ 1505න් පස්සෙ (සමහරු කියනවා 1506 කියල) ඒ කාලෙන් පස්සෙ පෘතිග්‍රීසිකාරයෝ මේ රටට ආව. ඔවුන් ආවට පස්සෙ මේ රටේ හුඟක් දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා.
දැන් මගේ නමම නලින් ද සිල්වානේ. ද සිල්වා කියන එක පෘතුග්‍රීසීන්ගෙන් ගත්තු එකක්. ඒ වගේ ලංකාවේ නම් ටික බැලුවත් යම් ප්‍රමාණයක් තියෙනවා පෘතුගීසි නම්. ඒවා අපිට පෘතුග්‍රීසීන් විසින් දුන්නු දේවල්. ඒවා අපිට බලහත්කාරයෙන් දුන්නේ. ඒවගෙන් අපේ කවුරු කවුරුහරි වරප්‍රසාද ගන්න ඇති. අපි ආගමත් වෙනස් කෙරුවා. මේවා වැදගත් කාරණා. පෘතුග්‍රීසීන් පැමිණියායින් පස්සෙ මේ රට ටිකෙන් ටික සංස්කෘතික වශයෙන් වෙනස් වුණා. ඒ සංස්කෘතියට අපි ගියේ නැත්තම් අපිට යම් යම් දේවල් ලැබෙන්නේ නැහැ කියන තත්ත්වයට පත්වුණා. ඒ අනුව මිනිස්සු ඒ සංස්කෘතිය වෙතට ගියා. ඉන්පස්සේ ලන්දේසි ආවා. රට රෙපරමාදු කරන්න ගත්තා. ඒගොල්ලො ඉස්කෝල පටන් ගත්තා. ඉස්කෝලෙට එන්න නම් ආගම අදහන්න ඕන කියන එක කොන්දේසියක්.
ඉන්පස්සෙ ඉංග්‍රීසියන් ආවා. ඉංග්‍රීසීන් තමයි මේ රට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මූලික වෙච්ච මිනිස්සු. ඒගොල්ලො බොහොම සියුම්. ඒගොල්ලො පෘතුග්‍රීසිකාරයෝ හරි ලන්දේසිකාරයෝ හරි තරමට අපිව ආගමට ගන්න උත්සාහයක් කළේ නැහැ ලොකුවට. ඒගොල්ලො පාසල් ඇතිකළා.
1814 රිච්මන්ඩ් විද්‍යාලය ඇති කළා. ඒක තමයි මෙතෝදිස්ත පාසලක් හැටියට ලංකාවේ ඇති කරපු පළවෙනි පාසල. ඒ පාසලෙන් පස්සේ ලංකාවේ අධ්‍යාපනය වෙනස් වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කළේ අර සංස්කෘතිය පාසල් හරහා අපිට දෙන්න පටන් ගැනීම. ආගම මත පදනම් වෙච්ච ආගමට වඩා පළල් සංස්කෘතියක් ඒගොල්ලො අපිට දුන්නා. ඒ කියන්නේ ආගමේ නැති වුණත් ඒ සංස්කෘතියේ ඉන්න පුළුවන්. ආගමට වඩා පළල් කියන්නේ අපි ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ නොවුනත් අපිට ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඉන්න පුළුවන්.
ඒ විදිහට තමයි ක්‍රිස්තියානි පාසැල් ඇතිවුණේ. ඉන්පස්සේ මෙතෝදිස්ත පාසැල් වෙනුවට ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි පාසැල් ඇතිවුණා. කොළඹ ඇකඩමිය රෝයල් විද්‍යාලය වුණා. ශාන්ත තෝමස් විද්‍යාලය, නුවර ට්‍රිනිට් විද්‍යාලය, ලේඩීස් කොලේජ්, බිෂොප් කොලේජ් ඔය වගේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි පාසැල් ඇතිවුණා. ඒ පාසැල්වලට තමයි ලංකාවේ ඉහළම තත්ත්වය ලබාදුන්නේ. අදත් ඒක තියෙනවා. එතකොට ඒ තත්ත්වයන් උඩ ඒ පාසල්වලින් යම්කිසි පිරිසක් බිහි කෙරුවා. ඒ වගේම ආගමෙනුත් සමහර අය ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි වුණා. ජේ. ආර් ජයවර්ධනත්, රනිල් වික්‍රමසිංහත් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි වුණා. රනිල් වික්‍රමසිංහ බද්දේගම. බද්දේගමත් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි නගරයක් වුණා.
