මේ දිනවල පළාත්පාලන ඡන්දය පිළිබඳ උණුසුමක් ශ්‍රී ලංකාවේ පැතිර තිබේ.
පසුගිය වසරේ ලංකාවට සංචාරයකට ගිය අවස්ථාවක ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සමග සුහද කතා බහක නිරත වීමට මට අවස්ථාව ලැබුණි . එහිදී මට දැන ගන්නට ලැබුනේ ජවිපෙ සෝවියට් දේශයේ ස්වර්ණමය සමය වශයෙන් සලකන්නේ හැටේ දශකය සහ හැත්තෑවේ දශකයේ මුල් භාගය බවයි. හිටපු නායකයා ඒ කාලයේ එහි ඉගෙන ගැනීම අහම්බයක් දැයි නොදනිමි. මා සෝවියට් දේශයේ සිටියේ 1985 සිට 1991 දක්වාය. ඒ කාලය සෝවියට් දේශය පරිවර්තනය වෙමින් පැවති කාලයයි. ඒ පරිවර්තනය අවසන් වූයේ ඒ මහා රාජ්‍යයේ බිඳ වැටීමෙනි. එදා එම සාකච්ඡාව දිගට ගෙනියන්නට ඔහුට වේලාවක් නොමැති විය.
නමුත් ජාතික ජන බලවේගය ප්‍රවෘත්ති මවන මේ අවස්ථාවේ මට එම සාකච්ඡාවේ ඉතිරි කොටස අවසන් කිරීමට අවශ්‍ය වුනි, ඒ සඳහා සහයෝගය ලබා දුන්නේ පද්මිණි මාතරගේ සොයුරියයි.
මා ඇසූ ප්‍රශ්න කලින් සූදානම් කළ ඒවා නොවන අතර අසන ප්‍රශ්න ගැන මම ඔහුට කලින් දැනුවත් කිරීමක්ද නොකෙළෙමි.
මා ඇසූ එක ප්‍රශ්නයක් වූයේ 2005 දී රාජපක්ෂවරු බලයට ගෙන එම පිළිබඳව පසු තැවෙන්නේ නැත්ද කියාය. යුද්ධයක් නොවී සාමකාමිව විසඳා ගැනීමට හැකියාවක් තිබුණු බව මගේ විශ්වාසය බවද කීවෙමි. ඔහුගේ අදහස ජවිපෙ ඒ කාලයේ පැවති ස්ථාවරයට වඩා වෙනස් එකක් නොවුනි. රට බෙදීම වළක්වා ගැනීමටහැකිවුනු බව ඔහු පැවසුවේය. නමුත් වැරදි සිදුවුණු බවද ඔහු පිලි ගත්තේය. සමහර විට එය මදක් ඉදිරියට යාමක් යැයි සිතමු.
ඊයේ මම ජාතික ජන බලවේගයේ ලන්ඩන් සමුළුවට සහභාගී වුනේ දර්ශන හෙට්ටි ආරච්චි මහතා එවූ පණිවුඩයක් අනුවය. මගේ හිත මිතුරන් කිහිප දෙනෙකුද එහි පැමිණුන බැවින් මම ද නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගී වුනෙමි. සමුළුවේ මුල් හරිය හරියට ලංකාවේ චන්ද රැස්වීමක් මෙන් විය. ලන්ඩනයේ ජිවත්වන යුඇන්පී දේශපාලනය කරමින් පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වූ , උපතිස්ස ගමනායක සමග විශ්ව විද්‍යාලයේ සිටි අයෙකු ජාජබ රජයකට සහය පළ කළේය.
ඉන්පසු පොහොට්ටුවේ දේශපාලනය කල ආරච්චි කට්ටුවේ සනත් නිශාන්ත සමග පළාත් සභාවේ සිට සනත් ගෙන් ඔක්සිජන් ගුටි කෑ අයෙකුද සහය පළ කළේය. සනත් නිශාන්ත ගේ නම සඳහන් කිරීමත් සමග නැගුනු අත් පොළසන්, හු හඬ ආදිය නිසා ඔහු එංගලන්තයේ ඉතා ජනප්‍රිය බව සිතා ගත හැකිවිය.
ප්‍රසන්ජිත් විජේසූරිය කළ කතාවේදී ඔහු සමග විශ්ව විද්‍යාලයේ මෙන්ම කලාලෝකයේ සිට පසුව වෙනත් දේශපාලන ගමනකට පිවිසි (පොහොට්ටු) අයෙකුද පිලි ගත්තේය. ඒ කියන්නේ එලෙස "හැරුණු" බොහෝ දෙනෙකු එහි සිටින බව පෙන්වන්නට සංවිධාකයන් සෑහෙන උත්සහයක් ගත් බවය.
