SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසර 75ක් පුරා විදෙස් රටවලින් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගනිමින් මේ වනවිට ඩොලර්  බිලියන 60කට ආසන්න මහා ණය කන්දරාවක හිරවී ඇති  ලංකාවට

ඊයේ යළිත් ජාත්‍යන්තර අරමුදලින් ඩොලර් බිලියන 03ක ණය මුදලක් අනුමත කර ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සට්ටැඹියන් ඒ වෙනුවෙන් ඔල්වරසන් දෙමින් රතිඤ්ඥා පුපුරුවන්නට පෙළැඹීම ගැන අපට නම් පුදුමයක් නැත.

 

මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය මුදල අනුමත කිරීමට ඉදිරිපත් කළ කොන්දේසි 15 ගැන කිසිවෙකුත් ගැඹුරින් කතාබහ නොකරනවා පමණක් නොව ණය වී හෝ ගිතෙල් අනුභව කරන පරිභෝජනවාදී සහ විනාශකාරී සංවර්ධන මායාවේ කිමිදෙමින් රට තව තවත් අගාධයට පත්වීම ගැන තම ප්‍රශංසාවන්ද පුද කරති.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා නව විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධාන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් අනුමත කරද්දී කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිදු  කළ ප්‍රකාශය වූයේ,

“ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසාර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝගවලට මුහුණ දී සිටී. ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරීත්වයක් ඇතිව EFF සහාය දක්වන වැඩසටහන කඩිනම් සහ කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ” යනුවෙනුයි.

 

මෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හෝ වෙනත් පාලන  ආයතන හරහා වැඩසටහන කුමක්දැයි  නිසිලෙස ඉදිරිපත් නොකිරීම කොලේ වසා ගැහීමක්දැයි සැක පහළ කරන්නට තරම්වත් ලංකාවේ වාමාංශික දේශපාලකයන්ට හැකියාවක් නොමැත. එක්කෝ රටවැසියාගේ ඡන්දය ගැනම පමණක්ම හිතා කටයුතු කරන මැතිවරණ දේශපාලනයක කිඳා බැසීම නිසා ඔවුනටත් අවශ්‍ය කෙසේ හෝ බලය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීම විනා රටේ විනාශය නවතාලීමට නොවේ.

 

IMF ණය මන්තරය තුළම සියළුම පාලක පාලිතයෝ පසුගිය කාලය ගෙවා දමන  ලද අතර එමගින් අර්බූධයන් තීව්‍රැ වූ රටවල් හා රාජ්‍යයන් ගැන කිසිදු විමසීමක් සිදු කරන්නෝ ද නොවූහ. මන්ද සියල්ලෝම තබා ඇති එකම විශ්වාසය ණය ලබාගෙන කෙටිකලක් හෝ ජීවත්වීමය. ණය බර තව තවත් වැඩිවීම, තව තවත් ණය ගැනීම මගින් තත්වය පාලනය කළ නොහැකි බව පිලිගන්නට ඔවුන් සූදානම් නැත. බලය ලබාගැනීම  ප්‍රමුඛ සාධකය බවට පත්කරගන්නා දේශපාලනඥයින් සතුව වෙනත් විකල්පයක් හෝ අරමුණක් පවතින්නේද නැත.

 

ප්‍රතිපත්ති පෙළගැසෙන්නේ හුදු අහම්බයකින් ද?

 

ජාත්‍යන්තර අරමුදල වැනි සංවිධාන පිහිටුවා ගැනීමේ ක්‍රමවේදය සහ ඒවා ක්‍රියාත්මක වන්නේ කුමක් අරභයාද යන්න පිළිබඳව ආර්ථික  විශ්ලේෂකයින්ගේ  අදහස වන්නේ  ආර්ථිකය තුළ බිඳ වැටෙන රාජ්‍යයන්ට නැගී සිටීමට උර දීමට පිහිටුවා ගත් ආයතනයක් ලෙස දැකීමයි.

