ගැයුම්-කටහඬ යනු ස්වභාදහමෙන් ලැබෙන නිරායාසී ස්වභාවික දායාදයකි.
ගැයුම් කටහඬ ලැබීම ස්වභාවධර්මය වුවද, එම හඬ ශිල්පීය නිපුනතාවන්හි පිහිටුවීම සහ අදාළ කලා-ප‍්‍රතිභා ආත්මයක මගපෙන්වීමකට නතුකිරීම සංස්කෘතිය වේ. ස්වභාදහම මනුස්ස ගොඩනැංවීමක් නොවන අතර, සංස්කෘතිය යනු මනුස්ස ගොඩනැංවීමකි.
ඒ නිසා ස්වභාවිකව ගැයුම්-කටහඬක් තිබුණ පලියට ඊට අදාළ සංස්කෘතියකින් මෙහෙයවුනු ලබන සතත අභ්‍යාසයන් නොසිදුවන කල, ඊට අදාල කලා-ප‍්‍රතිභා ආත්මයක මෙහෙයවීමක් නොමැති කල, එකී ගැයුම්-කටහඬෙහි ගුණය ප‍්‍රවර්ධනය නොවී අවරෝහණය වී ”පිච් එකට ගැයුවත් එකයි, නැතත් එකයි” යැයි සිතන තිරිසතෙකු වන් ගයන්නෝ බිහිවෙති.
මානවයා හෙවත් මනුසතා(Anthros) ස්වභාවික ය. මනුසතා සංස්කෘතියෙන් භාෂාව උපුටාගෙන, ආත්මික පරිකල්පන හරහා ප‍්‍රතිභා-ඥාන වර්ධනය කරගත් විට මනුෂ්‍යයෙක් (Human) බවට පත් වේ. ඒ් නිසා උපදින හැම මානවයෙක් ම මනුෂ්‍යයෙක් නොවේ.
මානවයා හෙවත් මනුසතා යනු තම පෘථිවි ජීවිතය තුළ මනුෂ්‍යයෙක් බවට පත්වීමේ අභ්‍යාසයෙහි යෙදිය හැකි (පෙරුම්පිරිය හැකි) වරප‍්‍රසාද ලත් සතෙකි. ඒත් ඒ අභ්‍යාසයේ යෙදෙන්නට පටන්ගන්නා තුරු ම ඔහු තවමත් සතෙකි. ඒසේ පටන්ගැනීමේ වරප‍්‍රසාදය අන් තිරිසන් සතුන්ට නැත. ඒත් මානවයා සංස්කෘතිය උපුටා ගැනීම මගහැර තම ස්වභාවික හැඟීම් ආවේග අනුව පමණක් ක‍්‍රියා කරන්නේ නම්, ඔහු හෝ ඇය තිරිසනෙකුට ආසන්න තිරිසතෙක් බවට පත්වෙයි. එහිදී ඔහු හෝ ඇය නොදන්නා එක ම දෙය නම් සංස්කෘතියෙන් ලැබන හික්මීම සහ ප‍්‍රවර්ධනය යි.
ඒ නිසා ස්වභාවික ගැයුම් කටහඬ ලද පළියට ඔහු හෝ ඇය සැබෑ සංස්කෘතික ගයන්නෙක් හෝ ගයන්නියක් බවට පත්වන්නේ නැත. ඊට ඔහු හෝ ඇය ගායනයට අදාළ සෞන්දර්ය සංස්කෘතිය උපුටාගත යුතු ය. උපුටා ගැනීම යනු ම අධ්‍යනය සහ භාවිතය යි.
කොටින් ම කිවහොත් ඒ ගැයුම්-කටහඬ සංස්කෘතියෙන් නිර්-මිත වූ තාක්ෂණික භාවිතා(Technicalities) අනුව දෛනික සතත අභ්‍යාසයන්ගෙන් පෝෂණය විය යුතු ය. ඊටත් එහා ගිය අද්විතීීය කලා ආත්මයක් ද ගොඩනගා ගැනීමට නම්, තම ජීවන අත්දැකීම් දාර්ශනික තලයකින් ප‍්‍රතිනිර්මාණ කරන ප‍්‍රතිභාමය ප‍්‍රඥාව ද වර්ධනය කරගත යුතු ය. මේ තාක්ෂණ සතත අභ්‍යසය සහ ප‍්‍රතිභාව නොමැති තැන හුදු තිරිසතෙකුට සමාන නාහෙන් අඬන කන්දොස්කිරියාව ගෙනෙන අව-වර්-ධිත ගයන්නෙක් හෝ ගයන්නියක් බිහි වේ.
ඒ සෑම සාර්ථක ස්වතන්ත‍්‍ර ගැයුම්-කටහඬක් පිටුපස ම ආත්මයක්(Soul) ද පවතී.
ගැයුම්-කටහඬක්(Singing Voice) ඇත්තෙකුට තම ගැයුම්-කටහඬ නිවැරදි ස්වර-ස්ථානයන්හි පිහිටවීමට හෝ, ස්ථාවර තාල් අනුගමනය කිරීමට හෝ, අදාළ තනු-නිර්මාණය (පැකදාහ* සමඟ ගලප්පා කටහඬ නිවැරදි ස්ථානයේ පතිත-කිරීමට (Pitching) හෝ, ඊට අමතරව සංගීත විෂයට අදාළ වෙනත් ඕනෑ ම තාක්ෂණික භාවිතාවක් පිළිපදිමින් හඬ නිවැරදි කරගැනීමට හෝ ඇති හැකියාව කියන්නේ, ගැයුම හදෑරීමත්, එය සතත-අභ්‍යාසයේ යොදවන ප‍්‍රමාණයත්(Quantity of Practice) මත පමණක් කලානුරූපීව බිහිකරගත හැක්කකි.
එහෙත් ගැයුම්-කටහඬක් (Singing Voice)*පිටුපස ඇති කලාකාර ආත්මය(Artistic Soul) යනු මේ සියලූ තාක්ෂණික කාරණා සහ අභ්‍යාස අභිභවා පිහිටන්නකි. ගැයුම්-ආත්මය යනු සංගීතයේ සම්මත තාක්ෂණික ක්ෂිතජය පලා දෙපළු කරගෙන, එම ක්ෂිතිජය ඉක්මවා මතුව එන අසාමාන්‍ය-අමුත්තයි (Extraordinary Something). එය සංගීත පංතියකින් උගන්වන්නට හෝ ඉගෙන ගන්නට බැරි, තමන් ගෙවූ ජීවිත අත්දැකීම් කලාත්මකභාවය නැමති තඨාකය තුළ පොඟවා ඒ තුළින් ප‍්‍රතිනිර්මාණය කරගන්නා ප‍්‍රතිභාමය හැකියාව නිසා ම පමණක් අවිඥානිකව මතුව එන අහම්භයකි. වෙනත් පොදු වහරේ වචනයකින් කිවහොත් වාසනාවට සිදුවන්නකි.