රනිල් ඉගෙනගත්තේ රාජකීය විද්‍යාලයේ. ජේ. ආර් ජයවර්ධන ඉගෙනගත්තේත් රාජකීය විද්‍යාලයේ. ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනගත්ත අය හිටිය, ඒ විදිහට මේ අය විසින් යම්කිසි සංස්කෘතියක් මේ රටට ඇති කෙරුවා. ඒ සංස්කෘතිය උඩ තමයි රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂලා වෙන් වෙන්නේ.
රාජපක්ෂලා කියන වචන තේරුමක් නැහැ ඇත්තටම. බැසිල් රාජපක්ෂවයි, මහින්ද රාජපක්ෂවයි එකට ගන්න බැහැ කොහොමටවත්. රාජපක්ෂලා කියල මම අදහස් කරන්නේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ පමණයි. නමුත් අවාසනාවක් හැටියට පවුලක් හැටියට හඳුන්වන්න මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ වෙන්වෙනවා. ඒකට හේතුව එයාලට ගැමි පරිසරයක් තිබුණ මූලික වශයෙන් මැදමුලන ඉපදිච්ච අය හැටියට සහ ඒගොල්ලන්ගෙ බෞද්ධ වටපිටාව නිසා.
රනිල්ටවත්, ජේ.ආර්ටවත් බෞද්ධ වටපිටාවක් තිබුණේ නැහැ. අම්මා බෞද්ධ වෙන්න පුළුවන්. ඒත් මූලික වශයෙන් ඔවුන් ක්‍රිස්තියානි සංස්කෘතියේ හැදිච්ච අය. ඉතින් ඒ සංස්කෘතික වෙනස තියෙනවා. සංස්කෘතික වෙනස තිබුණට මොකද ඒ වෙනස නිසා තමයි රනිල් වික්‍රමසිංහ කරන්නාවූ කුරුන්දි කතන්දර මහින්ද රාජපක්ෂ කවදාවකවත් කරන්නේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්ෂ දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පරාජය කළා. රනිල් වික්‍රමසිංහ කවදාකවත් පරාජය කරන්න උත්සාහයක්වත් ගන්නේ නෑ. ඒ සංස්කෘතික වෙනස නිසා.
නමුත් ඒ සංස්කෘතික වෙනසේ තවත් කොටසක් තියෙනවනේ. ඒ සංස්කෘතිය හරහා අපිට ආගමික දේවල් ඇතුල් කරපු එකට අමතරව වාණිජ කාරණයත් ඇතුල් කළා. ඒ කියන්නේ අපිට අපේ තිබුණු සාමූහිකත්වය නැති කරලා ඒ වෙනුවට වාණිජ්‍ය එහෙම නැත්නම් ධනවාදී පැත්තක් ඇතිකරන්න.
