SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බුද්ධි ප්‍රබෝධගේ මරණයේ පුරාණ කතාවක්

“නිමලසිරි ජයසිංහ (ලොකු අතුල) කෑගල්ල හා කුරුණෑගල සටන් මෙහෙයවීම බාර විය. සටනට සහභාගී වී විල්පත්තුවට පසු බසිමින් සිටියදී හමුදාවෙන් අල්ලා ගන්නා ලදී. සියලු තොරතුරු හෙළිදරව් කළේය. සහන පතා රජයේ සාක්ෂි කරුවෙකු විය. සමාව ලබා නිදහස් විය.

 

අනුර රන්ජිත් කුරුකුලසූරිය නුවර සටන් මෙහෙයවීම භාර ගත්තත් අප්‍රේල් 4 දා පොලීසිය අත්අඩංගුවට ගත් නිසා 5 දා සටනට සහභාගී වීමට නොහැකි විය. පසුව තමන් දන්නා සියලු තොරතුරු තම අත් අකුරින්ම ලියා පොලීසියට දුන්නේය. එය රජයට කැරැල්ල මර්දනයේදී ඉතා ප්‍රයෝජනවත් විය. සිසිල් චන්ද්‍ර ගාල්ලේ සටන් වලදී සනත්ට සහයවී ඇත. සටන් අසාර්ථකවූ පසු සමාවක් පතාගෙන ග්‍රාම නිලධාරී වෙත ගොස් රජයට භාරවී ඇත.

 

71 rev 4

 

සුසිල් වික්‍රම මාතර සටන් මෙහෙයවීම බාර ගත්තේය. එය ක්‍රියාවට නැගීය. 1971 අප්‍රේල් 05 දින සටන් වලට සහභාගී වීමේදී ජීවිතය පරිත්‍යාග කළේය. සනත් බොරලුකැටිය භාරගත් ලෙස ගාල්ල, හම්බන්තොට හා මොණරාගල සටන් මෙහෙයවිය. සටන් පරාජය වූ පසු සිංහරාජ වනාන්තරය වෙත පසුබැස යමින් සිටියදී හිණිදුම පොලීසියෙන් අල්ලාගෙන තමන් අතින්ම තම මිනීවල කප්පවා එයට දමා වෙඩිතබා මර දැමූ බව දැනගන්නට ඇත.”

- සෝමපාල ගරුසිංහ

මේ උපුටනය ගත්තේ ගරුසිංහගේ මුහුණු පොතේ තිබූ උපන්දින සටහනකින්. ඉදිරිගාමී අරගලකරුවෙකු වූ බුද්ධි සිය දිවිය හානිකර ගැනීමෙන් අපට කනගාටුවක් හෝ කම්පනයක් ඇති නොවුණා. ඇයි එහෙම නොවන්නේ කියල කල්පනා කරද්දියි මේ සටහන ලියවෙන්නේ. ඉහත උපුටනයේ සඳහන් කෙරෙන සනත් බොරළුකැටියගේ කතාව වඩාත් සවිස්තරව හා නිවැරදිව ලිවීමෙන් අපේ සහෘදයන්ට ඔවුන් ජීවත්වෙන සමාජයේ ස්වභාවය වඩා හොදින් තේරුම් ගැනීමට උපකාරවේය කියල හිතෙනව. සනත් බොරළුකැටිය හෙවත් සනත් විතානගේ වෘත්තියෙන් ගුරුවරයෙක්. හික්කඩුව, පතන ප්‍රදේශයේ උපන් ඔහු ගුරුවරයෙක් හැටියට අනුරාධපුරය වගේ දුෂ්කර පලාත්වල සේවය කළා.

 

සනත් දේශපාලනය පටන් ගන්න ඇත්තේ කොමියුනිස්ට් පක්ෂයෙන් විය යුතුයි. එහෙම වෙන්නේ හික්කඩුව අයත් රත්ගම ආසනය දිගු කාලයක් කොමියුනිස්ට් පක්ෂය යටතේ තිබුන නිසා. එම පක්ෂය චීන - රුසියන් මතභේදය [1963] මත බෙදී යද්දී සනත් වඩා විප්ලවකාරී වූ ශන්මුගදාසන් [එන්] නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂය [චීන පිළ] ට එකතු වුණා. සනත්ට විජේවීර හමුවෙන්නේ [රෝහණ] ෂන්ගේ තරුණ ව්‍යාපාරයේදී. ඒ වෙද්දී [1965] ලංකා සමාජය සන්නද්ධ විප්ලවයකින් වෙනස්කිරීමේ න්‍යායපත්‍රයක් තිබූ එකම තරුණය විජේවීර. සනන්ද්ධ විප්ලවයේ නායකත්වය ගැන නොයෙකුත් බෙදීම් තිබුණත් 1971 අප්‍රියෙල් අරගලය දක්වාම සනත් අවංකව තමන් විශ්වාස කළ දේශපාලනය වෙනුවෙන් කැප වුණා. ඔහු විශ්වාස කළා දුප්පත්කමට, සමාජ අසාධාරනයට හා රටේ නිදහසට [ඒ වනවිට ලංකාව ජනරජයක් නොවේ] විසදුම සන්නද්ධ අරගලයකින් සමාජය වෙනස්කිරීම කියල.