ඒ නිසා ලොව ගැයුම හැදෑරූ සහ එය සතත අභ්‍යාසයේ යොදවන සංස්කෘතික මිනිසුන් බොහෝ සිටිති. එහෙත් ඒ අතරින් අද්වීතීය ගායක පෞර්-ෂයන් බිහිවන්නේ අතලොස්සකි.
මුකේෂ්
ඒ අනුව යමෙකුට සංගීත විෂයෙහි හෝ වෙනත් ඕනෑ ම කලා විෂයක ඇති සියළු ම තාක්ෂණික ඉම් පෙදෙස් හදාරා(Study) කෙලපැමිණ සංගීත විශාරදයෙකු හෙවත් කලා විද්වතෙකු (Scholar) බවට පත්විය හැකි ය. නමුත් කලා නිර්-මාණී අඩවිය තුළ ඔහු හෝ ඇය තවත් හුදු ශිල්පියෙකු පමණක් ම ය.
ඔවුන්ට හැකියාව ඇත්තේ මෙතෙකේ කල් දිවි ගෙවූ සියළු අතීත කලා අති-නිපුනයින් (genius) කළ නිර්මාණ නැවත නිවැරදිව ප‍්‍රතිවාදනය කිරීමට පමණි. නමුත් තමන්ගේ ම වූ නව ස්වතන්ත‍්‍ර අති-නිපුන නව-නිර්මාණයක් ලෙස කටහඬ බිහිකරගන්නට ඔවුනට නොහැකි ය. ඊට ශිල්පීය ඥානයට අමතරව, එය ඉක්මවා ගිය කලා-ආත්මයකින් එන ප‍්‍රතිභාපූර්-ණත්වයක් අවශ්‍ය වෙයි.
ශිල්පියා(the craftsman) යනු හුදු බාස් කෙනෙකි. කලාකරුවා යනු ගෘහ-නිර්මාණකරුවා(Architect) ය. බැලූ බැල්මට දෙදෙනා ම කරන්නේ ගෙවල් හැදීම ය. ඒත් හුදු ශිල්පියෙකු වූ බාස්ට හැමදා ම එකම වර්ගයේ ගෙවල්් වුවත් හදමින් එය ඒකාකාරී භාවිතාවක් ලෙස ජීවිතය පුරාවට ම වුවත් කරගෙන යා හැකි ය. එහෙත් ගෘහනිර්මාණකරුවා කලාකරුවෙකි. ඔහු හෝ ඇය නිතර ම අපි මෙතෙක් කිසිදා අත්-නොදුටු නව-නිවසක් නිර්-මාණ-සැලසුම්(Design) කරයි.
ශිල්පියෙක් කලාකරුවෙක් වෙන්නට උවමනා යැයි සිතන මොහොතේ ම ඔහුට හෝ ඇයට තමන්ගේ ම ජීවිත අත්දැකීම් සමඟ ආත්මික පොරබැදීමක් කරන්නට සිදුවෙයි.
මෙයින් යම් කිසි කලා විෂයක ශිල්පීයතා (Technicalities) හැදෑරීම හෝ එහි කෙල පැමිණීම අවතක්සේරු නොකෙරේ. නමුත් කලාකරුවා නැමති නව-නිපැයුම්කරුවා බිහිවීමට නම් ශිල්පීයත්වය පමණක් නොසෑහේ. අනික් පැත්තට ඒ නව-නිපැයුම්කාර කලා ආත්මයක් හිමි තැනැත්තා සියළු ශිල්පීයතාවන්හි කෙල පැමිණ සිටීම ද තම නව-නිපැයුම නිවැරදිව සමාජගත කරගැනීමට ඉවහල් වේ. නැතිනම් ඊට වෙනත් ශිල්පීය දක්ෂයකුගේ සහය පැතීමට සිදුවේ.
ලක් සමාජයේ ”ශිල්පීන්ව” ”කලාකරුවන්” ලෙස වරදවා හඳුනාගන්නා සහ හඳුන්වා දෙන අව-ප‍්‍රමිතියක් පවතී.
නියම වෘත්තීය කටහඬ-වේදී-කලාකරුවා (Professional Vocal Artist) යනු හුදු ශිල්පියෙකු නොව නව-නිපැයුම් බිහි කර දෙන කලාත්මක ආත්මයකි.
පතිරාජ
ඉන්දියාවේ බිහි වූ සිනමා-තිරය මත මිනිස් ජීවිතයේ පවතින ශෝකය, අහිමිවීම, වේදනාව සහ ආතුරබව ආත්මය කරගෙන එය ගැයුම්-කටහඬකින් පතිත-කළ(pitched) සුවිශේෂී අසහාය යාදිනී ගැයුම්-කටහඬ වූයේ මුකේෂ් චාන්ද් මාතූර්ගේ ගැයුම්කටහඬ යි.
ඉන්දීය සිනමාවට බිහිවූ අනෙක් ස්ක‍්‍රීන් වෙයිස් දෙක වූ එවරස්ට් කඳු මාන පරදන මොහොමඞ් රාෆිට සහ ලයාන්විත බවේ නව සිනමාත්මක ඉම් පෙදෙස් තම ගැයුම්-කටහඬ ඇසුරෙන් මතුකර පෙන්වූ ක‍්‍රිෂෝ කුමාර්ට සමාන්තරව සහ ඔවුන්ට වෙනස් ආරකට කාන්සාගත හැඟීම් ප‍්‍රතිනිර්මාණයේ කෙළපැමිණි ප‍්‍රමුඛතම ඉන්දීය පසුබිම් ගායනීය ස්ක‍්‍රීන් වොයිස් එක වූයේ මුකේෂ් ය.
ලංකා සිනමාවට බිහිවූ එවරස්ට් කඳුමාන පරදන එච්. ආර්. ජෝතිපාල සහ යුරෝ-ඉන්දීය දෙ-ආත්ම විනිවිදිමින් නව-ලයාන්විත බවක සිනමාත්මක ගැයුම්-කටහඬ කලාපයක් බිහි කළ මිල්ටන් මල්ලවආරච්චි යන ගායක දෙපලට සමාන්තරව සහ ඊට වෙනස්ව කාන්සාසහගත පසුබිම් ගායනය තුළ තම ගැයුම්-හඬ පතිත කළ ගායකයින් 04 දෙනෙක් බිහිවිය. ඔවුන් නම් මිල්ටන් පෙරේරා, ෂෙල්ටන් පෙරේරා, ගුණදාස කපුගේ සහ සනත් නන්දසිරි ය.
