SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුලින්ම කිව යුත්තේ මේ ප්‍රතිචාර දැක්වීම මා නිවැරදි යැයි කීමට හෝ කරට කර විවාදයකට එළඹුමක් ලෙස හෝ නොගන්නා ලෙසයි.

පුද්ගල හෝ ආයතනයක් සමග ඇති කෝන්තරයක් මත දක්වන අදහස්ද නොවේ. මෙහි පාර්ශවවලට එකී අවබෝධය ඇති බවද දනිමි.

ආයතනික බැඳීම හා මාධ්‍යකරුවකුගේ හෝ මාධ්‍ය පරිපාලකයෙකුගේ ස්වාධීනත්වය වැදගත් මෙන්ම විවාදපන්න මාතෘකාවකි. එවැන්නක් ප්‍රශ්න කර තිබූ මාගේ පෝස්ටුවකට ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරි (වැඩසටහන්) සරත් කුමාර පෙරේරා දක්වා ඇති ප්‍රතිචාරයකට එහි සභාපති සුදර්ශන ගුණවර්ධන වලංගුභාවයක් ලබාදී තිබේ.

එහි දැක්වෙන කරුණු කිහිපයකට ප්‍රතිචාර දැක්වීමට කැමැත්තෙමි.

01. ෆේස් බුක් මිතුරෙකුගේ එකිනෙකට පටහැණි භාවිතාවක් ගැන ප්‍රශ්න කිරීමකදී ආයතනික භාවිතාවක් ගැන ප්‍රමුඛතාව දෙමින් ඊට ප්‍රතිචාරයක් දක්වා ඇත්තේ මන්දැයි නොදනිමි. (සරත් සොයුරා මෙහිම කියා ඇත්තේ සමාජ මාධ්‍යයේ තම හැසිරීම, වෘත්තිය ජීවිතයෙන් පරිභාහිර දෙයක් බවයි)

01. මාධ්‍යයයේ අවස්ථාව ලබාදීම යනු සමාජ හරපද්ධතීන්ට පහරදීමට ලබාදෙන ලයිසන් එකක් යැයි මම සිතන බවත් ඒ නිසා මා අඩියක් පහළට වැටී ඇතැයි ඔබලා කියා සිටිති. මා එසේ කියා ඇති ස්ථානයක් කරුණාකර පෙන්වන්න. "මෝඩාභිමානය" නමැති ප්‍රසංගය ගැන එවැනි ආස්ථානයක සිටිමින්ම එකී වැඩසටහනට පූර්ව මාධ්‍ය ප්‍රචාරයක් දී ලයිසන් දුන්නේ සාමාන්‍යාධිකාරි - වැඩසටහන් හෝ ITN නාලිකාව මිස මම නොවෙමි.

02. "ITN වැඩසටහන්වලට සහභාගී කරවා ගැනීමේදී විමර්ශනාත්මක ඍජු නියාමනයක් තිබේ.

උදාහරණයට හසලක තුෂාර සහභාගී වූ වැඩසටනම ගනිමු. ඒ අනුව සරත් සොයුරා වැඩසටහන් සාමාන්‍යාධිකාරිවරයා ලෙස ඔවුන්ගේ භාවිතාව ගැන ඉතා හොඳ දැනුවත්භාවයකින් එකී අවස්ථාව ලබාදී ඇත. එහෙත් ඔබ සමාජ මාධ්‍යයේ ඊට දක්වන ඉතා සාහසික හා දෘඩ ප්‍රතිවිරෝධයෙන් එවැන්නක් කියවෙන්නේ නැත. (වෘත්තිය හා පුද්ගලික ජීවිතය යැයි මෙය බැහැර කළ හැක්කක් නොවේ. එය පහත ලියමි)

03. "වත්මන් ස්වාධීන රූපවාහිනිය ස්වාධීන අදහස් දැක්වීමට දැන් විවෘතයි."

ඒ පිළිබඳ අගය කරමි. සරත් කුමාර පෙරේරා වැනි දැඩි අන්තගාමී දේශපාලන මතධාරීන්ගේ දමනය වීම ගැන මම අතිශයින්ම සතුටු වෙමි. සුදර්ශන ගුණවර්ධන සොයුරාට ස්තුති කරමි.

04. "ITN මාධ්‍ය ප්‍රචාරය ලබා දෙන හා මුදල් ගන්නා අය, භාහිර සමාජයේ කරන දේ ගැන වගකීම් දරන්නේ නැත."

 

මෙය නම් කවර නම් ප්‍රකාශයක්ද? සභාපතිවරයාගේ වලංගුභාවය සහිත මේ ප්‍රකාශය කිසිදු මාධ්‍ය ආයතනයකට තබා වෙනත් කිසිදු මහජන සබඳතාවක් ඇති ආයතනයකට කළ නොහැකිය. මාධ්‍ය ආයතනයක ජනතාවට ඇති වගවීම කවරක්ද?

