SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විමල් වීරවංශ කියනවා “ගෝඨාභය වැඩ කළේ ජූලි චංග් කීව විදිහට” කියලා. මහින්ද පතිරණ කියනවා “ගෝඨාභය වැඩ කළේ විමල් වීරවංශ කීව විදිහට” කියලා.

දිලිත් ජයවීර කියනවා “ගෝඨාභය වැඩ කළේ බැසිල් කීව විදිහට” කියලා. නාමල් රාජපක්ෂ කියනවා “ගෝඨාභය වැඩ කළේ දිලිත් කීව විදිහට” කියලා. දැන් මේ හැමෝම හරි වෙන්න විදිහක් නැහැනේ. මේවා පරස්පරයි. මේ වෙන්නේ කුමක්ද?

මේක අර “ජයග්‍රහණයට පියවරු බොහෝය, පරාජය අවජාතකයි” කියන ප්‍රකාශයේ එක්තරා අනියමයක්. මෙතන තමාගේ වගකීම ප්‍රතික්ෂේප කරන ගතියක් තිබෙනවා. නමුත් ඒක කරන්නේ වෙනත් අයෙකුට එය පැවරීමෙන්. එයින් පේනවා මේ අයගේ ප්‍රකාශ නිවැරදි නැහැ කියා. මේ වරද මමත් කළා. නැගෙනහිර ජැටිය පිළිබඳ කාරණයේදී මමත් කීවා ගෝඨාභය ඉන්දියාව කියන විදිහට වැඩ කරනවාය කියා. මගේ මතය වෙනුවෙන් සාධාරණව තර්ක කරනවා වෙනුවට මම අනෙකාට වරද පටවා වගකීමෙන් නිදහස් වෙන්න උත්සාහ කළා.

 

මෙයින් පෙනෙන තව කාරණයක් තමයි මෙහෙම කියන හැමෝම හිතාගෙන ඉඳලා තියෙනවා ගෝඨාභය ඔවුන් කියන දේ ඇසිය යුතුයි කියා. හැබැයි ඒ වගේම පේනවා ගෝඨාභය ඒ කවුරුවත් කීව දේ අසා නැති බවත්. එහෙම නැත්නම් ගෝඨාභය විවිධ අවස්ථාවල මේ එක් එක් අය කීව දේ ඇසුවා වෙන්නත් පුළුවන්. එනම් එක් අවස්ථාවක බැසිල් කියන දේ අසා, දිලිත් කියන දේ නොඇසුවා වෙන්න පුළුවන්. තවත් අවස්ථාවක දිලිත් කියන දේ අසා, බැසිල් කියන දේ නොඇසුවා වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් මොක වුණත් අපට පැහැදිලියි ගෝඨාභය මේ කවුරුවත් කියන දේ හැම වෙලාවෙම අසා නැති බව. ඒ කියන්නේ ගෝඨාභයට එහෙම “විශේෂයෙන් අහන කෙනෙකු” ඉඳලා නැති බව මෙයින් අපට තහවුරු වෙනවා.

එක්කෝ ගෝඨාභය වැඩ කළේ තනි මතයට. එහෙම නැත්නම් සාමූහික මතයට. මගේ අදහස තමයි ගෝඨාභය බොහෝ විට වැඩ කළේ සාමූහික මතයට. ඔහු උත්සාහ කළා නූතන ශිෂ්ටසම්පන්න දේශපාලනයක් කරන්න. ඒක ගෝඨාභය විතරක් නොවෙයි, රාජපක්ෂලා හැමෝම කරන දෙයක්. මහින්දත් තීරණයක් ගන්න කලින් බොහෝ අයගෙන් විමසනවා. බැසිලුත් එහෙමයි. නාමල් පවා එයාගේ කණ්ඩායම යොදවා විවිධ පාර්ශව හරහා තොරතුරු එක්රැස් කරගෙන තමයි තීරණයක් ගන්නේ. ඕනෑම ප්‍රජාතාන්ත්‍රික නායකයෙක් ක්‍රියා කරන්නේ එහෙමයි.