මෙයින් මිල්ටන් පෙරේරාගේ සිනමාත්මක ගායනය ”අල්ලපු ගෙදර” සහ ”සිකුරුලියා” චිත‍්‍රපටවලින් ඔබ්බට තිරසාර ස්ක‍්‍රීන් වොයිස් එකක් ලෙස මතු වී ආවේ හෝ ස්ථාපිත වූයේ නැත. ෂෙල්ටන් පෙරේරා මතුවෙන්නට වෙර නොදරන චරිතයක් වූ අතර ගුණදාස කපුගේ ගැයුම්-හඬ ”එක්ටැම් ගේ” සහ ”මේජර් සර්” චිත‍්‍රපටවලින් ඔබ්බට මතුව ආයේ නැත. ඒ සියළු ගැයුම්-කටහඬවවල් ලංකාවේ කාන්සාසහගත ස්ක‍්‍රීන් වොයිස් එක සොයා ගැනීමට කළ පෙරහුරු-පරීක්ෂණයන් (Audition) සේ විය.
පේෂල මනෝජ්
එහෙත් පෙරහුරු-පරීක්ෂණයක් රහිතව ම (Without an Audition) සනත් නන්දසිරි පතිත කළ(pitched) ජීවිතයේ ශෝකය, අහිමිවීම, වේදනාව සහ ආතුරබව ආත්ම කරගත් සැබෑ කාන්සාසහගත හැඟීම් ප‍්‍රතිනිර්මාණයේ කෙළපැමිණි ඔහුගේ සිනමාත්මක ගැයුම්-කටහඬ නිරායාසයෙන් ම තමන්ට හිමි අස්ථානය දිනාගත්තේ ය.
ඉන්දියාවේ යටකී ශෝකය, අහිමිවීම, වේදනාව, ආතුරබව සහ කාන්සාසහගත බව සිනමා තිරය සමඟ සම්මිශ‍්‍රණය කරන්නට මුකේෂ් ඉන්දීය සිනමාවට යම් දායකත්වයක් ලබාදුන්නේ වී ද, ලංකාවේ ජනප්රිය සහ සුභාවිත සිනමාපට දෙවර්-ගය තුළ ම එතරම් ම වූ දායකත්වයක් සනත් නන්දසිරි විසින් ද ලබා දී ඇති බව ලක් සිනමා ලෝකයේ සිටින කොයි කාටත් කුහකත්වයකින් තොරව පිළිගන්නට සිදුවන්නකි.
මේ මා කතා කරමින් සිටිනුයේ රටේ සෞන්දර්ය කලා විශ්ව-විද්‍යාලය පසුබිමේ හෝ රාජ්‍ය සංගීත කන්ඩායම පසුබිමේ ඇති සංගීත සංස්කෘතියට අයත් ශාස්ත‍්‍රඥයින්ට පෙනෙන ඉමෙන් ඔබ්බට ගොස් ගැයුම්-කටහඬ ජනගත කිරීමට සනත් පලකළ අසහාය දායකත්වයට අදාළ කලාපයක් ගැනය. ඒ නිසා ඒ ආයතනවල ඉන්න උදවියට මෙම ලිපිය අධ්‍යාපනයකි.
සනත් නන්දසිරි යනු සංගීත් නිපුන් තත්වයෙන් ඉන්දීය රාගධාරී සංගීතයෙහි කෙළ පැමිණිියෙකු වූව ද සංගීත ක්ෂේත‍්‍රය තුළ සැරිසරද් දී රාගධාරී පොරපාට් දාගෙන සංගීත ක්ෂේත‍්‍රයේ අනෙක් ගැයුම්-කටහඬකරුවන් ඇසුරු කළේ නැත. මිල්ටන් මල්ලවාරච්චි සේ ම නිහාල් නෙල්සන් ද සනත් විසින් සමසේ ඇසුරු කළ ඔහුගේ හොඳ මිතුරන් විය. ලංකාවට ඉලෙක්ට්‍රොනික් ගිටාරයේ හඬ හඳුන්වාදී ජනගත කළ ක්ලැරන්ස් විජේවර්ධන බිහිකළ සංගීත තනුවක දී ඊට පෑහෙන සේ කටහඬ ආත්මය නිවැරදි දිශාවට චලනය කිරීමේ මනා බැහැපත් බවක් සහ පරිචයක් සනත්ට තිබුණේ ය. එහිදී ඔහු ක්ලැරන්ස් ඉදිරියේ රාගධාරී පොල්ල හරස් කරගන්නට ගියේ නැත. ඒ නිසා ම ඔහු ක්ලැරන්ස්ගේ තනු නිර්මාණයන්ට ගැයූ ගීත ලක් සංගීත කලාවේ වෙනස් ම රසයක් මතුකරලූ නව-ෂොනරයක් ලෙෂ සැලකිය හැකිය.
සනත් ඉන්දීය රාගධාරී සංගීතයෙන් ඔබ්බට ගොස් අනෙක් සියළු සංගීත සංකෘතීන්වලට විවෘත හදවතක් පවත්වාගෙන යන්නට තරම් වූ උස් මිනිස් ගුණයන්ගෙන් හෙබි අයෙකු වූයේ ය.
කිසිදු සංගීතයක් විෂයක් ලෙස නොහදාරා සිටි මිල්ටන් මල්ලවආරච්චි මියගිය මොහොතේ සනත්නන්දසිරි කළ ප‍්‍රකාශය තුළ ඔහු කෙතරම් නම් මිල්ටන්ට සහ ඔහුගේ කලා කිපුනතාවට ආදරේ කළේ ද යන්න පලවුණේ ය. එයින් ම සනත් යනු සංගීතයේ ශිල්පීයත්වය අභිබවා ආත්මය ගවේශනය කරමින් යන වන්දනාකරුවෙකු බව මොනවට පැහැදිලි විය.
සනත්ට තිබූ මේ සම්මතයට වෙනස් වූ මිනිස් ඇසුරත් ඔහුගේ කටහඬෙහි පැවති යට සඳහන් සුවිශේෂී කලා-ආත්මයේ විශාල පදාසයක් නිමවා දෙන්නට හේතු භූත වූයේ ය.
1976 විදෙස් සංගීත ගමනක යෙදී සිටිය දී වයස 53 ගතකරමින් සිටි මුකේෂ් හදිසියේ මිය යාම නිසා සමස්ත ඉන්දීය සිනමා කර්මාන්තය සේ ම ලොවපුරා පැතිර සිටි ඔහුගේ රසිකයින් මහා කම්පාවකට පත්වුහ. තමන් ගායකයකු ලෙස බිහිවන තෙක් රසිකයින් නොඇසූ නව-කටහඬක් බිහිකිරීමෙහිලා සමත් වූ මුකේෂ්ගේ ඒ කලා නිර්-මාණී ගැයුම්-හඬ මෙහෙයවීම ඉන්දීය සහ ලෝක ජන විඥානයේ අවිඥානක ඉම් පෙදෙස් රහසින් වසඟයට ගැනීමට සහ දපනෙ දමා ගැනීමට සමත් විණි.
