ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නැවත මෙවන් ක්‍රීඩකයෙක් අපිට දකින්නට ලැබෙන්නෙ නැත.
ක්‍රිකට් වංශ කතාවේ සදාතනික වූ මතකයන් තබා නික්ම යන ඉන්දීය ක්‍රිකට් පුරාවෘතය ක්‍රිකට් ප්‍රේක්ශක සියල්ලන්ගේම හදවත් තුල සදාකල් හිඳිනු ඇත. මෙකී හෝරාව ගතවන්නෙ එම මතක ගොන්නට අයිපිඑල් ඉතිහාසයේ තව තව මතකයන් එකතු කරමිනි.
නායකත්ව ලක්ශණයන්ගෙන් අනූන වූත්, මනා පෞරුශයෙන් යුක්ත වූත්, තියුණු සහ දූරදර්ශී බුද්ධියක් සහිත අව්‍යාජ මෙන්ම මමත්වය කෙලෙසූ මහත්මා ගතියෙන් යුත් එවන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු තවත් ලොව ඇතැයි මා විශ්වාස නොකරමි.
ඉන්දීය ක්‍රිකට් යනු සුවිශාල ව්‍යාපෘතියකි. එකී ව්‍යාපෘතියේ කොටස්කරුවන් සියල්ලන්ටම අත්‍යාවශ්‍ය පොදු සාධකය ලෙස තමන්ගෙ ආස්ථානය නිශ්චිතව සලකුණු කෙරූ මහේන්ද්‍ර සිං දෝණි නැවත අයිපීඑල් පිටියෙ හෝ දකින්නට ලැබෙතැයි බලාපොරොත්තු වෙමි. බලා සිටිමි.
කෙසේ නමුත් කීමට ඇත්තේ එය මෙයයි. අපවන් රටකට අවශ්‍ය වන්නේ දෝණිලාය. එවන් ක්‍රීඩකයන් ය. අපිට මතීශලා, මහීශ්ලා, කොයිතරම් සිටියද දෝණිලා හිඟ වීම නිසා අප හැමදාම පරාජිතයන් ය.
ශ්‍රී ලංකාවේ පොදු යථාර්ථය එයයි. මේ රටේ පුරවැසියන් ලෙස කොයිතරම් ප්‍රගතිශීලි මිනිසුන් සිටිනමුත් අපට දෝණි වන් නායකයන් නැත. රටක් හැසිරවීමට තරම් දක්ශ නායකයන් අපට නැත. එනම් ලොකු නායකත්ව හිස්තැනක් අපට ඉතුරුව ඇත. නමුත් ඒ හිඩැසට එන්නේ ගාම්භිර් පන්නයේ මිනිසුන් ය. තමන්ට ලබන්නට නොහැකි වූ සියල්ල කෙසේ හො ලබා ගන්නට වෙර දරන ආත්මාර්ථකාමි මිනිසුන් ය.
ඉන්දියාවට ක්‍රිකට් ආගමකි. එම ආගමේ දෙවියන් සචින් තෙන්දුල්කර් විය හැක. නමුත් සචින්ව ප්‍රතික්ශේප කරනා දේව වාදීන් වුවද දෝණිව පූජාසනයෙ හිඳුවන්නේ ස්ව භක්තියෙන් සහ කැමැත්තෙනි. ඔහුට එරෙහිව වචනයක් හෝ පිට කරන මිනිසුන් දෑතෙහි ඇගිලි ගානටත් වඩා අඩු ඇත.
තත්ත්වය එසේය. කෙසේ නමුත් දශක දෙකකට වැඩි කාලයක් ලෝක ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන මතක ප්‍රේක්ෂක හදවත් තුල සනිටුහන් කල එකි යුග පුරුශයාට හදවතින් ආදරේ කරමි. ඒ වෙනුවෙන් මෙය ලියා තබමි.