මේ පිළිබඳව ස්පාර්ටකස් සාමූහිකය විසින් ඔවුන් පළකළ ලිපියක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථානගතවීම මෙසේ සඳහන් කර ඇත.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අධ්‍යක්ෂ මණ්ඩලය පත්කොට ගැනීම සඳහා ලෝක ව්‍යාප්ත ඡන්දයක් ගැන යමෙකුට සිතාගත හැකිද? අඩු තරමින් ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලයන් හෝ පත්වන්නේ ඒවා සමග එකතු වී ඇති රාජ්‍යයන්ගේ නියෝජිතයින්ගේ හෝ ඡන්දයකින් නොවේ. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විධිමත්ය යන්න සහ එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම වලට අනුකූල වේ යන්න පවා සාමාන්‍ය ව්‍යාජයක් වන විට IMF වැනි ආයතන වල (IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ WTO වැනි…) එවැනි ආකෘතියක් පවා නොමැත. එනම් එවැනි සංවිධානවල සියලු ධූරයන් තීරණය වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල නොවේ. නමුත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්වන ආණ්ඩු ගනු දෙනු කල යුතුව ඇත්තේ එවැනි ව්‍යුහයක් හෝ නැති ආයතනයක් සමගය. එනම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යන්න ද හුදු විගඩම් සහගත ව්‍යාජයක්ව ඇති තත්වයක් තුල එම විගඩම් සහගතත්වය ඇති රාජ්‍යයන් වෙත තීරණාත්මක මැදිහත් වීම කරන, එනම් එම රාජ්‍යයන් ඔවුනට අවශ්‍ය ආකාරයට හැසිරවීමට නතු කර ගැනීම සිදු කරන IMF වැනි සංවිධාන සතුව පවතින්නේ දැඩි සහ ඍජු අධිකාරීත්ව ව්‍යුහයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ අනීවාර්ය අවශ්‍යතාවයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට අදාළ බහිෂ්කරණයක් පවත්වා ගැනීමයි. එය සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි, එම මූලධර්මයන් උල්ලංඝනය කල හැකි, එම මූලධර්මයන් අදාළ නොවන ව්‍යතිරේකී අධිකාරීත්ව ව්‍යුහයකි.

තත්වය එසේ තිබියදී අද දවසේ ලොව පුරා නිදහස උදෙසා ව්‍යාපාර වල සහ බොහෝ අරගල ධාවනය වන සාමාන්‍ය ව්‍යවහාරය වන්නේ (ප්‍රාදේශීය, කලාපීය සහ ගෝලීය මට්ටම් වලදී) ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති ආශාවයි. මනෝරාජික සිහිනයක් (සමාජවාදය, පරිසරවාදී රාජ්‍යය, ජාතිකවාදය වැනි ලෙස) වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා, ප්‍රජාතන්ත්‍රවාදය යනු “අපේ දවසේ කරදරකාරී ප්‍රශ්නවලට ඇති එකම පිළිතුරය. අපගේ සදාකාලික ගැටුම් සහ යුද්ධයෙන් මිදීමට ඇති එකම මාර්ගය බවට එය පත්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වර්තමාන “ප්‍රතීඝතා” තුළට අභිලේඛිතව ඇත්තේ ඔවුන්ගේ විසඳුම් වල අන්තරස්ථ අවසාන අරමුණක් ලෙසය”

(ප්‍රජාතන්ත්‍රවාදය: (3 කොටස) ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ IMF සහ එවැනි තවත් ආයතන - ස්පාර්ටකස් ලිපි )

ලංකාවේ බලයට පත්වන නායකයින් තම බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඉතිහාසයේ බොහෝ අවස්ථාවල ණය ගන්නට පෙළැඹීම අහම්බයක් නොවේ. එහෙත් ගුරුදා විග්‍රහයෙන් උපුල් ජෝෂප් කියන පරිදි මේ දේශපාලනඥයන්ට ඒ අනුව බලය රැක ගැනීමට හැකිවී තිබේද? නැතිනම් ඔවුන් හැකි කාලයක් බලය රස විඳ රටම උකස්කර අත පිහදා ගත්තෝ නොවේද?  

“ලංකාව පළමු වරට අයි.එම්.එෆ්. සංවිධානයට බැඳුණේ ජේ.ආර්.ගේ මැදිහත් වීමෙනි. 1950දී 50 වැනි සාමාජිකයා ලෙස ජේ.ආර්. අයි.එම්.එෆ්. සාමාජිකත්වය ලංකාවට ලබාගත්තේ මුදල් ඇමැති ලෙසය. ලංකාවට පළමු වරට අයි.එම්.එෆ්. ආධාර ගන්න උපදෙස් දුන්නේත් ජේ.ආර්.ය. ඒ, 1965-70 ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේය. 1977 බලයට ආ ජේ.ආර්.ගේ ආණ්ඩුව මාස තුනක් තුළ ආධාර ඉල්ලා අයි.එම්.එෆ්. ගියේය.