සනත් නන්දසිරිගේ ගැයුම්-කටහඬ ලාංකීය ජනවිඥානයට කළේ ඊට වෙනස් යමකැයි කියා කෙසේ නම් පවසන්නද? ඔහු සිනමාපටවලට නොගැයූ සාමාන්‍ය ගීත බොහොමයක් ද නැවත සිනමාපටයකට යොදාගත හැකි තරමට සිතෙහෙි රූප රචනා මවන සිනමාරූපී රූප-රචනික ගායනයන් විය.
ධර්මසේන පතිරාජ නිර්මාණය කළ අහස්ගව්ව සිනමාපටයට විප්ලවීය ”ඉරා අඳුරු පට” ගීතය ගයන ගමන් ම, ජනප‍්‍රිය-සුභාවිත මැද මාවතේ භාවිතයක තිබූ දුලීකා සිනමා පටයට ”සීත ? යාමේ අඳුරේ” ගීතය ද ඉන්පසුව බිහිවූ 80 දශකයෙන් පසු අතිජනප‍්‍රිය වින්දනවාදී සිනමාපටවලට රඟපෑ ශෂි විජේන්ද්‍ර වැන්නවුන්ට පවා ගැයූ පසුබිම් ගීත ද අතර සමාන්තර සමබරතාවක් රැකගන්නට සනත්ට හැකිවිය. එය රාගධාරී සංගීතයෙන් කෙළපැමිනී ම නිසා එක් සංගීත ආරක් තුළ පමණක් ඩෝප් වී සිටින විශාරදයින්ට කළ නොහැකි වූ දෙයකි.
බටහිර සංධවනික-සංගීත-ස්වර-සැකසුම්කරණයෙහි අති-නුපුනයෙකු වූ පේරේමසිරි කේමදාසයන්ගේ තනු නිර්මාණයකට අනුව සනත් නන්දසිරි සහ ලතා වල්පොල ගැයූ ”සඳපෙම් යහනින් ගීතය” සිනමා තිරයට කටහඬ මුසු කිරීම හා සම්බන්ධ නව-නිම් වළලූ පුළුල් කළ ඉසියුම් ස්ක‍්‍රීන් ගායනයකි. මගේ අනුදැනුමට අනුව මේ ගීතය අසන්නට තිබුණේ මුකේෂ් ය. මුකේෂ් සනත්ගේ මේ චිත‍්‍රපට ගීත ගායනය ඇසුවා නම් ”මා කළ දේ මටත් වඩා ඉහළ නිර්මාණී තලයකට ප‍්‍රතිනිර්මාණය කරලා” යැයි කියා ඔහුට සියුම් ඉරිසියාවක් ඇතිවන්නට පවා ඉඩ තිබිණි.
”සඳපෙම් යහනින්” ගීතය හරහා ”වසන්තයේ දවසක්” සිනමාපයටයේ කතා ප‍්‍රස්තුතය එය නොපැතූ වෙනත් සෞන්දර්ය සෘංගාර කලාපයක් කරා ඔසවා තබන්නට ධර්මසිරි ගමගේ-ප්‍රේමසිරි කේමදාස-ලතා වල්පොල-සනත් නන්දසිරි හතරදෙනා සමත් වෙයි. ඒ අතරිනුත් සනත් නන්දසිරිගේ ඒ මුකේෂ්වාදී සාන්කාසහගත ගායන රසය යම් ධනාත්මක සෘංගාරාත්මක ඉමක් දක්වා ඔසවා තැබුණ අතර, එම ගායන රසෙන් ම ”වසන්තයේ දවසක්” සිනමාපටයේ සෞන්දර්ය ආලේපනය ද ගව්ගානකින් පමණ ඉහළට එසවුණ බව දන්නෝ දනිති.
එනයින් සිනමාව විසින් සනත්ගේ ගැයුම්-කටහඬ යම් ආත්මීය හරයක් දක්වා ඔසවුණ ලැබුණා සේ ම, සනත්ගේ ගැයුම්-කටහඬෙහි තිබූ මේ සුවිශේෂකත්වය විසින් ලාංකීය සිනමාවේ සාංකා රස හැඟීම් සමුච්ඡය ද දුලභ සුභාවිත වර්ණීය තලයකට ඔසවණු ලැබුණි.
ශෝකය, අහිමිවීම, වේදනාව, ආතුරබව සහ කාන්සාසහගත බව සිතෙහි කොනක හන්ගා රන්දාගෙන මතුපිටින් සිනාසෙන සහ සිනා-මැවූ ලොව පතල චාලි චැප්ලින්ගේ චලන ආර ඉන්දීය සිනමා සංස්කෘතියට මුසු කළ රාජ් කපූර් නැමති සිනමා නළුවා විසින් රඟපෑ ”ආග්”, ”ආවාරා”, ”ශ‍්‍රී 420” සහ ”බර්සාත්” වැනි සිනමා පටවල රාජ් කපූර්ට පිටුපස ගැයුම්-කටහඬ සෙවනැල්ල ලෙසින් පසුබිම් ගායනයේ යෙදෙන්නට මුකේෂ්ට අවස්ථාව උදාවූ අතර, එහිදී තමන් මෙතෛක් ආභාෂය ලබමින් සිටි කේ.එල්. සායිගල් නැමති ගායකයාගේ ආරෙන් මිදී තමන්ගේ ම ආරක් බිහිකර ගැනීමට මුකේෂ්ට හැකියාව ලැබිණි. මේ සිනමාපට අතරින් ශ‍්‍රී 420 සිනමාපටය ඉන්දියාවේ පමණක් නොව සෝවියට් රුසියාව පුරා ද මහත් සේ ජනප‍්‍රිය විය.
සනත් නන්දසිරිට තම කටහඬෙන් සෙවනැල්ල සපයා දෙන්නට මුකේෂ්ට තරම් වූ සාංකා හැඟීම් පාරවන ආරක් ආත්මකොටගත් රාජ් කපූර් වැනි සුවිශේෂී සිනමා නළුවෙකු ලංකාවේ නොවු අතර, එවන් සාංකා හැඟීම් ප‍්‍රස්තුත දිරිගන්වන චරිත සිටි ”දහසක් සිතිවිලි”, ”හන්තානේ කතාව”, ”ගොළු හදවත” වැනි සිනමාපටවල සනත්ගේ ගැයුම්-හඬ භාවිතයට විශේෂ ඉඩක් තිබුණා නම් තත්වය මීට වෙනස් වන්නට තිබුණි. ඒත් ඒ සිනමාපට රූගත කරන්නේ සනත්ව ම හිතේ තියාගෙන නොවන නිසා ඔහුට ඒ අවස්ථාව උදා වූයේ නැත.