දැන් ඕකෙත් කොටස් දෙකක් තියෙනවා. එතනදි අපිට ලංකාව දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන සංකල්පයක් තියෙනවනේ ලංකාවේ මිනිස්සුන්ට. දියුණුව කියන්නේ, ලෝකයේ දියුණුව කියන්නේ.. ඇමෙරිකාව ගත්තොත් එහේ මිනිස්සු කරන්නේ ශක්ති පරිභෝජනය කරන එක විතරයි. දියුණු රටවල් කියන්නේ අධිශක්ති පරිභෝජනයක් තියෙන රටවල්. ඒ අධිශක්ති පරිභෝජනය ඇමරිකාවෙත් තියෙනවා, එංගලන්තයෙත් තියෙනවා, කැනඩාවෙත් තියෙනවා, ඔස්ට්‍රේලියාවෙත් තියෙනවා. ඒ ඇන්ග්ලිකන් රටවල්. ඊට අමතරව ප්‍රංශය ඉතාලිය වගේ කතෝලික රටවලත් තියෙනවා. දියුණුව කියන එකෙන් අපි අදහස් කරන්නේ ඒකයි. ඕක හරියට කවුරුත් කියන්නේ නැහැ. දියුණුව කියන්නේ මේක හොඳයි කියන එක නෙවෙයි. එතකොට ඇමරිකාව තමයි දියුණුම ජාතිය. කතාවට කියනවනේ ඒක පුද්ගල ශක්ති පරිභෝජනය කියලා. ඒක පුද්ගල වැඩිම පරිභෝජනයක් තියෙන රට තමයි ඇමරිකාව. ඒ හින්ද ඇමරිකාව තමයි දියුණුම රට. දැන් ඒ දියුණුව පස්සේ යනවානේ අපි. ඒ දියුණුව පස්සේ යනකොට අපිටත් හිතෙනවා ශක්ති පරිභෝජනය වැඩි කරගන්න. ඒක වැඩි කරගන්න තමයි රාජපක්ෂලා වැඩ කෙරුවෙ.
මෙතන ප්‍රශ්නය මේකයි. සිංහල බෞද්ධ ජාතිකත්වයේ සමහර අංග විතරයි රාජපක්ෂලාට ගන්න පුළුවන් වුණේ. නමුත් ඒගොල්ලන්ට අර අනික් කොටස අහුවුණේ නැහැ. ඒකට අපි ඔක්කොම වැරදිකාරයෝ. මොකද අපිට මේ පිළිබඳව හරියට පැහැදිලි නිරවුල් අදහසක් නැතිකමේ ප්‍රශ්නය. දියුණු වෙනවා කියන්නේ මොකක්ද? සිංහල බෞද්ධ ක්‍රමයක් යටතේ ජීවත්වෙන්නෙ කොහොමද කියන එක ගැන, මේවා ගැන කිසිම කතාවක් නැහැ. අපි නිකං බොරුවට කියනවා මධ්‍යම ප්‍රතිපදාවක් ගැන. ඒත් මෙලෝ මිනිහෙක් දන්නෙ නැහැ මධ්‍යම ප්‍රතිපදාවක් යටතේ ජිවත්වෙනවා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒවත් එක්ක රාජපක්ෂලාටවත් මේ ගැන කිසිම තේරුමක් නැහැ. ඒක තේරුනේ නැති නිසා ඒ ගොල්ලන්ටත් ඕන වුණා මේ රට දියුණු කරන්න. දියුණු කරනවාය කියල ශක්ති පරභෝජනය වැඩි කරන්න.
ඉතින් ඔය කියනවා වගේ මාර්ග ඝනත්වය වගේ ඒව කළා. අර ඇමරිකාවේ වගේ අධිශක්ති පරිභෝජනය ඒගොල්ලොත් ගන්න හැදුවා. ඒකත් එක්ක තමයි ඔය සියලුම දේවල් වුණේ. මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළදී වන විනාශය, පාරවල් හැදීම මේ සේරම දේවල් වුණා.
හැබැයි ඒගොල්ලො ගත්තෙ නැති තව දෙයක් තියෙනවා. අන්න ඒ දේ දැන් රනිල් වික්‍රමසිංහ ගන්න හදනවා. ඒ තමයි ඇමරිකාවේ තියෙන ලොකුම දේ තමයි රාජ්‍ය කියන දේ ව්‍යාපාරවලට මැදිහත් නොවීම. එහෙම නැත්නම් රාජ්‍ය මේ සියලු ව්‍යාපාරවලට උඩින් ඉඳගෙන කටයුතු කිරීම. ඒ කොටස මහින්ද රාජපක්ෂ ගත්තෙ නෑ.