 

71 rev 3

 

1971 අප්‍රියෙල් කැරැල්ල අසාර්ථකව සනත් සහ ඔහුගේ සේනාංකය සිංහරාජ වනාන්තරයට පසු බහිනව. පරාජය හා කුසගින්න මැද පසුබහින ඔවුන් පසුපස රජයේ හමුදාව ලුහුබදිනව. [ මේ ලුහුබැදීමේ සජිවී වාර්තා රජයේ චිත්‍රපට අංශයට ඩී.බී. නිහාල්සිංහ රූගත කළ, තිස්ස අබේසේකර හඬදුන් වාර්තා චිත්‍රපටයේ තියෙනව] රටේ දුප්පත්කම නැති කිරීමට, නිදහස් රටක් තැනීමට සටන් කළ ජනප්‍රිය ගුරුවරයෙක් වූ සනත් බොරළුකැටිය ‘චේ ගුවේරා’ නායකයෙක් හැටියට පොලීසියට අල්ල දෙන්නේ හිනිදුම ගමේ දිළින්දෝ. ඊට පස්සේයි පොලීසිය සනත් ලවා ඔහුගේම මිනීවල හාරවා එයට දමා වෙඩිතබා මරන්නේ.

පොලිසිය, සනත් ලවා ඔහුගේ මිනිවල කපද්දී මොනවා හිතෙන්නට ඇද්ද? මුළු දැනුවත් ජිවිත කාලයම, තරුනයෙක් හැටියටත්, ගුරුවරයෙක් හැටියටත් තමන් ජීවත් වූ කාලකන්ණි සමාජය වෙනස් කිරීමට කැපවූ සනත් අල්ලා දෙන්නේ ඔහු ගුරුවරයෙක් හැටියට ඉගැන්වූ දිළිදු දරු පරම්පරාවේම දෙමාපියෝ. සනත් වගේම ඔහුගේ බිරිඳත් ගුරුවරියක්. එම යුගයේ ඔහුට විදුහල්පතිවරයෙක් වී එකම පුතාට උගන්වා ඉක්මනින් මැද පංතියට නැඟ ගැනීමේ ඉණිමඟේ මැද සිටිද්දියි ඔහු සමාජය වෙනස් කිරීමේ දේශපාලනය කැපවෙන්නේ. අඩුම තරමින් ඔහු 1970 වෙනතෙක් [සමගි පෙරමුණු ආන්ඩුව] තමා දේශපාලනය පටන්ගත් කොමියුනිස්ට් පක්ෂයේ සිටියා නම් ඊට වඩා තනතුරු ලබන්න තිබුණ. අවංක මිනිසෙකු වූ සනත් බොරළුකැටිය සමාජය වෙනස් කිරීමට තීන්දු කිරීමෙන් මේ කෲර ඉරණමට ලක් වෙන්නේ.

තවත් පැත්තකින් බැලුවොත් සනත්ගේ දේශපාලනය හා සටන දිවිනසා ගැනීමේ ගමනක්.

 

71 rev 2

 

බුද්ධි ප්‍රබෝධලාගේ පරම්පරාව එහෙම අවසානයක නොගොස් දිවි නසා ගැනිමට තීන්දු කිරීමේ වරදක් අපට නොපෙනෙයි. 1971 අරගලයෙන් වසර 52 පසු එනම් පරම්පරා දෙකකට පසුවත් රට වෙනස් කිරීමට සිතන මිනිස්සුන්ට අත්වෙන්න තියෙන්නේ ඉරණම් දෙකක් කියලයි අපේ විශ්වාසය. එක්කෝ කෲර මරා දැමිමකට ලක්වීම නැතිනම් දිවිනසා ගැනීම. මෙතනදී තමන්ගේ දේශපාලන විශ්වාසය වෙනස්කොට පාලකයාට එකතුවීම වැටෙන්නේ දේශපාලන දිවිනසා ගැනීමකට. ගරුසිංහ ලියූ සෙසු චරිතවලට එම ඉරණම අත්වුණා. මෙතනදී පරාජකවාදය මඟ හැරිමටනම් හාල් කිලෝ දහයක් වෙනුවෙන් චන්දය දෙන අපේ දේශපාලන සත්වයන් දේශපාලන මනුශ්‍යයන් කිරීමට වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. සනත් බොරළුකැටියගේ හා බුද්ධි ප්‍රබෝධගේ මරණ අනාගතයට ගෙන යන අත්දැකීම එයයි.

 

@ නන්දන වීරරත්න

20/04/2023

නවතම ලිපි