උදාහරණයක් විදිහට හන්තානේ කතාවේ වික්ටර් රත්නායක සහ නන්දා මාලිනී ගයන ”සරා සොඳුරු මල් පැටලී” ගීතයේ පිරිමි ගැයුම් කොටස සනත් නන්දසිරි අතින් ගැයුනා නම්, ඒ සිනමා පටයේ මුල් භාගය පුරා ම උකටලී සිතැතිව සිටින ටෝනි රණසිංහ රඟපාන අනුරගේ චරිතය මීට වඩා ඉස්මතු කරගන්නට තිබුණා යන්නයි මගේ පුද්ගලික හැඟීම. අනික් පැත්තෙන් විරාගයේ අරවින්ද චරිතය සම්බන්ධයෙන් සනත්ගේ කටහඬ තිස්සගේ මතකයට ආවේ ම නැත.
ඉන්දියාවේ රාජ් කපූර් සිනමා නළුවාගේ රංගන මානයට වෙනස් වු වෙනත් ලාංකිය මානයකින් බැලූවොත්, ලංකාවේ බිහිවූ හැඟීම් ආවේග උත්පාද රංගනයේ විනයගත පරිචයක් හිමිකරගෙන සිටි සිනමා නළුවෙක් වූ උපාලි අත්තනායකගේ රංගන ස්වභාව සනත්ගේ ගැයුම්-කටහඬ සෙවනැල්ල ලැබීමට තරම්වූ රඟ සොබාවක් නමුත් එය කාගේවත් අවධානයට යොමු වූ කරුණක් වූයේ නැත. ඉන්දීය සිනාමා කර්-මාන්තයට සාපේක්ෂව සිනමාපට නිෂ්පාදනය වීමේ ප‍්‍රමාණය අතින් ලංකාවේ සිනමා කර්-මාන්තය බොහෝ කුඩා එකක් වීම ඊට එක හැඟවුම්කරණීය හේතුවක් විය හැකිය.
නමුත් එකල අප ප‍්‍රමාණයෙන් කුඩා වුවත් ගුණයෙන් කුඩා වූවා යැයි කෙසේ නම් පවසන්නද?
අනික් අතින් උපාලි අත්තනායක හෝ සනත් නන්දසිරි ද තමන්ට එන වැඬේ හරියට කරනවා හැරුණුකොට මෙවන් සුසංයෝගයක් පිළිබඳ සබුද්ධික වෙමින් කලා කටයුතුවල නියුතු වූවෝ නොවූහ.
ඉතින් සනත් නන්දසිරි විසින් අරුමසහගත සුසිනිදු බවකින් යුතු ශක්තිමත් ගැයුම්-කටහඬ පෞර්ෂයකින් යුතුව ගයත්දී ඔහු ලංකා සිනමා කර්මානත්ය තුළ කිරුළ නොපලන් රජෙකුගේ තත්වයට පත්වූයේ ය.
උත්තර භාරතීය සංගීත දැනුමෙන් කොතරම් නම් ඇසූ පිරූ සංගීතඥයෙක් වුවත්, ඔහු ගායනයට එළඹි සැනින් ගීතයේ තනුව අරක් ගනු ලැබූයේ ඔහුගේ ගැයුම්-කටහඬ මෙහෙයවූ ඒ උදාර කලා-ආත්මය විසිනුයි. ඔහු නිරයාසීව ගීතයට ආත්මගත වූ අතර, ගයන්න පටන්ගත් වහාම ඒ ගීත ගායනයට අදාළ ගැඹුරු හැඟීම්-ආවේග කිසිදු චකිතයකින් තොරව ස්පර්ශ කිරීමට ද සමත් වුණි.
මේ ගෙවෙන දවස්වල, තමන්ව දාල ගිය පෙම්වතියන් ගැන නාහෙන් අඬන පිරිමි බවෙන් හීන ගායකයින් කියාගන්නාවුන්ගේ අවගායනීය හඬවල් ඇසෙන විට, අදටත් තම පිරිමිකම තියාගෙන ශෝකය, අහිමිවීම, වේදනාව, ආතුරබව සහ කාන්සාසහගත බව සහිත පදවැලක් නිරායාසීව පූර්ණ හැඟීම් ප‍්‍රකාශනයන් ලෙස ප‍්‍රතිනිර්-මාණය කරන්නට සිටි එකම අද්විතීය ගායක කලාකරුවා සනත් නන්දසිරි බව කාටත් අවිවාදයෙන් පිළිගන්නට සිදුවෙනවා ඇත.
සනත්ගේ ගැයුම්-කටහඬ හැකියාව සහ ධාරිතාව ගැන සැලකූ විට ඔහුට ලංකාවට කරන්නට තව බොහෝ දෑ තිබුණ බව නොරහසකි. එහෙත් ඉන්දීයාවේ අති-සම්භාව්‍ය ගරානා අධ්‍යයන පද්ධතියකින් තබ්ලා වාදනයෙහි උස්වූ ප‍්‍රාමාණික භාවිතාවක් හිමිකරගෙන මෙරටට පැමිණි පේෂල මනෝෂංකර් මනෝජ්ට සෞන්දර්-කලා විශ්ව-විද්‍යාලයේ පිළිකන්නෙන් ඇබින්දක් පවරා දී, පසුව ඔහුව එයින් ද පිටමං වෙන තැනට කටයුතු සැලසූ ලාංකීය ආයතනික භාවිතය දෙස බලන විට සනත් ඔය කළා හොඳට ම ඇති ය. පේෂල ඒ උපයට යට නොවී තමන්ව ආර්ථිකව ගැලවීමට පුද්ගලික රූපවාහිනී නාලිකාවක රියැටිලි ෂෝ හසුරුවන ජෝකර් කෙනෙක් බවට පත්වන්නට තීරණය කර දැන් හුඟක් කල් ය. ඔහුට ඊට පාරකැපීම පිටුපස ඇති සමාජ විකෘතියට සාපේක්ෂව සලකා බලන කල, නිර්මාණශීලී සුභාවිත කලා භාවිතය තුළ පේෂල මනෝජ්ට තරම් වූ සජීවී සංස්කෘතික අකරතැබ්බයක් සනත් නන්දසිරි හට සිදුවූයේ නැත.
මන්ද, ලංකාවේ සෞන්දර්ය කලා විශ්ව-විද්‍යාලය තුළ සෝමසිරි ඉලේසිංහ වැනි කැපවීම්සහගත නිපුනයින් බිහිකළ ඒ සොඳුරු අතීතය දැන් ලයනල් එදිරිසිංහ යුගයෙන් පිටතට පොලා පැන, වර්තමානය දෛනික සතත අභ්‍යාසයේ පවා නොයෙදෙන, ඉතා සුළුතරයක් පමණක් මහන්සියෙන් වැඩකරත්දී බහුතරයක් නිකමුන් අටයි-පහ සේවයේ නියුතු වී ගෙදර යන ගුරු පිරිසක් සහිත, රාජ්‍ය සේවකමය හොරුන්ගේ රජදහනක් බවට පත්වී ඇත.