සරල උදාහරණ කිහිපයක් දක්වමි. සක්විති රණසිංහ මුදල් තැන්පතු ලබාගනිමින් ජනතාවගේ කෝටි ගණන් වංචා කළේ සිළුමිණ, දිනමිණ, ලංකාදීප ඇතුළු මාධ්‍ය ඔස්සේ ප්‍රචාර ලබා ගනිමිනි. නමෝනාරයන මධ්‍යස්ථානයේ මහාචාර්ය කීර්ති දිසානායක නමින් පෙනී සිටි පුද්ගලයා වාලම්පුරි, මැණික් අලෙවි කරමින් ජනතාව මුළාකළේ ස්වර්නවාහිණිය, දෙරණ, සියත, ITN යන නාලිකාවලද පෙනීසිටීමෙනි.

අදත් සිරදඬුවම් විඳින රුවන්වැල්ලේ සෝභිත නමැත්තා මීට දිය හැකි හොඳම උදාහරණයකි. ඔහු වැඩි වශයෙන්ම ප්‍රවර්ධනය කළේ ඔබගේ ස්වාධීන රූපවාහිනියයි. කලෙක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රාධාන අනුග්‍රාහකයා වූයේ රුවන්වැල්ලේ සෝභිත බව ඔබලාට මතක ඇතැයි සිතමි.

එනිසා තමන් ප්‍රචාරය ලබා දෙන්නන් එළියේ කරන දෑ පිළිබඳ වගකීම භාරගත නොහැකි බවට ඔබලා කරන්නේ වගකීම් රහිත ඉතා නියාලු ප්‍රකාශයකි. ඒ වගේම මේ සභාපතිවරයාද ආයතනික නිල ප්‍රකාශයක් ලෙස පිළිගෙන ඇති මේ ප්‍රතිචාරයේ වැඩසටහන් ගැන විමර්ශනාත්මක නියාමනයක් තිබෙන බවද කියති. මේවා එකිනෙකට පටහැණි "අන්තෝ ජටා බහි ජටා" ප්‍රකාශය.

"ඇතුලේ විකාශය වන ඒවාට වගකියන අතර ඊට සහභාගී වන්නන් එළියේ කරන දේවල්වලට වගකියනු නොලැබේ." කියන්නේ එම වැඩසටහන් රටට ලෝකයාට ජනතාවට කරන දේවල් නොවේද? ITN වැඩසටහන් කරන්නේ බත්තරමුල්ලේ තාප්පයකින් වටවී ඇති කාර්යාලයේ සේවක මණ්ඩලය වෙනුවෙන්ද? මෙය ඉතා බාල ගණයේ අදහසකි. මාධ්‍ය ආයතනයක් යනු ගෝල්ෆේස් එකේ කඩල, කවුපි, රටකජු විකුණන පෙට්ටි කඩයක් සේ නොසිතිය යුතුය.

 

05."Facebook ගිණුමේ අදහස් අතිශයින්ම මාගේ වන බවත් ඒවා ආයතනයේ අදහස් හා මතවාද නොවන බවත් අවධාරණය කරමි"

 

මෙහි සාකච්ඡාවට බඳුන් විය යුතු වැදගත්ම කරුණ මෙය බව සිතමි. සමාජ මාධ්‍ය ප්‍රසාරණයත් සමග ලෝකයේ සියලු මාධ්‍ය ආයතන සිය පරිපාලකයන් හා මාධ්‍යකරුවන්ගේ එකී භාවිතාව ගැන උනන්දු වී තිබේ. මාධ්‍යයට සම්බන්ධ අයට අදාළව සමාජ මාධ්‍ය භාවිතයේ වෘත්තීය සහ පෞද්ගලික බෙදුම් රේඛාව ඉතා සියුම්ව අවබෝධ කරගත යුත්තකි.

තේ දළු කඩන, ගඩොල් කපන, ගොවිතැන් කරන කෙනාට මෙන් මාධ්‍යයේ නිරත වෘත්තිකයන්ට එකම ආකාරයේ සමාජ මාධ්‍යයේ හැසිරිය හැකි නොවේ. ප්‍රධාන මාධ්‍යයේ නිරතවන්නාගේ කාර්යභාරයේ සීමාව හා බලපෑම්සහගත බව එහි මිණුම් දඬු ලෙස සැලකිල්ලට ගත යුතුය. එනිසාම ඔහුට භූමිකා දෙකක් සෑම විටම නැත.