මහින්දට 2015 ගෙදර යන්න සිදුවූයේ 2009 අයි.එම්.එෆ්. ණය ගෙන ඒවා ගෙවන්න 2010 ජනාධිපතිවරණය කලින් තියලා පසුව අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන්න හිටු කියලා බඩු මිල නග්ගපු නිසාය.

චන්ද්‍රිකා 2001 මහ ඡන්දයෙන් කුජීත ලෙස පරාජය වූයේත් අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන්න ගිහිල්ලාය.

2001 බලයට ආ රනිල්ට 2004 ගෙදර යන්න සිද්ධ වූයේත් අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කරන්න ගිහින්ය. අන්තිමේදී රනිල්ට ඉල්ලපු මුළු මුදල අයි.එම්.එෆ්. දුන්නේත් නැත.

2019 රනිල්ට මන්ත්‍රීකමත් නැති වෙන්න එක් හේතුවක් වූයේ අයි.එම්.එෆ්. කියන විදියට මිල සූත්‍ර හදන්න ගිහින්ය. අයි.එම්.එෆ්. කියන විදියට බදු ගහන්න ගිහින්ය.

‘එතකොට අයි.එම්.එෆ්. අරගෙන රනිල් ගොඩ යනවා කියන්නේ කොහොමද…?’”

(ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලණු කන්න එපා! - එස්මන්ඩ් වික්‍රමසිංහ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ලබාගනිමින් අර්බූධයෙන් ගොඩ ආ රටක් තිබේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළම ණයකරුවන් 10 දෙනා ආර්ජන්ටිනාව, ඊජිප්තුව සහ යුක්රේනය තරම් කිසිදු රටක් අරමුදලට ණය වී නැත.

අගෝස්තු මස අවසානයේ දී  පකිස්ථානයට ලබා දුන් ඩොලර් බිලියන 1.1 ක ඇපදීමෙන් පසුව සැප්තැම්බර් 5 වන විට IMF වෙත ගෙවිය යුතු සමස්ත ගෝලීය හිඟ නය ඩොලර් බිලියන 109.2 දක්වා ඉහළ ගොස් ඇති බව IMF දත්ත පෙන්වා දී ඇත.

IMF හි ඉහළම ණය ගැතියන් 10 දෙනා මෙම හිඟ ශේෂයේ ප්‍රධානම කොටස වන අතර එය 72.7% කි.

ආර්ජන්ටිනාව ජාමූඅරමුදල වෙත විශාලතම ණයගැතියා වන අතර, මුළු හිඟ නය ඩොලර් බිලියන 42.2 කි. ඔවුන්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දීර්ඝ හා අර්බූධකාරී සබඳතාවක් පවත්වා ඇති අතර, දිගින් දිගටම ආර්ථිකය කඩාවැටීම්  සහ නැවත ඇපදීමේ ඉතිහාසයක් ඇත. ශතවර්ෂයේ ආරම්භයේ දී, ජාමූඅ ඩොලර් බිලියන 88.3 ක් රටේ බිඳවැටුනු ආර්ථිකයට ඇප ලබා දී ඇත.

Mauricio Macri සමයේ 2018 දී ඩොලර් බිලියන 50 ක්  සඳහා නැවත ඔවුන්   IMF වෙත ගියේය. කෙසේ වෙතත්, ඉක්මනින්ම රට නැවතත් දරුණු අර්බුදයකට ලක් වූ අතර තවත් ඩොලර් බිලියන 44 ක ණයක් සඳහා 2022 දී IMF වෙත ආපසු ගියේය. 