ඉදින් තවදුරටත් සනත් නන්දසිරි වැන්නකු කෙසේ වෙතත්, ඉතා පහළ ගණයේ කලාකාරයෙක් තබා කලා ශිල්පියෙකුවත් බිහිකරගන්නට බැරි තත්වයේ හුදු බිල්ඩින් කිහිපයක් පමණක් බවට සෞන්දර්-ය කලා විශ්ව-විද්‍යාලය පත්ව ඇත.
ඒ නිසා අපට කියන්නට ඇත්තේ වෙනත් දෙයකි.
පුළුවන්න නම් කලා සංස්කෘතියෙන් ගරා වැටුණ ඔය බිල්ඩිං යොදා වැඩකර පේෂල තරම් ගුණයෙන් යුතු එක තබ්ලා ශිල්පියෙක් බිහිකර පෙන්වන්න!
අද වන විට පේෂලට පවා පවා කියන්නට ඇත්තේ ද ඔය ටික ම යි. මන්ද පේෂලත් ආර්-ථික හේතූන් ප‍්‍රධාන කරගෙන දැන් දැන් තම සුභාවිත කලාවට විශ‍්‍රාම දී ස්වයං සතත අභ්‍යාසයෙන් සහ කැපවීම්සහගත ඉගැන්වීම් කටයුතුවලින් ද කට්ටි පැන ඇති නිසා, ඔහුටත් සෞන්දර්-ය කලා විශ්ව විද්‍යාලයේ ඉන්න අය මෙන් බහුතර ලාංකිකයින් වෙනුවෙන් කරන්නට කියා මහා කලා-සංසස්කෘතික කැපවීමක් නැත.
ඞ්රැකියලා කාපුවහම කනු ලැබූ කෙනාවත් ඞ්රැකියුලා බවට පත්වෙනවා. පේෂලට සිදුවූයේ එය යි. ඊට සෞන්දර්-ය කලා විශ්ව-විද්‍යාලය වගකිවයුතු නැතැයි කවුරුන් හෝ කියනවා නම්, මේ ලිපියට උත්තර ලියන්න! අපි හැප්පිලා බලමු!
කල්කටාවෙන් කිලෝමීටර 152ක් ඔබ්බෙහි පිහිටි බටහිර බෙන්ගාලයේ බර්බම් දිසත‍්‍රික්කයේ බෝල්පෝර් ටවුමේ ඉඳන් රබීන්ද්‍රනාත් ඨාකූර් සමඟින් ඉන්දියානු නිදහස් සටනට සමාන්තරව බිහිවූ බෙංගාලි පුනරුදයේ ආශ්වාදය ලාංකීය අපට ලබාදුන් ශාන්ති නිකේතනයේ බටහිර සංගීත අධ්‍යයන අංශයෙහි සිදු නොවන කුහක ක‍්‍රියාවක්, මේ වන විට ලක්නව්හි පිහිටි භාත්කණ්ඩ විශ්ව-විද්‍යාලයේ බටහිර සංගීත අංශයේ සිද්ධ නොවන කුහක ක‍්‍රියාවක් ලංකාවේ සෞන්දර්-ය කලා විශ්ව-විද්‍යාලයේ පරිපාලනය සිදුකළේ ය.
ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ බටහිර සංගීත අංශයේ බාහිර කථිකාචාර්-යවරයෙක් ලෙස කටයුතු කළ අමරනාත් රණතුංග යනු දකුණු ආසියාවට ම සිටින දියුණුත ම ක්ලැසිකල් සහ ෆ්ලෙමෙන්කෝ වාදකයෙක් සහ ඒ වෙනුවෙන් පළමු වතාවට දකුණු ාසියාවට ම විෂය-නිර්දේශයක් තනා දුන් ආසියානු පුරෝගාමියෙකි. ඔහු දෛනිකව පැය 10ට ආසන්න කාලයක් සතත අභ්‍යසයේ යෙදෙන කැපවීම්සහගත වාදකයෙක් සහ ගුරුවරයෙකි. මෙම සතත අභ්‍යාස පරිචය සේම ලොව නව-සංගීත නිර්මාණ කලාප හැදෑරීම ද තම ඉගැන්වීම් කටයුතුවලට යොදාගනු ලැබූ ගුරුවරයෙකි.
Mr.Amaranath
ඔහුගේ පැමිණීමෙන් පසුව නවක සිසුන් දිනාගැනීමට ගුරුවරුන් කරන වාද්‍ය ප‍්‍රසංගයහිදී හැමවිට ම සිසුන් වැඩි ප‍්‍රමාණයක් තමන්ගේ පංතියට දිනා ගැනීමට ලෝක මට්ටමේ අද්විතීය වාදන කර පෙන්වීමට අමරනාත් නම් වාදකයා සහ ගුරුවරයා සමත් වූයේ ය.
ඊටත් වඩා ඔහු තම සිසුන් සමඟ වේගයෙන් වැඩකරගෙන යන උස්වූ මිනිස් ගතිගුණ ඇත්තෙකි.
මෙවන් අභියෝගාත්මක චරිතයක් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට පැමිණි විට, කළ යුතුව තිබුණේ ඔහුව අනෙකා කරගෙන හින්දුස්තානී හෝ කර්-ණාටක ක්ෂේත‍්‍රවල ද ඔහු හා තරඟකාරීව කරට කර වැඩකරන ගුරුවරුන් සහ සිසුන් පරපුරක් බිහි කිරීමට පරිපාලනය විසින් කටයුතු කිරීම ය. ඒ උදෙසා විශ්ව-විද්‍යාල පරිශ‍්‍රය තුළ පරිපාලනාධිකාරිය විසින් නව-ව්‍යුහ තැනීම ය. නව ක‍්‍රියාපටිපාටි හඳුන්වා දී ගුරුවරුන්ට නිකං ඉන්නට නොදී සංගීත සම්ප‍්‍රදායන් අතර සාධනීය තරඟකාරීත්වයක් බිහිකිරීම ය. ඒ සඳහා ගුරුවරුන්ව වේගයෙන් සතත අබ්‍යාසයේ යෙදවීම ය. ඒ හරහා සිසුන්ව ද වේගයෙන් සතත අභ්‍යාසයට යොමු කරවීම ය. පරිණත පරිපාලනයක් යනු එවැන්නකි.
එහෙත් සිදුවූයේ අනෙකකි.