ඒ චන්ද කතා අතර මම දුටුවේ එක්සත් ජාතික පක්ෂයට කාලයකට ඉහත දී සහය පල කල අය මෙන්ම පොහොට්ටු හෝ රාජපක්ෂ වාදීන් යයි මා සිතා සිටි හෝ දැන සිටි කිහිප දෙනෙකුද එහි සිටින බවය. එසේම මම පෙරටුගාමීන් යයි සිතා සිටි බොහෝ දෙනෙකුද එහි විය. සමහරවිට එය හොඳ ප්‍රවණතාවයක් විය හැකිය.
සිංහලෙන් , දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් කතා පැවැත්වීම අගය කරමි. ඒ අතර සිංහල හා ද්‍රවිඩ භාෂා වලින් ගැයුණු ගී කිහිපයක්ද විය.
ආචාර්ය හරිනි අමරසුරියගේ දේශනය මගේ සිත් ගත්තේ ඇය ඉදිරිපත් කල කරුණු නිසාය. එසේම ඇගේ කතාවෙන් බොහෝ විට සිතුනේ ඉදිරියේ දී එන ජාජබ රජයක් බොහෝ විට ටෙක්නොක්‍රටික් එකක් වනු ඇත කියාය. එහි හොඳ හා නරක දෙකම තිබිය හැකිය. නමුත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවාදී මැතිවරණයක් හරහා බලය පත්වීම ගැන විශ්වාස කරයි.
අවසානයට කතා කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පළාත් පාලන මැතිවරණ නොපවත්වා ආණ්ඩුව උද්දච්ඡ ලෙස මහජන සහයෝගයක් නැතිව රජයක් ගෙන යන්නේ නම් එයට විරුද්ධව ක්‍රියා කරන බවයි. බොහෝවිට ජාජබ නායකත්වයෙන් යුතු අරගලයක් විය හැකිය. ඔහු කිවූ වැදගත් කරුණක් වන්නේ විධිමත් රජයක්, දූෂණ කොමිස් නොඉල්ලන දේශපාලකයන් සිටින රජයක් යටතේ ආයෝජකයන් නැවත එනු ඇත කියාය. ඔහු උදාහරණයකට ගත්තේ වියට්නාමයයි. ඒ අදහසට මට එකඟ විය හැකිය.
ඉංග්‍රීසි භාෂාවේ rabble-rousing කියා යෙදුමක් තිබේ. ඒ දේශපාලනඥයෙකු ජනතාව ඇවිස්සෙන ලෙස කතා කිරීමක් හැඳින්වීමටය . අවසාන කතාව නලින්දට දුන්නේ ඒ නිසා විය හැකිය,. ඔහු ඉතා ශුර ලෙස කතාව අවසන් කලේ බොහෝ ආධාරකරුවන් පුටුවෙන් නැගිට්ටවා ජාජබ ට ජයවේවා ලෙස කල ප්‍රීති ඝෝෂා කිරීම් මධ්‍යයේය.
එහි සිටි පිරිසේ විවිධත්වය නිසා මෙන්ම ලංකාවේ සිට ලැබෙන ආරංචි අනුවද පළාත් පාලන මැතිවරණයකදී ජාතික ජන බලවේගයට සජබට හෝ පොහොට්ටුවට වඩා චන්ද ගත හැකි බවක් පෙනී යයි. (මේ අනාවැකිය බිමේ තත්වයන් අනුව ඉදිරියේදී වෙනස් විය හැකිය.)
@අජිත් ධර්මකීර්ති
උපුටාගැනීම - kolambagamaya.blogspot.com
වීඩියෝව සඳහා සම්බන්ධීකරණය කළ පද්මිණි මාතරගේ ට ස්තූතියි.
පසු සටහන: මේ ලිපිය ගිය වසරේ අප අතරින් වෙන්ව ගිය මගේ ආදරණිය මිතුරියක වූ විපුලි පලිහක්කාර වෙනුවෙනි. ඇය හැම විටම චෝදනා කළේ
"අජිත්, ඔයා ජවිපෙ ගැන මුකුත් ලියන්නේ නැහැ. ලිව්වොත් විවේචනයක් මයි." කියාය.
එසේ නොවන බව කියා ජවිපෙ ගැන ලියූ ලිපියක් යොමු කලෙමි. එයට ඇය චෝදනා කළේ
"මේකේ, හොඳක් කියල පේන්න වත් නැහැනේ කියාය."
ඔන්න විපුලී පමාවී හෝ මම ලිපියක් ලියා පමණක් නොව, සමුළුවකටත් සහභාගී වී ඔයාගේ සහ පද්මිණි ගේ ටිල්වින් අයියා සමග සාකච්චාවක් යූ බටයේ ද දැමුවෙමි.