කවුරු කොහොම කිව්වත් කලාව කියලා කියන්නේ එකම විදිහෙ වාහන යන - එකම විදිහෙ වංගු තියෙන - එකම විදිහේ මාර්ග සලකුණු තියෙන අමුතුම විදිහෙ පාරක් නෙවෙයි.
කලාව ගොඩක් වෙලාවට පිටකොටුව වගේ. සීටීබී බස්, ප්‍රයිවට් බස්, කාර්, වෑන්, ලොරි, මෝට සයිකල්, අත් කරත්ත, ටිපර් වාගේම කන්ටේනරුත් යනවා.
ප්‍රබුද්ධ, පීචං කියලා කොටු ගහලා - ගොටු ගහලා - අටු හදලා - පුටු කඩපු කලාව ගැන පිටු ගණන් විදග්ධ - විචාර - ආචාර - සමාචාර ලියැවෙන කාලෙක, අනෙක් පැත්තෙන් කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව ගැන කතා කළ යුතු අය ජාතිය, ආගම ඇදගෙන දිය උඩින් ගින්දර ගෙනියන කාලෙක, සාමයෙ සලකුණ වෙච්ච පරවියාව හදන්නෙත් ගහ ගනිමින්, බැණ ගනිමින් කියලා කිව්ව නිහාල් අපට හලාල්.
ඔව් අපි මේ කතා කරන්න යන්නේ නිහාල් නෙල්සන් කියන අපූරු ගායකයා ගැන. නිකම්ම නිකං වචන ටිකක් ගළපගෙන පේළි දෙකක් ගයන්න පුළුවන් අය මයික් එක බදාගෙන ඉන්න මේ කාලේ නිහාල් නෙල්සන් කියලා කියන්නෙ කවුරුත් නොදන්නවා වුණාට සප්ත ස්වරයෙ හතර මායිම අඳුරගෙන ගායකයෙක්, තනු නිර්මාපකයෙක්, සංගීතඥයෙක් හැටියටත් අප්‍රසිද්ධියේ වැඩ කරපු, ප්‍රසිද්ධිය පස්සෙ නොගියපු, අහන් ඉන්න පුළුවන් සින්දු කියපු අපේ කාලයේ මනුස්සයෙක් නිසා අපි ඔහු ගැන ලියනවා.
එක්දාස් නවසිය හැටතුනේ මාර්තු මාසෙ තිස් එක් වැනිදා පෙරවරු එකොළහයි විස්සට ගුවන් විදුලියෙ සිංහල සේවයෙ ගීතයක් ප්‍රචාරය වෙනවා. වැඩසටහන ඉදිරිපත් කළේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය ගැන කතා කරද්දි මඟ හැරලා යන්න කොහෙත්ම බැරි අතිදක්ෂයෙක් වෙච්ච කරුණාරත්න අබේසේකර. මේ කියන ගීතය සංගීතවත් කළේ ආර්. ඒ. චන්ද්‍රසේන. ලිව්වේ (අද) මීගහවෙල සුමනශාන්ත හැටියට පැවිදි වෙලා ඉන්න (එදා) සරත් මුණසිංහ කියන ගීත රචකයා.
අදටත් කොයි පරම්පරාවේ කොයි සාදෙක දි වුණත් කොයි කවුරුත් එකතු වෙලා - මිතුරු වෙලා - සතුටු වෙලා ගායනා කරන; "ලස්සනට පිපුණු වනමල් ගල් පීරන දියවැල්, මං ආස කරන මැණික් කැටේ නිල්" කියාගෙන කූඩුවේ දොර ඇරගෙන සංගීත අඹරෙ පියාඹන්න පටන් ගත්ත මේ කුරුල්ලව එක එක ජාතියේ කූඩුවල දාලා - කොටු කරලා - ගහලා - වහලා පැත්තකින් තියන්න හුඟක් කට්ටිය උත්සාහ කළත් මඟක් නැති වුණේ එයාලටම මිසක් නිහාල් නෙල්සන්ට නෙවෙයි.