ඒ වෙනුවට අමරනාත් උදෙසා ද ලංකාවේ අබලන් ආයතනවලින් සිදුකරන පොදු ගුණාකරය ක‍්‍රියාත්මක වුණේ ය. ඔවුන් අමරනාත්ගේ දේවා කාලය දීර්ඝ නොකර ඔහුව නිල වශයෙන් ගෙදර යවන්නට සැලැස්වූයේ ය.
මෙම සෞන්දර්ය කලා විශ්ව-විද්‍යාලය නැමති බෝඞ් එක පිටුපස බිල්ඩිම් කිහිපයට අරක්ගෙන ඉන්න ඇඟට ලේසි ලෙස අටයි පහ වැඩකරන නිකමුන් එවන් සාධනීය තරඟකාරීත්වයක් බිහිකිරීම වෙනුවට වෙනත් දෙයක් කළේය. අමරනාත්ට ස්ථිර සේවයට ඒමට ආරාධනා කරනවා වෙනුවට අමරනාත්ගේ විශ්ව-විද්‍යාල සංගීත ඉතිහාසයෙන් කෙටි කාලයක් ඇතුළත අමරනාත්ගේ සේවා කාල දීර්ඝ නොකර ඔහුව ලාංකීය නිල සෞන්දර්ය කලා ආයතනික ඉගැන්වීම් ලෝකයෙන් දොට්ට දැම්මේ ය.
එයින් පුද්ගලිකව අමරනාත්ට මහා අවාසියක් සිදුකිරීමට නොහැකි වුණි.
නමුත් ලංකා ජාතියට මහා අවාසියක් සිදු වුණේ ය.
අමරනාත් රණතුංග සිදුකළේ තමන්ගේ ගිටාර් වාදන සහ ඉගැන්වීම් නිපුනතාව ගෝලීය වෙළඳපොලට අනුගත කිරීම ය. එයින් අමරනාත්ව පුද්ගලයෙක් හැටියට වට්ටවන්න සෞන්දර්ය කලා විශ්ව-විද්‍යාලයේ මුලාදෑනිවාදී ගහලයන්ට බැරි විය. නමුත් අප රටක් හැටියට ඇද වැටුණේ ය. බටහිර සංගීත අංශයේ ක්ලැසිකල් සහ ෆලෙමෙන්කෝ ගිටාරය ඉගෙන ගන්නට එන සිසුන්ට අමරානාත් වැනි මහා කලා පෞර්-ෂයක් අහිමි විය.
ඉතින් මේ බිල්ඩින් කිහිපයක් ඇතුළත පවතින විපරීත පරිපාලනය විසින් හින්දුස්ථානී තබ්ලා වාදකයෙකු සහ ගුරුවරයෙකු වූ පේෂලට කරපු දේත් ක්ලැසිකල් ෆ්ලෙමෙන්කෝ ගිටාර් වාදකයෙකු සහ ගුරුවරයෙකු වූ අමරනාත්ට කළ දේත් අතර මහා ලොකු වෙනසක් නොමැත.
ඉදින් මේ බිල්ඩින් කිහිපයේ පරිපාලනය විසින් මේ නොකියා කියන්නේ කුමක්ද?
1956යේ ජාතිවාදී සිංහල ඔන්ලි ප‍්‍රරතිපත්තිය හරහා රාජ්‍ය ආයතන පද්ධතියට ඇතුළු වූ ඉංග‍්‍රීසි නූගත් පටු-මනෝභාවිකයින්ට ම අයත් තවත් රාජ්‍ය ආයතනයක් පමණක් වූ සෞන්දර්-ය කලා විශ්ව-විදයාලයේ පරිපාලන මුලාදෑනීන් ද සම්මත රාජ්‍ය ආයතන නිළදාරීන්ගෙන් කිසි ලෙසකින් වෙනස් නොවන බව ය. සමහරවිට ඊටත් වඩා දරුණු විය හැකි බවයි.
මෙසේ මේ ගහලයින් විසින් දොට්ට දැමූ සහ කලාව එපා කරවූ අපමණ පිරිසක් සිටිනවා ඇති. ඒ නිසා වටිනා කලාකරුවෙකු වූ සනත් නන්දසිරි මිය ගොස් ඇති මොහොතේත් රටේ ජනාධිපති වන රනිල් වික‍්‍රමංසිංහයන්ට අපට කියන්නට දෙයක් ඇත.
පුළුවන්නම් මේ 56යේ ගහලයින්ව පයිසෙකට ගණන් නොගෙන පේෂල මනෝජ් සහ අමරනාත් රණතුංග මේ අවරසික බිල්ඩින්වල ස්ථිර සේවයේ පිටුවවන්න. සෝමසිරි ඉලේසිංහට නැවත මේ විශ්ව විද්‍යාලයේ සේවයට එන්නැයි ආරාධනා කර ඔහුව ද ගෞරවනීය ලෙස ඊට අනුයුක්ත කරන්න! සෝමසිරි ඉලේසිංහ සහ අමරනාත් වැන්නන්ව අන් අයගේ කුජීතු පරිපාලනයන්ගෙන් පීඩා විඳින්නන් වන්නට ඉඩ නොතබා මේ බිල්ඩින් කිහිපයේ පරිපාලන වගකීම් ද ඔවුන්ට පවරන්න!
එය කරන්නට යන මොහොතේ ම මෙතෙක් පරිපාලනයේ සිටි සහ දැනට සිටින පරිපාලන ගහලයින් ආයතන සංග‍්‍රහයේ පටු නීති රීති වලට මුවා වී සේ ම විටෙක ආයතන සංග‍්‍රහය උල්ලංගනය කරමින් ද වෙනත් අභූත බොඳ චිත‍්‍රයක් මවා රනිල් වික‍්‍රමසංහට පවා ”මේවා හදන්න බෑ අප්පා” කියා කියවෙන තැනට එපා කරවන්නට ඉඩ ඇත.
ඉතිං 1956න් පසුව තවමත් ලක් කලාවේ පැතුම් පවතින්නේ ආයතනවලින් පිටත ය. මේ බත්බැල මුලාදෑනිවාදී අටමගලය තියෙන තුරා මෙතෙක් බිහි වූ වික්ටර් රත්නායකලා, සුජාතා අත්තනායකලා හෝ වැනි තවත් ප‍්‍රාමානික සංගීතවේදීන් සෞන්දර්ය කලා විශ්ව-විදයාලයෙන් මින් මතුවට බිහි නොවන අතර, රියැලිටි ටීවී වැඩසටහන් ඔස්සේ තම වෘත්තීය ප‍්‍රමිතිය සොයන මංමුලා වූ සිසු-සිසුවි පිරිසක් ම නැවත නැවතත් බිහිවී අතුරුදන්වී යනවා ඇත.
විශ්ව-විද්‍යාලයට ඇතුළත් වන සිසුවෙකුට හෝ සිසුවියක් ම පාසල් සංගීත ගුරු ජොබ් එකක් හොයා ගන්නා තත්වයෙන් ඉහළට යන්නට නොසිතන්නේ මා කියූ මේ ආයතනික යථාව අවිඥානිකව හෝ හිතෙහි පවතින නිසා ය.