මොකද අපේ රටේ තියනවානේ යම්කිසි ආකාරයක සාමූහිකත්වය පිළිබඳ අදහසක්. ඒ සාමුහිකත්වය පිළිබඳ අදහස නිසා තමයි ඔය ඇතැම් සමාජවාදී අදහසුත් අපේ රටේ මුල් බැස ගත්තේ, සමාජවාදය හින්ඳම නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ ජනසතු ව්‍යාපාර පවත්වාගෙන යන්න ඕන කියලා. ඒ වගේ ඒවා රාජපක්ෂලාට අවශ්‍ය වුණා. ඒකෙ බෞද්ධ පැත්තක් ගන්න. ඕක හරිම සංකීර්ණ දෙයක්.
හරියටම වෙන් කරල කියන්න බෑ රාජපක්ෂලා බෞද්ධ කියලා. එහෙත් රාජපක්ෂලා සිංහල බෞද්ධ ආකෘතියේ යම් යම් දේවල් ගත්තා. රනිල් කිසිම දෙයක් ගත්තෙ නැති මිනිහෙක්. රනිල් මේ කිසිම දෙයක් ගත්තෙ නැති වුණාට එතනින් එහාට ගිහිල්ලා දැන් අද රනිල් කරන්නෙ රාජ්‍ය කියන එක ව්‍යාපාරවලින් වෙන් කරනවාය කියන එක. රාජ්‍ය ව්‍යාපාරවලට උඩින් ඉන්න එක, හරියට ඇමරිකාව වගේ. ඒ අයුරින් ගත්තම ලංකාව ඇමරිකාව ළඟටම දියුණුම රට. දියුණුව කියන්නේ ඒ ආකෘතියේ යම් කොටසක් වුණු රාජ්‍යය උඩින් තියන එක එයා කරනවා. ඒක පැහැදිලියි. ඒ අර්ථයෙනුයි මම කියන්නේ ලංකාව තමයි ඇමරිකාව ළඟට දියුණුම රට කියලා. මාව වරදවා වටහා ගන්න එපා. පඬිවරු මේ වචන අරගෙන ඒක මේක කියාවි.
මම මේ කියන්නේ මේ ධනවාදී රටවල, බටහිර දියුණු කියන රටවල ආකෘතියේ තියෙන එක කොටසක් රනිල් ගන්නවා. රාජපක්ෂලා ඒක ගන්නෙ නෑ. සිංහල බෞද්ධ සාමූහිකත්වය කියන එක ලංකාවේ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අද ඒ සංකල්පය තියෙන්නේ ජනසතු කිරීම හරහා. ජනසතු ව්‍යාපාර තමයි සාමූහික ව්‍යාපාර විදිහට අපිට සලකන්න වෙලා තියෙන්නෙ, දැන් තියෙන රටාව අනුව. රාජපක්ෂලා ඒක ගත්තෙ නැහැ. එයාලගේ තියනවා සිංහල බෞද්ධ හැඟීමක්. මහින්දගෙත් තියනවා. ගෝඨාභයගේ ඊට වඩා තියෙනවා. නමුත් රනිල් කියන්නේ එහෙම කිසිම හැඟීමක් නැති ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිෂ්පාදිතයක්.
සිංහල බෞද්ධකම එයාට ගෑවිලා තියෙන්නෙ අම්මගෙන් විතරයි. ඒ විජේවර්ධන පවුල හරහා. එයා කැලණියෙ දායක සභාවේ සභාපති වෙලා හිටියා කාලයක්. ඒකෙන් මොකක් හරි හේතුවක් නිසා එයාව පැන්නුවා. සමහරවිට ඒ සංස්කෘතියත් එක්ක එයාට ගැලපෙන්න බැරි නිසා වෙන්න ඇති මම හිතන විදිහට. ඕක තමයි රාජපක්ෂලා හා රනිල් අතර තියෙන ප්‍රශ්නය.