කනක් ගාව අඟක් ඇවිත් හුඟක් අය ප්‍රශ්න හදා ගත්තට ඉමක් කොනක් නැති සංගීත සාගරේ ගොඩක් තැන්වල කරක් ගහපු නිහාල්, පහක් දහයක් පහළොවක් විස්සක් නෙවෙයි තුන්සිය හැටපහේ ඔරිජිනල් අවුරුදුවලින් පනහක්ම සින්දු කිව්වා කියලා ඉතිහාසගත වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න මේ වගේ සටහනක් ලියන්න ලැබීම අපෙත් වාසනාවක්.
එක පාරක්, ටෙලිවිෂන් වැඩසටහනක නිවේදකයෙක් අමරදේව මාස්ටර්ගෙන් අහනවා "අද බොහෝ ගීත භාෂාව විකෘති කරලා ගැයෙනවා නේද" වගේ ප්‍රශ්නයක්. බලාගෙන ඉන්න අයට තේරෙනවා එයා මොන වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා. හැබැයි අමරදේව මාස්ටර් එයාගෙ අතට සාම්ප්‍රදායික කැච් එක නොදී මොඩර්න් සික්සර් එකක් වැටට උඩින් යන්න ගහනවා මෙන්න මෙහෙම. "මෙහෙමයි, වියත් වහර - ජන වහර - පුර වහර කියලා තුනක් භාවිත වෙනවනේ. එක් එක්කෙනා ගයන්නෙ එක් එක් වහරින්. ඒ හැම එකක්ම එකතු වෙලා තමයි ගීත සාහිත්‍යය හැදෙන්නේ" අන්න ඒ කියපු පුර වහර පාවිච්චි කරලා මනහර - සුන්දර - පලබර පද පිළිවෙළින් ගින්දර වගේ සින්දු කියපු ගායකයා නිහාල් නෙල්සන් කියලා අපි කිව්වොත් කවුරු මොනවා කියන්ඩද?
හේමසිරි හල්පිට, එයාගෙ ගීත රචනා ජීවිතේට උපත දෙන්නේ නිහාල් නෙල්සන්ගෙ ළඟ ඉඳන් ලියපු ලාල් තේනබදු සංගීතවත් කරපු 'ගුණෙ අයියගෙ කාමරේ' හෙවත් 'සොමියට වරෙන් පුතා අගුල දාල නෑ දොරේ' ගීතයෙන්. මනුෂ්‍යත්වය ගැන හතර වටෙන් දුක හිතෙන කතා ඇහෙද්දි අපට හිතෙනවා; මොන තරම් කල්ලකඩත්ත දිවි පෙවෙතක් ගත කරත් ගුණෙ අයියා ඇත්තටම ගුණ යහපත් මිනිහෙක් නේද කියලා. ප්‍රතිපත්ති රැක්කොත් විපත්ති සිද්ධ වෙයි කියලා ගොඩක් අය හිතද්දි ගුණෙ අයියට ප්‍රතිපත්තියක් තිබ්බා.
... කොත නම් කොත කුරුසවලට මගෙ ළඟ ඉඩ නැත කොයි කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත - බ්ලේඩ්වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත...
නිහාල් නෙල්සනුත් එහෙමයි. කොත නම් කොත. කුරුස නම් කුරුස. අතට සින්දුව ලියපු කොළේ ආවම කොළේ තියෙන දේ ඇලේට නොකිය, කොළේ තියෙන දේ තමන්ට ගැළපෙන විදිහට නිලේ බලල වෙනස් කරලා කියපු, කියන්න බැරි නම් කෝටියක් දුන්නත් "සොරි මචං, ඔය විදිහට නම් කියන්න බෑ..." කියලා කෙළින් කියපු ගායකයෙක් තමයි නිහාල්.