ඉතින් මේ ගුණයෙන් තොරව හැල්මේ දුවන ශෝචනීය මාවතෙන් හරි මගට එනතෙක් සනත් නන්දසිරි වැන්නවුන් කවදාකවත් සෞන්දර්ය කලා විශ්ව-විද්‍යාල බිල්ඩිම්වලින් නැවත බිහි නොකරනු ඇත. අපරාදේ ආන්ඩුවේ සල්ලි. කොඳු නැති උන්ට පමණක් වරප‍්‍රසාද හිමිකර දෙන, කොඳු ඇති උන්ගේ කොඳු පෙලා අවනත කරගන්නා, කොඳු නොකැඩිය හැකි විෂය දත් උන් පලවාහරින මේ විගඩංකාරී අටමගලය ම සෞන්දර්-ය කලා විශ්ව-විද්‍යාලය යන නමින් ඉදිරියටත් ලදරං වාහනයක් සේ පවතිනු ඇත.
ඒ නිසා සනත් නන්දසිරිලා වැනි නිලුනයින් බිහිකරන ලද සෞන්දර්ය කලා විශ්ව-විද්‍යාලය දැන් අප අතර නැත. එය මිය ගොසිනි. ඒ නිසා සනත් නන්දසිරි හෝ එබඳු කලාකරුවන්ගේ අතීත මහිමාලංකාරයට හේත්තුවී තම පව් සෝදාගන්නට හදන මේ බිල්ඩිං වැසි පරිපාලනයට පළමුවෙන් ම සිදු කිරීමට ඇත්තේ වෙනස් වීම පමණකි! ඒ හරහා නැවත් නව පරපුරක් ජීවමාන කරන ජාතික නිකේතනයක් බවට පත්වීම පමණකි.
එතෙක් ගැයුම්-කලාවේ ලාංකීය මුකේෂ් සලකුණ වූ සනත් නන්දසිරියන්ට ද මේ බිල්ඩින්වලට ඉහළ අහසේ පියාසර කරමින් මේ අවරසික බිල්ඩින් තුළ සිදුවන අකටයුතුකම් දැක තවදුරටත් සුසුම් හෙලනවා හැර වෙන කරන්නට දෙයක් ඇත්තේ නැත.
ඒ නිසා සනත් නන්දසිරි කලාකරුවාණෙනි, ජාතික තලයේ සැබෑ සෞන්දර්ය සංස්කෘතිය හීනව යමින් රට සෞන්දර්ය සංස්කෘතික කාන්තාරයක් බවට පත්වෙද්දී, එවන් මුඩුබිමක ඔබ වැනි පරිපූර්ණයන්ට ජීවත් වෙන්නට අසීරු බව දනිමු. හුස්ම ගන්නට අසීරු බව අපි දනිමු. එනිසා තමන් වටා සිටින සෞන්දර්ය සංස්කෘතියෙන් පොහොසත් සියළු ම උදවිය ලංකා පෘථිවිය හැර යත්දී, දෛනික පෝෂණයෙන් තොර මෙවන් කසල බිමක තවදුරටත් නොඉඳ මෙයින් නික්ම යාමට ගත් ඔබගේ තීරණය අප සුළුතරයකට ඉතා හොඳින් තේරුම්ගත හැකි ය.
මේ රටට තවදුරටත් ඇවශ්‍යව ඇත්තේ රියැලිටි ෂෝවල දෙකට නැමෙන සෞන්දර්ය කලා සිසුන් සහ මෙගා සංගීත ප‍්‍රසංගවල ගීතයේ වචනවත් හඳුනන්නේ නැතිව ආවේස වී නටන අනුකාරණය පමණක් ජීවිතය කරගත් තරුණ පිරිසකි. ඉතිං ඔබගේ නික්ම යාම සාධාරණය.
සැබෑ කලාරුවන් මෙතරම් අසරණ වූ සහ තනිවූ යුගයක් මෙතුවක් කිසිදා නොතිබෙන්නට ඇත. ඒ නිසා ඔබගේ නික්ම යාම සාධාරණය. රියැලිටි ෂෝවලට යොදන ප‍්‍රාග්ධනය ඉදිරියේ සැබෑ කලාකරුවන් මෙතරම් දන නැමී දණිස් කඩාගත් යුගයක් තවත් ඇත. ඉතිං ඔබ වැන්නන් හිඳ කුමක් කරන්නද? ඒ නිසා ඔබගේ හදිසි නික්ම යාම සාධාරණ ය. මේ විපරීත ඩිස්නිලන්තයේ හිඳිමින් එයට හැඩගැහෙන්නට ඔබත් උත්සහ දරන්නට ඇත. එහෙත් ආශ්වාදය සැපයූ පැරණි මිතුරන්වත් අයට නැති හුදෙකලා ලොවක ඔබ කුමක් නම් කරන්නද? ඒ නිසා ඔබේ හදිසි නික්ම යාම සාධාරණ ය.
මිතුරු වෙසින් ගතකරන සතුරන් පිරි මෙවන් ලොවක හිඳ එදා මිතුරන් ගැන ඔබ ම අහස්ගව්ව සිනමාපටයට ගැයූ ගී පද අදටත් කෙතරම් නම් වලංගුදැයි බලන්න!
”ඉරා අඳුරුපට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවීයන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිනි මත පියමං කරමින්
අහස්ගව්වටයි ලං වන්නේ ....
හිරු රැස් දැඩිවී ඇකිලී ගුලිවී
පා පෙරලී ගොස් රැඳේ ද අප සැම
ඉමක් නොපෙනෙනා අහස් ගෙඟ් ....
ඉර හඳ නැතිවී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළක් සුසුමක් හදින් ගලන තෙක්
එකමුතුවී අපි ඉමු මිතුරෝ,
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ ...”
එවන් නව තිරසාර සෞන්දර්-ය කලා මිතුරු කැලක් මේ සෞන්දර්්‍ය කලා බිල්ඩින්වලට පිටතින්න් හෝ බිහිවෙන දවසක් එනවානම් ...., එසේ පැමිණෙන තුරු
කලා ලොවේ අවිහිංසකව සැරිසැරූ නිර්ව්‍යාජයාණෙනි, ඔබට සුභ රාත‍්‍රියක්!!!
ඉදින් සුදම් සංගීත සභාවේ සුරදූතයෝ රංචු පිටින් මේ මහ රැයෙහිත් ඔබ සතපවන්නට නැළවිලි ගී ගයත්වා!!!
මේ ගෙවෙන මොහොතේ මීටත් වඩා හොඳ සමුගැනීමක් ඇත්ද?
@අරවින්ද හෙට්ටිආරච්චි