නමුත් මම රාජපක්ෂලත් එක්ක නැහැ කොයිවෙලාවකවත්. මම රාජපක්ෂවාදියෙක් නෙවෙයි. නමුත් සම්පූර්ණයෙන්ම මේක කිරලා බලනකොට - සිංහල බෞද්ධ පැත්තට යම් දෙයක් කරන්නෙ කවුද කියනකොට - මට හිතෙන්නෙ පසුගිය අවුරුදු 25, 30 ඇතුලත සිංහල බෞද්ධකමට කරන්න තිබුණු ලොකුම දේ තමයි මේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය, ඒ මතවාදය පරාජය කිරීම කියලා. ඒ සඳහා වැඩ කරපු කෙනෙක් මහින්ද. ඊට විරුද්ධව වැඩ කරන කෙනෙක් රනිල්. අද කුරින්දි ප්‍රශ්නයත් එහෙමයි.
5. ඔබ සාක්ශාත්කොට ගැනීමට බලපොරොත්තු වන සිංහල බෞද්ධ ජාතික රාජ්යයේ පුරවැසියන්ගේ විවිධත්වයක් තිබේද?
ඒ කියන්නේ විවිධ පාරිභෝජන සහ සමාජ මට්ටම් තිබිය හැකි ද? සහ එසේ විවිධත්වයක් තිබේ නම් ඒ විවිධත්වය තුල ලෝකයේ ඉහලම විද්යා-තාක්ෂණ නිෂ්පාදන තම ක්රයශක්තිය අනුව පාරිභෝජනය කරන පුරවැසියන් සහ ඒවා ඉතාම අවම මට්ටමින් පාරිභෝජනය කල හැකි පුරවැසියන් සිටින සමාජයක්ද?
උදාහරණයකින් කියනවා නම් ඔබ බලාපොරොත්තු වන සිංහල බෞද්ධයා යනු බෙන්ස් කාරයකින් අනුරාධපුරය වෙත ඇති අධිවේගී මාර්ගයක් ඔස්සේ ගොස් අටමස්ථාන වඳින සැදැහැවත් බෞද්ධයෙක් ද?
මේ රටේ තියෙනවා ගැමුණු රජ්ජුරුවන්ගෙ ඉඳලා ගත්තොත් එහෙම සිංහල බෞද්ධ රාජ්‍යයක්. ඕනෑම එක්කෙනෙකුට මේකෙ ඉන්න පුළුවන්. ඒ මිනිහා සිංහල බෞද්ධ වෙන්න ඕනම නෑ. නමුත් මම කියන්නේ ඒ ඕනෑම මිනිහෙකුට ඕනම ආගමක් අදහගෙන ඕනෑම දෙයක් කරගෙන ඉන්න, හැබැයි යම් යම් නීති- රීති ටිකක් යටතේ. නමුත් මම කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක නැති කරන්න එපා. ලෝකයේ මිනිස්සු නීතිය ඉදිරියේ සමානයි. නමුත් නීතිය ඉදිරියේ මිනිස්සු සමාන වුණාට, මිනිස්සු සමාන වෙන්නෙ නෑනෙ. අපි නීතිය ඉස්සරහට ගියත් සමාන වෙන්නේ නැහැ. අපිට සල්ලි තියනවනම් හොඳ නීතිඥයෙක් අල්ලගන්න පුළුවන්. නීතිය ඉදිරියේ සමාන වුණාට නීතිය ඉදිරියේ නීතිඥයෝ සමාන නැහැනේ.
කවදාවත් මම කන විදියට නෙමෙයි ඕගොල්ලො කන්නේ. එක එක මිනිස්සුන්ගේ රුචිකත්වය වෙනස්. එක එක මිනිස්සුන්ට එක එක දේවල් අවශ්‍යයි. ඒ විෂමතාවය ලෝකෙ හැමතැනම තියෙනවා.
