SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"රූපය දිරයි එහෙත් ඉපැයූ නාමය පවතී" යන්න එකට කථික තරග වලදී අප නිතර භාවිත කල යෙදුමකි.

එහි පාළි වචන පෙල ගැස්මද රිද්මයානුකූලව කථාවට අවැසි අමතර බර දුන්නා බවද සැබැවි.

 

මෑතකදී රක්ෂණායතනයකින් නිමැවූ (නොමිලේ ආයතන ප්‍රවර්ධනය නොකරන බැවින් ලියාපදිංචි වෙලද නාමය ප්‍රවර්ධනය නොකරමි ) නැසීගිය තාරකා පන්ති ගායකයන් කිහිප පලකගේ ත්‍රිමාන ප්‍රතිනිමැයුම් රූ සහ හඩ හැඩ රැගත් වෙලද දැන්වීම ගැන බුකියේ නැගෙන කථා බහ අවශ්‍යයෙන්ම ඊට අදාල ආයතනය බලාපොරොත්තුවක් වූ පරිදිම "ටොපික්" එකක් වෙනු දකිමි.

 

මේ ගැන බුකියේ ලියන්නන් සැම අදාල ප්‍රචාරක ආයතනය මගින් ලබා දෙන මිලකට මෙම ඇවිලුම කරන්නේ යැයි කීමට ඉක්මන් නොවෙමි. එහෙත් වනික් සමාජ ප්‍රවණතා ගැන විපරිමත් දෑසින් ඉන්නා අයෙකුට එබදු වෑයම් ගැන එමට නිදසුන් ඉතිහාසයෙන් ලද හැකිය. මෙබදු වෙළද ප්‍රවණතා ගැන සරු කථෝපකතනයක් වෙනුවට ලාභ ප්‍රශස්ති ලිපි හෝ ඕනෑම කුණ්ඩවාලයකට "සා වෑව්" ඕසම් කියනා දායක සභා සුලභ වීම නිසාම කෙටියෙන් මගේ අදහස ලිවිය යුතු යැයි සිතූවෙමි.

 

ප්‍රථමයෙන් එබදු ජීවගුණයෙන් හෙබි රූප නිර්මාණය කෙරෙහි සමත්කම් පෑ පරිගණක ශිල්පීන්ට ආදරය පුදමි. මන්ද පලමු ගිණි පුලිගුව මෙතරම් කදිමට නිමා කර ලීමට කෙතරම් කාලයක් තිරමත ඇස් දල්වා සිටිය යුතුද බව සංස්කරණ ශිල්පීන් ඇසුරෙහි අත්දැකීමෙන් දන්නා බැවිනි.

ජෝතීගේ පාට මදි, බදු එක වදනකින් කිම පහසු වුවද ත්‍රිමාණ රූප සජීවීකරණය තෙක් කැඳවාගෙන ඒම තාක්ශණයේ නව තුන්පිම්මක් ලෙස මෙය ගැනෙනු ඇත්තේමය.

 

දෙවැන්න කලාකරුවන්ගේ ආත්මයට රසිකයන් ලෙස අපට වූ බැදියාව කෙලෙසන ලද්දේය යනුවෙන් නැගෙනා මතයයි. සුනිල් අයියා වලෙන් නැගිට ආවද , ක්ලැරා අත ගිටාරය තිබුනද , මිල්ටන් පෙරපරිදි නොනැටුවද උපන් නව නිර්මාණයක් නම් නැත්තේමය.

 

ජීවත්ව සිටි කාලයේ නිතර කියූ වදනක් දෙකක් සහ කථා හැඩය මිස අලුතින් ජීවය ලද ආකර්ශණීය ලෙස හදට වදින වදන් වැල් උපදවා නැත.

ජුරාසික උද්‍යාන සිනමා සිත්තමේ ඩයිනෝසරයන් හඩ නගන්නේ ගැලැපගෝස් දිවයිනේ වසනා යෝධ ඉදිබුවන් සංසර්ගයේදී නගන හඩ ඇසුරින් නිමැවූ ස්වර කලාපයක බව අපට අසන්නට ලැබෙන්නේ ඒ පිලිබදව වූ නිර්මාණය අද්‍යයනට ඇති කුහුල නිසාම වන සොයා යාමෙනි.

