රසික ජයකොඩි මාධ්‍යවේදියෙක්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හිස් මුදුනින් පිලිගන්නා ලිබරල්වාදියෙක්.
එහෙව් රසිකට දැන් ඉතිං රනිල්ගේ ලිබරල් රටාවෙ මොකක්ද තියෙන ප්‍රශ්නය? මේ ඔහු විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට ලැබුනු ඩොලර් බිලියන 2.9 ගැන ගෙනෙන අදහස. IMF අපි වගේ රටවලින් බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ සංවර්ධනය ගැන රසිකට තියෙන්නෙ මහ ඉහළ බලාපොරොත්තුවක් කියලනම් පේනව. ඒව ඉෂ්ට නොකරපු ලංකාව ගැන ලොකු විවේචනයක් තියෙන රසිකට මග හැරෙන දේ තමයි IMF එක මැදිහත්වුනු ලෝකෙ මොනම රටක්වත් ගොඩගිහින් තියෙනවද කියන එක - ladyleader.lk
පහත පලවෙන්නේ රසිකගෙ කියවීමයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්‍ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් (staff level agreement) ඇති කරගත් බව ඊයේ නිවේදනය කෙරුණා.
ඒ අනුව මාස 48ක කාලයක් තුළ ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.9ක් ලබාදීමට මූලික එකඟතාවක් තිබෙනවා.
මේ වසරේ දී සියයට 8.7කින් හැකිළෙන්නට නියමිත ලංකාවේ ආර්ථිකයට මේ අර්බුදයෙන් ගොඩඑන්න අල්ලා ගත හැකි අන්තිම පිදුරු ගහ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයයි.
නමුත් අප අමතක නොකළ යුතු කාරණය වන්නේ මේ වන විට ලංකාව 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඇති බවයි. අප මේ අගාධයේ වැටී තිබෙන්නේ 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය පසුවයි.
මෙයින් පෙනෙන එක ම දෙය ලංකාවේ ආර්ථික කළමනාකරණය සිදු කළ ආකාරය ගැන රටක් ලෙස අප කොපමණ ලැජ්ජා විය යුතු ද යන්නයි.
1997-98 කාලයේ තායිලන්තය ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල විශාල ආර්ථික අර්බුදයක් ඇති වුණා.
එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තායිලන්තයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තරමක් විශාල පැකේජයක් ලැබුණා. ඒ සමග තායිලන්තය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළා.
ඉන්පසු තායිලන්තයට නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න අවශ්‍ය වුණේ නැහැ.
ඉන්දියාව 1991 දී ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.
ඉන්දියාව ඒ අර්බුදය ජයගත්තේ ආචාර්‍ය මන්මෝහන් සිං ගේ නායකත්වයෙන් ආර්ථිකය ලිබරල්කරණය කොට ප්‍රතිසංස්කරණය කිරීමෙනුයි. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව ඇමෙරිකන් ඩොලර් බිලියන 2.2ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලුම් කළා.
එහෙත් අර්බුදයෙන් ගොඩ ආ පසු නැවත නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණය ගන්නට ඉන්දියාවට අවශ්‍ය වුණේ නැහැ.
ලංකාව මෙන් විශාල වාර ගණනක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් උදව් අරගෙන ඇත්තේ බොහෝ විට අප්‍රිකානු මහද්වීපයේ අසමත් රාජ්‍යයන් යැයි හැඳින්වෙන රටවල් පමණයි.
මෙයින් වක්‍රව කියැවෙන එක ම දෙය ලංකාව කොතරම් විභවයන් පවතින රටක් වුවත් මේ රටේ ආර්ථිකය හැසිරවී ඇත්තේ අප්‍රිකානු මහද්වීපයේ අසමත් රටක ආර්ථිකය හසුරුවන අන්දමට ම පමණක් බවයි.