 

උදාහරණයකට මට අනුව නම් සමාජ මාධ්‍යයේ සිටින්නේද ITN සභාපති සුදර්ශන ගුණවර්ධන මෙන්ම සාමාන්‍යාධිකාරි සරත් කුමාර පෙරේරා හැර වෙනත් දෙදෙනෙකු නොවේ. එසේ නොසිතන්න යැයි ඔබ යොජනා කරන්නේ නම් නිවසේදී බිරිඳට හොඳ සැමියෙක්, දරුවන්ට හොඳ පියෙක් වන ඔබ ඉන් පිටතට පැමිණි පසු සල්ලාලයෙක්, බාල අපචාර කරන්නෙක්, චණ්ඩියෙක්, මිනීමරුවෙක් ලෙස සිතන ලෙස අපට යොජනා කරයි. මා එසේ කියන්නේ සරත් කුමාර පෙරේරාගේ සමාජ මාධ්‍ය භාවිතය මුළුමනින්ම ඊට සමපාත වන බැවිනි.

 

සමාජ මාධ්‍ය තවදුරටත් අවිධිමත් හා විනෝදජනක මාධ්‍යයක් සේ ගිනිය නොහැක. එය දැන් සැලකිය යුතු සන්නිවේදන නාලිකාවකි. මාධ්‍යයකි. වෘත්තීය නිමැවුම් මෙවලමක් ලෙස මේ වනවිටත් සමාජ මාධ්‍ය භාවිතා වෙමින් තිබේ. එනිසාම ඔබ වැනි රජයේ පිළිගත් මාධ්‍ය ආයතනයක ඉහළම තනතුරු දරන්නන්ට සමාජ මාධ්‍යයේ පුද්ගලික අදහස් යනු වෙසසින්ම පුද්ගලික නොවේ.

මින් අදහස් කෙරෙන්නේ ඔබගේ සමාජ මාධ්‍යවල ක්‍රියාකාරකම් ITN නාලිකාවේ අපක්ෂපාතීත්වයට, විශ්වසනීයත්වයට හෝ කීර්ති නාමයට හානි විය හැකි බවයි. ඔබ ආයතනය තුළ කරන දේවල (වැඩසටහන්) පිළිබිඹුවක් පිටතටත් පිටත කරන දේවල පිළිබිඹුවක් වැඩසටහන්වලටත් අදාළ නොවේ යැයි කීමට දිය හැකි සහතිකය කවරක්ද?

ඍජුවම මාධ්‍ය පණිවුඩ හසුරුවන ඔබලාට "මෙය මගේ අදහසයි. ITN මතය නොවේ" යැයි මාධ්‍ය ක්‍රියාකාරකම් ගැන කිව හැකි නොවේ. අවමන් සහගත සහ යම් එක් දෘෂ්ඨි කෝණයකින් දෙයක් විවේචනයක යෙදමින් සිටින අයෙකු ඊට සම්බන්ධ ආයතනික මාධ්‍ය කටයුත්තකට එය බල නොපාන්නේ යැයි කිව නොහැක.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඇසුරින් ගත් කළ පිළිබිඹු වන්නේද එයම නොවේද? ITN ආයතනය ගැනම සිතන්න. එහි දේශපාලන දෘෂ්ඨිය, පක්ෂපාතීත්වය මත වැඩ කරන්නේද එළියේ එකී දේශපාලන මතවාදයම දරන්නෝය. එනිසා සමාජ මාධ්‍ය හැසිරීම සහ ලංකාවේ බොහෝ දෙනාගේ වෘත්තිය භවිතය දෙකක් නොවේ එකකි.

ලෝකයේ පිළිගත් සියලු මාධ්‍ය ආයතන මේ වන විට තම සේවකයන්ට ආඅළව සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධ නියාමනයන් ගොඩ නගා තිබේ. උදාහරණයකට BBC Editorial Guidelines බලන්න.

 

06. සුදර්ශන ගුණවර්ධන සහෝදරයා "එංගලන්තයේ සිටින මහින්ද රුබසිංහ" යනුවෙන් සටහනක් තබා ඇත්තේ "ගියා නම් තියෙන වැඩක් බලාගෙන ඉන්න. අපේ වැඩ අපි බලාගන්නම්" යැයි කීමට විය යුතුය. එය වියත් ආකාරයේ තර්ජනයකි.

 

දැන් මා මෙලෙස ප්‍රතිචාර දැක්වුවද සරත් කුමාර පෙරේරා සොයුරාගේ අදහස් ITN ආයතනයේ ප්‍රමිතිය හැටියට භාර ගන්නා ලෙස සුදර්ශන ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ. එනිසා මාගේ මේ අදහස් දැක්වීමද ඵල රහිත එකකි. එහෙත් යමකට ප්‍රතිචාර දැක්වීම මාගේ වගකීමක් බැවින් සටහන් තැබුවෙමි.

@මහින්ද රුබසිංහ

නවතම ලිපි