සිංහල සමාජයේ විෂමතාවය හැමදාම තිබුණා. ඒ විෂමතාවය වැඩිපුරම තියෙන රටක් වෙන්න පුළුවන් ලංකාව. ලංකාවේ මං කලින් කිව්ව සිංහල වෙදකම ගත්තොත් එහෙම ඒ ඒ පළාත්වල වැවෙන පැලෑටි අනුව තමයි සමහරවිට වෙදකම නියම වුණෙත්. ඒ වගේ විෂමතාවයක් තියෙන්නත් පුළුවන්. ඖෂධ අරිෂ්ටයක් හදලා විකුණන ක්‍රමයක් අපි ගාව තිබුන් නෑ. එහෙම නැත්නම් ඔය පැරසිටමෝල් පෙත්ත මුළු ලෝකෙටම දෙනවා වගේ එකක් අපි ගාව තිබුන් නෑ. ඒ වගේ මධ්‍යගත ක්‍රමයක් අපි ගාව තිබුන් නෑ. දැන් ඔය කතා කරනවා විමධ්‍යගත ක්‍රමයක් ගැන. ඒ විමධ්‍යගත ක්‍රමයක් අපි ගාව තිබුණා නැතුවා නෙවෙයි. නමුත් ඒ විමධ්‍යගත ක්‍රමය කියලා තියෙන්නේ මං හිතන්නේ එක එක මිනිස්සු එක එක විදියට තමන්ගේ වැඩ කරගන්න එක.
උදාහරණයක් විදිහට අපි පොඩි කාලේ සිංහල අවුරුද්දට තිබුණේ එක එක නැකැත්. අපේ ගමේ අයගෙන් අපේ අම්මා අහනවා ඕගොල්ලෝ මොන නැකතද කරන්නේ කියලා. මට පොඩි කාලේ ඇහිලා තියෙනවා. අපි ගන්නෙ අර නැකත, අපි ගන්නෙ මේ නැකත කියලා වෙන වෙනම නැකැත් තිබුණා වෙන වෙනම මිනිස්සුන්ට. අප්‍රේල් මාසයේ මාසෙ 12 හරි 13 ,14 හරි වෙන්න පුළුවන්. ඒත් දවස්. නමුත් එක් එක කෙනා නැකැත් ගත්තා.
ඔය විජමු ලොකු බණ්ඩාරගෙන් පස්සේ තමයි හැමෝම එකම නැකතකට කන්න පුරුදු වුණේ. ඒක දරුණු මධ්‍යගතයක්. මම ඒකට කැමැති නෑ. ඒ දරුණු මධ්‍යගතයට ලංකාවේ සිංහල මිනිස්සු එකම වෙලාවට කනවා කියන එක මහ විකාරයක් මටනම්. ඒකෙන් සාමූහිකත්වයක් ඇති වෙන්නේ නෑ. සාමූහිකත්වයක් ඇතිවෙන්න නම් අර මිනිස්සු කලින් වගේ එක එකට නැකැත්වලට කන්න ඕන. මේවා ඉතින් ලොකු බණ්ඩාර කරපු වැඩක්. ඒ මනුස්සයාට මං වරදක් කියනවා නෙමෙයි. නමුත් ඒක සිංහල -බෞද්ධ ක්‍රමයක් නෙවෙයි. මේ දරුණු මධ්‍යගත ක්‍රමය සිංහල -බෞද්ධ ක්‍රමය නෙවෙයි. ඒ වැරදි කොනකින් අල්ලගත්ත එකක්. කොහොමහරි මගේ අදහස තමයි මේකෙ විශේෂත්වයක් තියෙන්න ඕන. මේ විශේෂත්වය අපිට තියාගන්න ඉඩ දෙන්න.
