SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ජපානයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී අභිරහස් ලෙස මියගිය 22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු වන විචක්ෂණ සුපසන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මව වන දර්ශි හෙන්දාවිතාරණගේ 'බීබීසී සිංහල' සේවය සමග සංවේදී කරුණු රැසක් අනාවරණය කර ඇත. ඇය චෝදනා කරන්නේ තම දරුවා පොලිස් ස්ථානය තුළදී දැඩි ලෙස නොසලකා හැරීම්වලට ලක්ව ඇති බවත්, එය අමු අමුවේ සිදුකළ ඝාතනයක් බවත් ය.

 

 

සිද්ධියේ පසුබිම

විචක්ෂණ සුපසන්, 2023 වසරේදී ජපානයට ගොස් ඇත්තේ කාර්මික පාඨමාලාවක් හැදෑරීමේ අරමුණෙනි. කෙසේ වෙතත්, සොරකමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට සැකපිට පසුගිය පෙබරවාරි මාසයේදී ඔහුව ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එතැන් සිට මාස තුනක පමණ දීර්ඝ කාලයක් ඔහුව රඳවා තබාගෙන ඇත්තේ ජපානයේ ඉබරාකි ප්‍රාන්තයට අයත් ට්සුචියුරා (Tsuchiura) නගරයේ පිහිටි පොලිස් ස්ථානයේ රැඳවුම් කුටියක් තුළ ය. එහිදී, පසුගිය මැයි 19 වන දින ඔහු එම රැඳවුම් කුටිය තුළදීම මියගොස් ඇති බවට වාර්තා විය.

 

වීඩියෝවේ දැක්වෙන සංවේදී අනාවරණය සහ අමානුෂික සැලකීම් බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා වීඩියෝව හරහා මව කඳුළු සලමින් තම පුත්‍රයාට අත්විඳින්නට වූ අමානුෂික හිංසනයන් පිළිබඳව විස්තර කළාය. ට්සුචියුරා පොලිස් ස්ථානය තුළදී සිය පුත්‍රයා කොතරම් අසරණ වූවාද යන්න ඇය විස්තර කළේ විචක්ෂණ විසින් සිය නැගණියට දුරකථනයෙන් පවසන ලදැයි කියන තොරතුරු ද සමඟිනි.

 

"වතුර ඉල්ලුවාම නිලධාරීන් වතුර එකක් ගෙනැල්ලා එයාගේ ඉස්සරහාම ඒක බිමට හළනවා කිව්වලු නංගිට. වතුර බොන්න දෙන්නේ නැහැ කියලා එයා කියලා තියෙනවා,"

යනුවෙන් මව දැඩි වේදනාවෙන් යුතුව ප්‍රකාශ කළාය.

 

එමෙන්ම දැඩි අසනීප තත්ත්වයෙන් සහ අසරණව සිටි විචක්ෂණ සිය ජීවිතය බේරාගැනීම වෙනුවෙන් අයැද ඇති ආකාරය ද එම වීඩියෝවෙන් මව තවදුරටත් අනාවරණය කරයි.

 

"මට හරි අමාරුයි, ලෝයර්ට කියන්න මාව බේරගන්න"

යනුවෙන් ඔහු නැගණියට පවසා තිබුණේ ජපාන පොලිස් අත්අඩංගුව තුළ ඔහු අත්විඳි පීඩාවේ තරම කියාපාමිනි.

 

 

ජපානය වැනි සංවර්ධිත රටක නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් තුළදී මූලික මානව අයිතිවාසිකම් පවා උල්ලංඝනය වෙමින්, ජල පොදක් හෝ නොමැතිව මෙවැනි ඛේදනීය ඉරණමකට ශ්‍රී ලාංකික තරුණයෙකුට මුහුණ දීමට සිදුවීම පිළිබඳව මේ වනවිට බොහෝ දෙනාගේ කම්පනයට සහ දැඩි අවධානයට යොමුවී තිබේ.

 

පෙර පුවත් සබැඳි-

https://slleader.lk/life-style/13920-the-dark-side-of-a-developed-democracy-the-mysterious-death-of-a-sri-lankan-student-in-japanese-police-custody

 

 https://slleader.lk/news/13919-2026-05-27-08-25-23

 

නවතම ලිපි