මේ ජාජබ ආරම්භක කාලයේ මෙරට පුවත්පතක් තුළ පළවූ ප්‍රවෘත්තියක් බව දේශපාලනයට සංවේදී බොහෝ වුන් දන්නා කරුණක් වේ.
මේ ප්‍රකාශය විශේෂයක් වන්නේ, මෙරට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දුවක් දක්වන අයවලුන්ට මිස වැඩවසම්වාදී පක්ෂ දේශපාලනයේ බැතිමතුන් සඳහා නොවේ.
ඒ ලෙනින්වාදයෙන් කියැවෙන්නේ ඉතාම බරපතල ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නිසාය.
1917 රුසියානු විප්ලවය ලෝකය තුළ ප්‍රසිද්ධියට පත් වූයේ "සමාජවාදී විප්ලවයක්" යන සන්නාමයෙන් නිසා එහිදී යටපත්ව ගියේ එහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකත්වයයි.
කාල්මාක්ස් වැඩකරන ජනතාවගේ විප්ලවයක් ගැන විශ්වාසයෙන් කීයේ, යුරෝපය ඉලක්ක කොටය. ඒ ප්‍රංශ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ විප්ලවයෙන් පසු ලෝකයේ ඊළඟ නව සමාජ සැකැස්ම උපකල්පනය කොටය.
නමුත් විප්ලවයක් සිදුවූයේ,
මාක්ස් සිතූ ලෙස යුරෝපය තුළ නොව,
අන්ත වැඩවසම්වාදයකින් පීඩා විඳි රුසියානු භූමිය තුළය.
මෙහිදී වැදගත් වන්නේ, "රුසියානු භූමිය මාක්ස්ගේ ඇස නොගැටුණේ නැති ද ?" යන ප්‍රශ්නයයි.
ඇත්තටම රුසියානු භූමිය මාක්ස්ගේ ඇසින් දුටුවේය. ඒ විප්ලවයක් සඳහා සුදුසුකම් සපුරා නැති අන්ත වැඩවසම්වාදයේ නරකාදියක් ලෙසය. එය කොතෙක් නරකාදියක්ව තිබුණේ වුවද ප්‍රජාතන්ත්‍රවාදයෙන් දැනුවත් ජනතාවක් රහිත නිසාවෙන් රුසියාව සිටිනුයේ විප්ලවයකට බොහෝ ඈතින් බව කාල්මාක්ස් ඉතාම නිවැරැදිව දුටුවේය.
එසේ නම්, තමන්ගේ ගුරුවරයාගේ මහා ඉගැන්වීමක් නොතකා හැර,
"ලෙනින් රුසියානු දේශපාලන විප්ලවයකට අත තිබ්බේ ඇයි ?" මේ ප්‍රශ්නය ඉතාම වැදගත් වන්නේ, ලෙනින් රුසියාව තුළ සෙව්වේ, සමාජවාදයක් නොව ප්‍රජාතන්ත්‍රවාදයක් නිසාය.
හත් කෝටියක ගොවිජනතාවක් සිටියේ ඉඩම් අහිමි කුලීකරුවන් ලෙසය. "දෙස්යටීන්" (රුසියානු ඉඩම් මැනුම් ඒකකය) ලක්ෂ ගණනක් තිබුණේ කුලාකයන් සතුවය.
ලක්ෂ 15 නාගරික කම්කරුවන් සිටියේ පාන් කැබැල්ලක් සොයා ගැනිම පවා බරපතල ආර්ථික ප්‍රශ්නයක්වය.
පළමු ලෝක යුධ බිම තුළ සිටියේ අඛණ්ඩව පරාජිත රුසියානු සොල්දාදුවන්ය.
ඒ අනුව ගොවීන්ට ඉඩම්ද, කම්කරුවන්ට පාන්ද, සෙබළුන්ට සාමයද අත්‍යාවශ්‍යව තිබුණේ අනිවාර්යයක් ලෙසය. රුසියානු විප්ලවය පෙරට ආයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ මේ ඉල්ලීම් ත්‍රිත්වය පෙරදැරිව මිස වැඩකරන ජනතාවට රාජ්‍ය බලය ඉලක්ක කොට නොවේ.
නමුත් එය වැඩකරන ජනතාවගේ විප්ලවයක් දක්වා කැඳවූයේ, රුසියාව තුළ බලය තහවුරු කොට ගත් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් මිස රුසියානු ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය නොවේ. ඒ රුසියාවට ප්‍රජාතන්ත්‍රවාදයේ අභ්‍යාසයක් ඕනෑකර තිබූ නිසාය. දේශපාලන අවබෝධයට තවත් කාලයක් ඕනෑකර තිබූ නිසාය.
නමුත් ලෙනින් ඉතාම හොඳින් දුටුවේ, පෙබරවාරි විප්ලවයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් කම්කරු ගොවි ජනතාවට යහතින් ඉන්නට ඉඩ නොදෙනා බවයි. එහි අවසන් ප්‍රතිඵලයක් ලෙස රුසියාව සමාජවාදී විප්ලවයක් දක්වා ගියේ වුවද ඒ වෙනුවෙන් වඩාත්ම කණස්සල්ලෙන් සිටියේ ලෙනින්ය. ඒ රුසියාව ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයක් මිස සමාජවාදයක් නොවනා නිසාය.
එබැවින් ලෙනින් කීයේ රුසියානු විප්ලවය ආරක්ෂා කළ හැක්කේ, කාල් ලික්බ්නේට් සහ රෝසා ලක්සම්බර්ග් අතේ වගකීම තිබෙනා ජර්මනියේ විප්ලවයකට කියාය. ඒ තමන්ගේ දේශපාලන ගුරුවර කාල්මාක්ස් ඉතාම නිවැරැදි බව ඔප්පු කොටය.
එබැවින් අප මහාචාර්ය ලියනගේ අමරකීර්ති හට කියන්නේ, ලෙනින් වනාහි මහා ප්‍රජාතන්ත්‍රවාදයේ දැවැන්ත මිනිසෙකු ලෙස රුසියානු වත්මන් ජනාධිපති වැල්ද්මීර් පූටින්ට පවා "වැළලිය නොහැකි සත්‍යයක්ව" තිබෙනා බවයි.
ඒ ලෙනින් නොවන්නට රුසියාව එදා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට බොහෝ දුර ඈතින් බව පූටින් පවා දන්නා නිසාය.
එබැවින් මහා ප්‍රජාතන්ත්‍රවාදයේ ලෙනින් ප්‍රතික්ෂේප කිරීම වනාහී සමාජවාදය ප්‍රතික්ෂේප කිරීමක් ඉක්මවා ගිය,
ඉතාම බරපතල ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමක් වේ.
(ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ "බහුතරයේ කැමැත්ත" මිස අන් යමක් නොවේ.)