ඔය බහුසංස්කෘතික බහුභූත කතන්දරේ කියනවා එංගලන්තයේ. එංගලන්තයේ බහුසංස්කෘතික කතා කිව්වට චාල්ස්ගේ ඔටුණු පැළඳීමේ මංගල්‍යයට එකම හාමුදුරුවෝ කෙනෙකුටවත් ආරාධනා කරේ නැහැ. ඇයි ඒ? මං අහන්නේ ඒකයි. බහුසංස්කෘතික කියන එක එකක්. සියලු සංස්කෘතීන් සමානයි කියන එක තවත් එකක්. සියලු මිනිස්සු සමානයි කියන්නෙ තවත් එකක්. මං කියන්නේ මේවා එකක්වත් සමාන නැහැ. මේ සංස්කෘතීන් අස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත තත්ත්වයක් දරනවා. එච්චරයි.
මිනිස්සු අතර අසමානතාවයන් වෙනස් කරන්න බෑ. මිනිස්සු අතර සමානතාවයක් තිබුනෙ නැති වුණාට, මිනිස්සුන්ට එක සමාන විදිහට සලකන්න පුරුදු වෙච්ච ගතියක් තිබුණා. මිනිස්සුන්ට ගරු කරමින් උදව් කරමින් ජීවත්වෙන්න පුරුදු වෙන්න ඕන. ලංකාවේ සමානත්ව කතා තිබුණේ නැහැ. ලංකාවෙ තිබුණෙ සාමූහිකත්ව කතාවක්. ඉතින් ඒවා එක්ක අසමානකම් අතර අසමානකම් අවම කිරීමේ ගතියක් අපි ගාව තිබුණා. දැන් ඒ අවමය නිසා අපේ රටේ ඉතාමත් දැඩි පෝසතුන් හිටියෙ නෑ. දැනුත් නෑ. දැන් ඉන්නවා අන්තිම දුප්පත් මිනිස්සු. ඒත් එහෙම අධික දුප්පත් මිනිස්සු හිටියේ නෑ.
ගණිතයේ තියෙනවා බෙල් වක්‍රය කියලා එකක්. යම් යම් නියැදි ගත්තම ඒ නියැදිවල මිනිස්සු හරි අවයව හරි ඒවගේ ගති ලක්ෂණ ගත්තම ඒවායේ වක්‍රයක් අඳින්න පුළුවන්. මේ මිනිහට කොච්චර පුළුවන්ද මෙයාට කොච්චර පුළුවන්ද කියලා.
බෙල් වක්‍රයේ රූ සටහන.
සාමාන්‍යයෙන් ව්‍යාප්තියක වැඩි සංඛ්‍යාවක් ඇත්තේ මැද කොටසෙහි. ඉතා අඩු සංඛ්‍යාවක් කොන් දෙකේ ඉන්නවා.
සිංහලයන් සම්බන්ධයෙන් ගත් කල බටහිරට සාපේක්‍ෂ ව සියල්ලන් ම පාහේ ඇත්තේ මැද කොටසෙහි. සිංහලයන් සමජාතීය කියා මා කියන්නේ එබැවින්. බටහිර නිර්ණායක සම්බන්ධයෙන් ගත් කල අපට විශිෂ්ටයන් නැහැ. අපට ඉහළ ම ධන හිමියන්වත් ඉහළ ම බුද්ධිමතුන්වත් නැහැ. මෙහි බුද්ධිමතුන් කියන්නේ බටහිර අර්ථයෙන් බුද්ධිමතුන්. අප විසින් බටහිර දැනුමට කිසිම අලුත් දෙයක් එකතු නොකෙරෙන්නේ එබැවින්. අප ඉතා වැඩි වශයෙන් කරන්නේ බටහිරයන් ලබා දෙන දැනුම අපේ නැණ පමණින් ලබා ගෙන සිංහලෙන් හරි ඉංගිරිසියෙන් හරි කීම පමණයි. මොටාවේ (විශ්වවිද්‍යාලවල) නම් වැඩි පුර ඇත්තේ ටියුබ් ලයිට්.