ඒ කියන්නේ අප නිතරම උත්සාහ කොට ඇත්තේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන බව කියා ලෝකයෙන් ණය ලබාගෙන ඉන්පසු එම ප්‍රතිසංස්කරණ සිදු නොකර ලෝකය රැවටීමටයි. එහෙත් අවසානයේ බැලූ විට රැවටී ඇත්තේ ලෝකය නොව අපමයි.
රාෂ්ට්‍ර පාලනය වෙනුවට සිල්ලර දේශපාලනය පමණක් කළ යූ. ඇන්. පී/ ශ්‍රී ලංකා ආණ්ඩු, අවස්ථාවාදී දේශපාලන පක්ෂ, වාමාංශික කල්ලි සහ වෘත්තීය සමිති, බේගල් කියමින් සමාජය නොමග යැවූ වාමාංශික සහ ජාතිකවාදී පණ්ඩිතයන් එම ප්‍රතිසංස්කරණ සිදුනොකිරීමට වගකිව යුතුයි.
මෙවරත් අප යල් පැන ගිය වාමාංශික සහ ජාතිකවාදී සටන් පාඨ ඉස්සරහට දමාගෙන ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම මග හරවාගත්තොත් අපේ රට නැවතත් දශක ගණනකට ගොඩඑන්නට බැරි අගාධයකට තල්ලු වෙනවා.
අපේ රටේ දේශපාලන විඥානයක් නැති නොමේරූ ළදරුවන් සිතාගෙන ඉන්න එක දෙයක් වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහය දීම යනු ආණ්ඩුවකට සහය දීමක් බවයි. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධ වීමේ එක් කොටසක් යැයි සිතාගෙන ඔවුන් ප්‍රතිසංස්කරණවලටත් විරුද්ධ වෙනවා.
එය හරියට ම මූණත් එක්ක තරහ වී නහය කපාගන්නවා වැනි දෙයක්.
අපේ රට මේ අගාධයට වැටෙන්න එක හේතුවක් වුණේ දේශපාලන සාක්ෂරතාවේ ඇති මේ බරපතළ අවුලයි. මෙය කෝවේ දමා මකවාවත් හදන්නට පුළුවන් එකක් ලෙස මට පෙනෙන්නේ නැහැ.
ආර්ථික ප්‍රතිසංස්කරණ කියන්නේ එක ආණ්ඩුවකට පමණක් අයිති කරගත හැකි ඒවා නෙවෙයි. කුමන ආණ්ඩුවක් ආවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට යා යුතුයි. උදාහරණයක් විදියට ඉන්දියාවේ මන්මෝහන් සිං ගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෝදි ඇවිත් කණපිට පෙරළන්නේ නැහැ. මොන පක්ෂයක් බලයට ආවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට යනවා.
ඒ නිසා ජවිපෙ, පෙරටුගාමී වැනි එලොව විකාරයෙන් මෙලොව අතගාන අන්ත පසුගාමී, යල්පැන ගිය වාමාංශික පක්ෂවලට සහ වීරවංශ - වාසුදේව වැනි අන්ත අවස්ථාවාදීන්ට හැර ලංකාවේ බලයට එන ඕනෑම දේශපාලන පෙරමුණකට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකියි.
ලංකාවට තියෙන ප්‍රශ්නය බහුතරයක් මිනිසුන්ට මේ සරල යථාර්ථය තේරුම් ගන්නට හැකියාවක් නොතිබීමයි. මේ නිසා ඔවුන් තමනුත් විශාල අගාධයක හිර වී අනෙක් අයත් ඒ අගාධයට තල්ලු කරනවා. යමක් කමක් කරගන්නට පුළුවන් වෘත්තීය සුදුසුකම් සපිරූ පිරිස වේගයෙන් රට හැරයමින් සිටිනවා. ඉතිරි සියලු ම දෙනා එම අගාධයේ සිරවී, සිල්ලර දේශපාලනයෙන් අන්ධ වී එකිනෙකා සමග කුලල් කා ගනිමින් සිටිනවා.
@ රසික ජයකොඩි
02 - 09 - 2022