එහෙම සාමූහික තීරණ ගන්න කොට එන ප්‍රශ්නයක් තමයි පාර්ශව එකක් හෝ කිහිපයක් අමනාප වීම. මොකද බොහෝ විට තීරණයක් ගැනීමේදී වඩාත්ම සුදුසු තීරණය අන්තිමට තෝරා ගන්න වෙනවා. එවිට එයට ප්‍රතිවිරුද්ධව යෝජනා කළ අය අමනාප වෙනවා. දියුණු කණ්ඩායමක නම් එහෙම වෙන්න බැහැ. මොකද සාමූහික ක්‍රියාවලියක් තුළින් ගන්න තීරණයට හැමෝම එකඟ වෙන්න පරිණත භාවයක් තිබිය යුතුයි. හිතේ කොස්සක් තියා ගන්න බැහැ. ඒක එතනින් ඉවරයි.

ඒ වගේම මේ ප්‍රකාශවලින් පෙනෙන තව දෙයක් තමයි ගෝඨාභයට නිවැරදි තීරණ ගන්න පුළුවන් නායකයෙක් විදිහට මේ කවුරුවත් විශ්වාස කර නැති බව. ඔවුන් හිතලා තියෙන්නේ ගෝඨාභයට වඩා ඔවුන් දන්නා බවයි. වෙනත් වචනවලින් කිව්වොත් පොහොට්ටු ආණ්ඩුවේ ජනාධිපතිලා එක අයෙකුට වඩා ඉඳලා තියෙනවා. ඕනෑම සංවිධානයක නායකයන් වැඩි වුණාම ඒ සංවිධානය බිඳෙනවා. මේ ප්‍රශ්නය කල් තියා හඳුනාගෙන කළමනාකරණය කරගන්න ගෝඨාභය අසමත් වෙලා තිබෙනවා. මොකද සැබෑ නායකයා ලෙස ඒක කරන්න පුළුවන් ඔහුට පමණයි.

මේ සියල්ලෙන් වුණේ ඒ ඒ අය ගෝඨාභය සමග ටිකෙන් ටික ඈත් වීම. හැමෝගෙම ඊගෝව නිසා හැමෝම එකිනෙකාගෙන් ඈත් වුණා. කෝන්තර හදා ගත්තා. විරසක වුණා. බොහෝ අය සතුරන් සමග එකතු වුණා. එකතු වෙලා ගෝඨාභය ඔවුන් කියන දේ නොඇසුවට පලි ගත්තා. අන්තිමට ගෝඨාභය සමග ඉතුරු වුණේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක්. එයින් අපේ දේශපාලන ප්‍රතිවාදීන් සහ පතාගෙන එන සතුරන් උපරිම ප්‍රයෝජන ගත්තා.

මේවා ඕනෑම සාමූහික ක්‍රියාවලියක එන ගැටලු. පොදු මිනිස් දුර්වලතාවයන්. විශේෂයෙන්ම පොහොට්ටුව වගේ අධික විවිධත්වයක් තිබෙන නායකත්ව පෞරුෂ ලක්ෂණ තිබෙන බොහෝ පිරිසක් සිටින පක්ෂයක මෙහෙම ගැටලු මතු වීම ස්වභාවිකයි. හරියට බැලුවොත් වත්මන් ලක් දේශපාලනයේ වඩාත්ම දක්ෂ නියෝජිතයන් ඉන්නේ පොහොට්ටුවේ. නමුත් තවම ඒ හැමෝම එක නායකයෙක් වටේ කණ්ඩායමක් හැටියට වැඩ කරන්නේ නැහැ.

බුද්ධිමත්කම තමයි මේ කාරණා නිහතමානීව විමසා අවබෝධ කරගැනීම. අපේ කුඩා වෙනස්කම් සහ අතීත අමනාපකම් පැත්තකට කරලා කණ්ඩායමක් ලෙස එකතු වීම. අනෙකාගේ හැකියාවන් සහ වටිනාකම්වලටත් ගරු කරලා වඩාත් ශක්තිමත්ව නැගී සිටීම. ධර්මය අපට මග වේවා!

එරන්ද ගිනිගේ

2023 මැයි 3

නවතම ලිපි