ඒ වගේම අපේ රටේ ලොකු බුද්ධිමතුන් කියලා හිතාගෙන හිටියාට මිනිස්සු ලංකාවේ ඉතා විශිෂ්ට බුද්ධිමතුන් නැහැ. ඉතාම මෝඩ මිනිස්සුත් නැහැ. මං දැකලා තියෙනවා මේ ඇමරිකාවේ මහ මෝඩ මිනිස්සු ඉන්නවා. එංගලන්තයේ මෝඩ මිනිස්සු ඉන්නවා මං දැකලා තියෙනවා. ඔස්ට්‍රේලියාවෙත් මෝඩ මිනිස්සු මං දැකලා තියෙනවා. එවැනි මෝඩ මිනිස්සු ලංකාවේ නැහැ. ඒ වගේම ලංකාවෙ විශිෂ්ටයෝත් නෑ. ඒක ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අංගයක්. ඒ විශිෂ්ටයෝ නැති වුණාට සියලු දෙනා එක වගේ සමාන නෑ. යම් අසමානකම් තියෙනවා. ඒ අසමානකම්වල පරතරය අඩුයි. ලංකාවේ අයින්ස්ටයින් කෙනෙක් කවදාවත් බිහිවෙන්නෙ නෑ.
මං මේ ඇමරිකාවේ ඉන්න ප්‍රදේශයෙන් හැතැක්ම 20ක් ගියාට පස්සෙ මහා විශිෂ්ට බුද්ධිමතුන් හම්බවෙන්න පුළුවන්. මෙතන තියෙනව ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කියලා එකක්. ඒකට ගියාම අතිදක්ෂ බුද්ධිමතුන් ඉන්නවා. මම ඒ අහලකවත් නැහැ. අපිට ඒ අහලකටවත් එන්න බෑ. ඒක මගේ වැරැද්දක් නෙවෙයි. ඒක අපේ සංස්කෘතියේ ප්‍රශ්නයක්. අපි හැදිල තියෙන්නෙ එහෙම. මගේ සහ තවත් මිනිහෙකුගේ මෝඩකම අතර තියෙන වෙනස සුළුයි. නමුත් ඇමරිකාවේ මහා විශිෂ්ට බුද්ධිමතෙක් හා අන්තිම ගණයේ මෝඩයෙක් අතර වෙනස බුද්ධිමය වශයෙන් ගතහොත් මහා විශාලයි. මේ කතන්දරය මිනිස්සුන්ට තේරෙන්නේ නැත්නම් හරි මිනිස්සු වැරදියට වටහා ගන්නවා නම්, ඒකෙ තේරුම තේරුමත් අපේ මොකක් හරි සංස්කෘතික ප්‍රශ්නයක් තමයි.
මිනිස්සු අතර අසමානකම් තියෙනවා. අසමානකම් නැතිකරන්න බෑ මෙලෝ ජාතියකට. මාක්ස් නෙවෙයි කාටවත් නැති කරන්න බෑ. මාක්ස් මහ බොරුකාරයෙක්. මාක්ස් කිව්ව කිසි දෙයක් ලෝකේ හරි ගිහින් නෑ. මම කලින් කිව්වා වගේ අසමානකම් අවම කරන්න විතරයි පුළුවන්. මං අවුරුදු 30-35ක් තිස්සේ යම් දෙයක් කෙරුවා නම් කෙරුවේ මේ අසමානකම් අවම කිරීමේ සහ අනිත් මිනිස්සුන්ට සැලකීමට කටයුතු කිරීමට.
ලෝකයේ අපි ජීවත් වෙන අනිත් මිනිස්සුත් එක්ක, ගහකොළත් එක්ක.
ඒක තමයි සිංහල බෞද්ධකම කියන්නේ.
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා කියන්නේ ඒකයි.
සංවාද සටහන - සිරිමලී ලියනගම
@slleader.lk