ඩොලර් බිලියන 17.6 ක හිඟ ශේෂයක් සහිත ප්‍රමාණය අනුව ඊජිප්තුව දෙවන විශාලතම ණයගැතියාය. 2011 ඊජිප්තු විප්ලවයෙන් සහ සූවස් ඇළෙන් ලැබෙන ආදායම පහත වැටීමෙන් පසුව එහි ආර්ථිකය පිරිහී ගියේය. මේ අනුව, රජය 2016 දී ඩොලර් බිලියන 12 ක IMF ගනුදෙනුවක් අපේක්ෂා කළේය. ඉන්පසු අරමුදල 2020 දී Covid-19 හි බලපෑම විසඳීම සඳහා ඩොලර් බිලියන 2.72 ක් සහ ඩොලර් බිලියන 5.2 ක තවදුරටත් ණය අනුමත කළේය. 

යුක්රේනය ජාමූඅරමුදලෙ හි විශාලතම ණයගැතියන් අතර ඩොලර් බිලියන 9.37 ක සම්පූර්ණ ණයක් සහිතව සිටී. යුක්රේන රජය ප්‍රථමයෙන් 1998 දී ඩොලර් බිලියන 2.2 ක IMF ණයක් ලබාගත් අතර, පසුව 2010 දී IMF තවත් ඩොලර් බිලියන 15.15 ක් යුක්රේනයට ණයට දීමට එකඟ වූ නමුත් ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් නොමැතිකම මධ්‍යයේ 2011 දී ගනුදෙනුව අත්හිටුවන ලද බව IMF 2012 දී ප්‍රකාශ  කළේය  . යුක්රේනය ආක්‍රමණයත් සමග 2022 මාර්තු මාසයේදී IMF විසින් යුක්රේනයට ඩොලර් බිලියන 1.4 ක ණයක් ලබා දුන්නේය. 

පකිස්තානය IMF හි සිව්වන විශාලතම ණයගැතියා වන අතර මුළු හිඟ නය ඩොලර් බිලියන 7.85 කි. 

ලතින් ඇමරිකානු රටවල් දෙකක්, ඉක්වදෝරය සහ කොලොම්බියාව , ඩොලර් බිලියන 7.22 ක් සහ ඩොලර් බිලියන 4.8 ක නොගෙවූ ණය සහිත පස්වන සහ හයවන ස්ථාන වේ. රටවල් දෙකටම IMF සමඟ දිගු ඉතිහාසයක් ඇත. එය පිළිවෙලින් 1960 සහ 50 ගණන් දක්වා දිව යයි. 

එසේම උප-සහාරා අප්‍රිකානු ආර්ථිකයන් හතරක් ඉහළම ණය ගැතියන් 10 දෙනා අතර  ඇත: ඇන්ගෝලා , දකුණු අප්‍රිකාව , නයිජීරියාව සහ කෝට් ඩි අයිවෝර් . 2020 දී Covid-19 වසංගතයට ආමන්ත්‍රණය කිරීම සඳහා හතර දෙනාටම සහාය ලැබුණි. කෙසේ වුවවුවත්  මෙම රටවල් තවමත් උද්ධමනය සහ දැඩි ආර්ථික අර්බූධයන්ට ලක්වෙමින් ණය යළි යළිත් ලබාගනිමින් ණය උගුලේ සිරවී ඇත. (fdiintelligence.com)

මෙවන් පසුබිමක ඊයේ ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා ප්‍රකාශ කරන ලද්දේ ශ‍්‍රී ලංකාව දැන් බංකොලොත් නෑ.. ආනයන සීමා ඉවත් කරනවා යනුවෙනි.

ඩොලර් බිලියන තුනක ණය අනුමත කරගෙන ඩොලර් බිලියන 60කට ආසන්න ණය බරකින් මිරිකී සිටින රටක් රතිඤ්ඥා දැල්වීම හෝ ප්‍රීතිය සැමරීම අප හඳුනාගත යුතු වන්නේ කුමන ආකාරයෙන්ද?

මේ පිළිබඳ පිළිතුරු දිය යුත්තේ ඒ වෙනුවෙන් ප්‍රශස්ති ගී ලියන රජිත කීර්ති තෙන්නකෝන් , දීප්ති කුමාර ගුණරත්න, අජිත් පැරකුම්, චින්තන ධර්මදාස වැන්නවුන්ද? නොඑසේනම් ඊනියා ආර්ථික න්‍යායන් ඉදිරිපත් කරන ආර්ථික විද්‍යඥයින්ද?

 

@සමාරා පරණවිතාන

නවතම ලිපි