වසන්ත මුදලිගේටත් වඩා විශ්ව විද්‍යාලවල බලය පතුරුවාගෙන සිටි මුහන්දිරම් කෙනෙක් සිටියේය.
විධායක ජනාධිපතිට පවා බය නොවූ රජයේ විධායක නිලධාරීහු මේ මුහන්දිරම් දැක සැලියුට් ගැසූහ. මේ මුහන්දිරම් ඉදිරියේ දණින් වැටුණහ.
නිදහසින් පසු මුදලි මුහන්දිරම් පට්ටම් අහෝසි වූ නමුත් මේ මුහන්දිරම්ගේ බලය නම් දිගින් දිගටම වැඩිවිය. මේ වැඩිවීම කොතරම් ද යත් සාමාන්‍යයෙන් යටත් විජිත යුගයේදීවත් මුදලි මුහන්දිරම්ලාට තැනක් නොවූ විශ්ව විද්‍යාල තුල පවා බලය තහවුරුකරගැනීමට මේ මුහන්දිරම් තුමා සමත් විය. ඒ අනුව මේ මුහන්දිරම් තුමා යුගයේ මුහන්දිරම්ය.
වසන්ත මුදලිගේ මහතාට ඇති වැදි ඥාතිත්වයක් ගැන ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යයන්හි තොරතුරු දැක්වේ. එසේම මේ මුහන්දිරම්තුමාට ද යම් ආකාරයක වැදි ජනතාවගේ නැතිනම් වැදි තන්ත්‍රයේ ඥාතීත්වයක් තිබෙන බව කිව හැකිය. මුහන්දිරම්ට අසහාය ආධිපත්‍යයක් ලැබුණේ වැදි තන්ත්‍රය වෙතින් ලැබුණු වරම නිසා බව කිව හැකිය.
වැඩවසම් යුගයෙන් පසු ධනවාදී යුගය තුළ ද හැත්තෑවේ සමාජවාදී යුගය තුළ ද විවෘත ආර්ථිකය හා නව ලිබරල්වාදී යුගය තුළ ද අද ඩිජිටල් යුගය තුළ ද මේ මුහන්දිරම්තුමාගේ බලය එසේමය.
නිදහසින් පසුව අනිකුත් මුදලිමුහන්දිරම්ලා මිලින වී යද්දී හැටේ දශකයේ දී ජාත්‍යන්තරයට ද තම බලය ව්‍යාප්ත කිරීමට මේ මුහන්දිරම් සමත් විය. කොළඹින් පිට නවදිල්ලිය දක්වා ද මුහන්දිරම්ගේ බලය පැතිර ගොස් ඉන් පසු ජාත්‍යන්තරයට ද පැතිර ගියේය.
මේ මුහන්දිරම් තුමා සයිමන්ගේ වඩාත් නිවැරදිව කිව්වොත් සවිමන්ගේ සීයාය. කුසුමලතා හෙවත් කුසුම් අනාථ කළේ මේ මුහන්දිරම්ය. ඉතා ධනවත් රපියෙල් මුදලාලිටත් මේ මුහන්දිරම්ට ඉහළින් යාමට නොහැකි විය. වරදත්තටද මුහන්දිරම් හමුවේ හිස එසවිය නොහැකි විය. ජයපාල හා සුගත් ද මුහන්දිරම් හමුවේ අඩුපඩු හකුලා ගත්හ. ජයතිස්සලා ද මුහන්දිරම් හමුවේ පරාජය විය.
පරිණාමවාදයේ පියා වශයෙන් ඩාල්ස් ඩාවින්ට ද ගුරුත්වාකර්ෂණයේ පියා වශයෙන් අයිසැක් නිව්ටන්ට ද එංගලන්තයේ ඇති බලයට ද වඩා බලයක් යථාර්ථවාදයේ පියා වශයෙන් මේ මුහන්දිරම්වරයාට ලංකාවේ ඇති බව කිව හැකිය. අන්ධ භක්තිය තරණය කර සිදුහත් කුමාරයා ද යථාර්ථවාදයට කොටුකිරීමේ උත්සාහයක් හැත්තෑව දශකයේ දී ක්‍රියාත්මක වූයේ ඒ අනුව විය හැකිය.
ජෝතිපාල නම් කැම්පස් යාම තබා අටවත් පාස් නැති ජෝති නම් ගායකයා පීචං කිරීම පිටුපස ද මේ මුහන්දිරම්වරයාගේ බලය හා අනුහස තිබුණ බව කිව හැකිය. වැඩවසම් ක්‍රමය අභාවයට ගිය බව කියන නමුදු කලාව තුළ වැඩවසම් ක්‍රමයක් ස්ථාපිත කිරීමට ද මුහන්දිරම්තුමාට හැකිවිය. ඒ රදළයන් හා ප්‍රවේණිදාසයන් වශයෙන් නොව ප්‍රබුන්ධයන් හා පීචං රසිකයන් වශයෙනි. ප්‍රබුද්ධයන් තුළ රදළයන්ටත් වඩා මානයක් ස්ථාපිත වී ඇත්තේ මේ මුහන්දිරම්තුමාගේ අනුහසින් විය හැකිය.
මුහන්දිරම් හොදින් තම බලය ස්ථාපිත කරගත් පසුව ඉන් කොටසක් ජපන් යුවතියකට පැවසීමට තරම් ද මුහන්දිරම් තුමා කාරුණික විය. කුසුම්ගේ සුවදට සකුරා මල් සුවදට යටපත් වූයේ එලෙසිනි.
මුහන්දිරම්තුමාගේ මී මුණුපුරා ද 1983 දී කරළියට නොව රිදීතිරයට ආවේය. ඒ චරිතයට ආරූඪ වීමට කමල්ට අවස්ථාව නොලැබිණි. ඒ අවස්ථාවේ මී මුණුපුරාගේ පියා ලෙසින් රගපෑවේ මුහන්දිරම්ගේ බෑනා බව ද සදහන් කළ යුතුය. මුහන්දිරම් සතු බලය එතරම් ය.
මේ කඩුවෙල වසන්තද නොවේ. මරදානේ චොප්පේ ද නොවේ.අග්ගොන චන්දරේ ද නොවේ. පොළොන්නරුවේ පොඩි විජේ ද නොවේ. මරදන්කඩවල යකඩයා ද නොවේ. බැද්දගානේ සංජීව ද නොවේ. නාවල නිහාල් ද නොවේ. මොරටු සමන් ද නොවේ. මාකඳුරේ මධූෂ් ද නොවේ. රණාලේ සමයං ද නොවේ. අංගොඩ ලොක්කා ද නොවේ. කයිසාරුවත්තේ මුහන්දිරම්ය.