 

AI re birth 2

 

එබැවින් මේ පාලිය ඇරඹීමක් පමණක් බව හගමි. තාරකා ශිල්පීන්ගේ නිල උරුම කරුවන්ගෙන් නිසි අවසරය නොගෙන මෙබදු ආයෝජනයක් සදහා පෙලැඹීමට තරම් ආයෝජකයන් ප්‍රාථමික නොවනු ඇත. එබැවින් පවුලේ අයට නැති අමාරුවක් අනිත් අයට කිම ? යන තර්කයද විටෙක නැගෙනු ඇත.

එහෙත් හදවතේ සුපිරි තරු මාවතේ ස්වීපිං වැඩ කරනු උහුලන්නට නොහැකි තරම් දයාබරිතව ඔවුන්ගේ නිර්මාණාත්මක මතක මත ලයෙහි හොවා ගත් දයාබර රසිකත්වයද නොතකා හැරිය නොහේ.

දැන් ඉදහිටවත් කලාව නිර්මාණ භාවිතය ගැන ලිපියක් දෙසුමක් නොලියන නොදකින ආචාර්ය සරත් අමුණුගම බදු වියතුන්ගේ මත නැති රික්තය වෙනදාට වඩා තදින් දැනෙන්නේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්න ගුරුතුමන්ලා පවා කලා කථිකාවතින් බැහැරවී ඉන්නා බවක් හැගෙන හෙයිනි.

 

පාසල් සිසුන්ව ලොවට එබෙන්නට කුරුබිල විවර කල නිහාල් පීරිස් , මනුබන්දු විද්‍යාපති, දිලීප අබේසේකර, බඳු පෙරකියන්නෝද හුදකලාව තම කුඩා කණ්ඩායම්ගතව ඉන්නා සෙයකි. මේ ගොන්නට සන්නා සර් ගැන නොලියා සිටියහොත් එය කුහක කමකි.

 

සමාජ දේශපාලන කථිකාව ඉමෝජි , හා හා , සහ දිවකොට භින්න බසින් ,අපහාස පරිහාස මතින් නිස්සාර දෙඩුම් පමණක්ම වනු සංවේගයෙන් දකිමි. නිර්මාණ වෙනුවට නිර්මාණකරුවන් ඇදහීම , දකුණු ඉන්දියාවේදී තාරකා නළු නිළියන් මල බව අසා සියදිවි තොරකරගන්නා මට්ටමට රසිකත්වය නැංවූ යුගයක නම් දෙවරක් සිතිය යුතුය.

ඔබ නූතනත්වයට බියනම් ඔබේ නම ,රූපය, තොරතුරු සිතැගියාවන් ඔබට අයිති නැති බව වටහා ගැනීමට උත්සාහ දරන්න. මන්ද නාමරූප ධර්මයන්ගේ විසිර යාම මත සසර පවා කෙටිකරගත හැකි බව දහමේ කියවෙන බැවිනි.

මීලග වෙසක් කලාප වලට සර්වග්නය ධාතූන් වහන්සේලා පෙරට දමා මාධ්‍ය සංදර්ශන පාන්නෝ කිඹුල්වතේ සිට ජාවත්තට, පුරහලට , පිටකොටුවට බුදුරජාණන් වහන්සේලා අජීවීකායෙන් වඩමවන්නට සැලසුම් අදිනු ඇත.

අනුග්‍රාහක කැමැත්ත මත නැවත නැවත මාරයා පරාජය කරමින් දිනපතා තෝරාගත් වේලාවට බුදුවීම මවා පෙන්වීමට එම පරිඝණක රූප සැකසෙනු ඇත. විහාරගෙයි බිතුසිතුවම් ඇදි සිත්තරාගේ කාර්‍යයම නූතන පරිගණක සිත්තරා කරනු ඇත.

දැනට ඔය ඇතිය. සෙස්ස සිතීම ඔබටය. මම දැන් මගේ ඇදහිල්ල මෙහි මාතෘකාව සේ ලියමි.

 

@Kingsly Rathnayaka

නවතම ලිපි