ඔහුට තිබුණෙ සමාජය දිහා බලන්න ඔහුගෙම දෘෂ්ටි කෝණයක්. සමාජයේ තැන නොතැන නැතුව පවතින රොඩු - බොඩු අඩු - පාඩුවලට අඬවන්නෙ නැතුව රිදවන්න පුළුවන් විදිහෙ සින්දු තමයි ඔහු හැමදාම තෝර ගන්නේ. ... උඩ කරණම් බිම කරණම් ගහන පරෙවියා වැඩිහිටියන් පොඩි ළමයින් කරන පරෙවියා ගහ ගනිමින් බැණ ගනිමින් හදන පරෙවියා සාමයෙ සලකුණලු පරෙවියා.... කියලා සාමයෙ සලකුණ ගැන වෙනස් අදහසක් කියන ඔහු චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ පද රචනාව ඔස්සේ තමන්ම සංගීතවත් කරපු 'සල්ලි මිටි ගණන්' සින්දුවෙන් මෙහෙමත් කියනවා.
...ඉල්ලුවෙ කලාබර හත කරුමෙට පෙරළුණේ නැත - ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඉල්ලුවා පොරව හාරත නියමෙට පෙරළිලා ඇත - සන්තෝෂයි දිනාපු පැත්ත
දන්නව ගේමෙ වතගොත හරියට ජෙමා හිතවත - කවදාවත් පැරදිලා නැත
බූරුවා කුට්ටමේ පොත තෝමට පරාජය නැත - ගහන එවුන්ටයි හතේ හත...
නව ලිබරල් ධනවාදෙ ආර්ථීකේ කියන්නෙ සූදුවක්. ධනපති පන්තියෙ ජෙමාලා තෝම එකතු කරගත්තම පීඩිත පන්තියෙ අපි ෆුල් සුද්දයි කියන බරපතළ දේශපාලන යථාර්ථය මේ ගීතයෙන් ප්‍රකාශ වෙනවා කියලා අපි කිව්වොත් 'විදග්ධ' විචාරක මහත්වරුන්ට තරහ යයිද මන්ද?
අද රාවතාවත්ත රෝමානු කතෝලික පර්ෂද විද්‍යාලය කියලා හඳුන්වන - එදා නිර්දෝෂ මරියා පාඨශාලාව කියලා හඳුන්වපු ඉස්කෝලෙ පොඩි කොල්ලෙක් මඟුල් ගෙදරක සින්දු කියනවා දැකපු ඒ.ජේ. කරීම් ගායන ශිල්පියා, ඒ පොඩි කොල්ලව ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ට හඳුන්වා දෙද්දි; "කවදා හරි දවසක මේ කොල්ලා කැසට්පට එකසිය දොළහක් ගහන ගායකයෙක් වෙයි" කියලා හිතුවද නැද්ද අපි දන්නෙ නැහැ. කොහොම වුණත් ඒ සින්දු කන්දරාව මැද්දෙ තියෙන, කොලින්ස් අලුත්ගේ ලියපු 'කරුණා සුවඳ තවරාලූ' පද පෙළෙන් තමන්ම සංගීතවත් කරලා ගයපු ගීතය විසින් නිහාල් නෙල්සන්ව කොච්චර වටිනා ගායකයෙක් බවට පත් කරනු ලබනවාද කියලා හිතා ගන්න එක එච්චර අමාරුත් නැහැ.
ගුවන් විදුලියෙන් සිනමා තිරයටත් හඬ දුන්නු නිහාල් නෙල්සන් පුංචි තිරයට ආවේ නැති එක නම් ඔහුගෙයි අපෙයි හැමෝගෙම වාසනාවක් කියලා නොලිව්වොත් වැරැද්දක් වෙනවා.
මාතෘකාවෙන් කියපු විදිහටම මේ ලිව්වේ පැත්තකින් තියපු මිනිහෙක් ගැන ඇත්තකින් දශමෙකින් පංගුවක් විතරයි. එක එක ජාතියෙ ගුරු කුල - කුලක - ආකෘතිවල ඉඳන් තමන්ගෙ කොටුවෙන් පිට ඉන්න එකාට කැපිල්ල දාන කොයි කාටත් අපට කියන්න තියෙන්නේ අවුරුදු පනහක් තිස්සේ කොන්ද කෙළින් තියන් සින්දු කියන නිහාල් නෙල්සන් නමැති අසාමාන්‍ය ගායකයාගේ මුවින් ගැයෙන මේ වචනම තමයි.......
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත !
@| විමල් කැටිපෙආරච්චි | ජනරළ- 2013.03.09 |