SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

80 දශකයේ අගභාගයේ ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙයින් සහ කඳුළින් තෙත් කළ අඳුරු මතකයක් යළි අවදි කරමින්,

ප්‍රවීණ ගවේෂණාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත "දයා පතිරණ ඝාතනයේ නොදුටු පැත්ත" ග්‍රන්ථය පසුගියදා ජනගත විය. එදා ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයාව සිටි දයා පතිරණගේ අභිරහස් ඝාතනය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් මෙම කෘතිය හරහා සමාජගත කර ඇත.

 

 

කෙසේ වෙතත්, ග්‍රන්ථයේ අන්තර්ගතයටත් වඩා එදින උත්සව සභාවේදී මතු වූ දේශපාලන සංවාදය අද දවසේ ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය කියවා ගැනීමට මහඟු පිටුවහලක් සපයයි. විශේෂයෙන්ම ගෙවිඳු කුමාරතුංග කළ ප්‍රකාශය සහ එදා දයා පතිරණ සමග ස්වාධීන ශිෂ්‍ය සංගමයේ (ප්‍රා සංවිධානයට සම්බන්ධ) සිටි නිර්මාල් රංජිත් දේවසිරිගේ ප්‍රතිචාරය තුළ ගැබ්ව ඇත්තේ මෙරට දේශපාලනයේ ඇති 'දෘෂ්ටිවාදාත්මක අස්ථාවරත්වයයි'.

 

 

 

මේ නිසා එදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී මතු වූ ඒ සංවාදය, ලාංකේය දේශපාලනයේ 'දෘෂ්ටිවාදාත්මක පරස්පරයන්' පිළිබඳ මනා කැඩපතකි.

 

 

 

සීසර්ගේ ඝාතනය සහ සත්‍යය දෙවරක් මැරීම

 

ගෙවිඳු කුමාරතුංග තම දේශනයේදී ජුලියස් සීසර්ගේ ඝාතනය සහ ඒ වටා ගෙතුණු දේශපාලන ප්‍රෝඩාවන් සිහිපත් කළේය. ෂේක්ස්පියර්ගේ 'ජුලියස් සීසර්' නාට්‍යයේ එන මාක් ඇන්තනීගේ මළගෙදර කතාව මෙන්, දයා පතිරණගේ ඝාතනයෙන් පසු ද සිදුවූයේ දේහය ඉදිරිපිට සිටම සත්‍යය වළලා දැමීමේ ව්‍යාපෘතියකි.

 

 

  • ඝාතනය සහ වගකීම: ජනතා විමුක්ති පෙරමුණ (එදා) දයා පතිරණව ඝාතනය කර, එහි වගකීම රජය හෝ වෙනත් පාර්ශවයක් මත පැටවීමට ව්‍යාජ ලිපි ලේඛන පවා ප්‍රසිද්ධ කළ ආකාරය ගෙවිඳු විස්තර කළේය.
  • ගෙවිඳුගේ තර්කය: මෙය හුදෙක් පුද්ගලයෙකු මැරීමක් නොව, මරණයට අදාළ සත්‍යයත් ඝාතනය කිරීමකි.

 

නිර්මාල්ගේ 'හිස සැලීම' සහ ආන්තික දේශපාලනයේ මංසන්ධි

 

 

මෙම කතාවේ වඩාත්ම උත්ප්‍රාසාත්මක අවස්ථාව වූයේ එදා දයා පතිරණගේ සමීපතම සගයෙකු වූ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ගෙවිඳුගේ මෙම විවේචනය හමුවේ හිස සලමින් එය අනුමත කිරීමයි.

 

එදා දයා පතිරණව මරා දැමූ දෘෂ්ටිවාදයට එරෙහිව සටන් කළ පිරිස, අද එම ඝාතනය කළ පාර්ශවයන් (ජවිපෙ/ජාජබ/පෙරටුගාමීන්) සමඟ එකම දේශපාලන සන්ධානවල සිටීම දේශපාලන 'ආන්තික ගමන් කිරීමක්' නොවන්නේද? ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගැන කතා කරන බුද්ධිමතුන්, අතීතයේ ලේ පැල්ලම් සහිත දෘෂ්ටිවාදයන් සමඟ මෙලෙස හාද වීම සදාචාරාත්මකද යන්න ප්‍රශ්නකාරී වේ.

 

ගණිතමය විශ්ලේෂණය සහ අතාර්කික විරෝධය

 

ගෙවිඳුගේ ප්‍රකාශයට සභාවේ සිටි කිහිප දෙනෙකු විරෝධය පළ කරමින් පැවසුවේ තමන් වත්මන් ආණ්ඩුව සමඟ නැති බවයි. නමුත් ගණිත විශේෂවේදියෙකු වන ගෙවිඳු එයට දුන්නේ උපේක්ෂා සහගත පිළිතුරකි.

 

 

"ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිටි බහුතරයක් අද ආණ්ඩුව සමඟ" යන පොදු ප්‍රකාශය වැරදි බව ඔප්පු කිරීමට, "මම ආණ්ඩුව සමඟ නැත" යන තනි උදාහරණය (Counter-example) ප්‍රමාණවත් නොවේ. මෙය තර්ක ශාස්ත්‍රය පිළිබඳ මූලික ගැටලුවකි.

 

"උන් මුං වෙලාද? මුං උන් වෙලාද?"

 

 

මෙම සමස්ත සංවාදය දෙස බලන විට අපට පෙනෙන සත්‍යයක් ඇත.

 

  1. උන් මුං වීම: එදා ප්‍රචණ්ඩත්වය දේශපාලන අවියක් කරගත් 'උන්' (ජවිපෙ පාර්ශවය), අද 'ශිෂ්ටත්වයේ' සහ 'ප්‍රජාතන්ත්‍රවාදයේ' සළුව පොරවාගෙන 'මුං' වීමට උත්සාහ කරයි.
  2. මුං උන් වීම: එදා ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් යුක්තිය හෙබවූ 'මුං' (නිර්මාල්ලා ඇතුළු පිරිස), අද බලය වෙනුවෙන් එම අතීත ඝාතකයන්ගේම දෘෂ්ටිවාදයට ඔක්සිජන් සපයමින් 'උන්' බවට පත්වෙමින් සිටිති.

 

 

මෙම අන්‍යෝන්‍ය රූපකාය මාරු කරගැනීම තුළ දයා පතිරණ වැනි චරිත ඉතිහාසයේ සැඟවී යන තවත් එක් 'නොදුටු පැත්තක්' පමණක් වනු ඇත. දේශපාලන ඝාතනයක් යනු හුදෙක් ජීවිතයක් නැති කිරීමක් පමණක් නොව, එමගින් බිහිවන සදාචාරාත්මක අගයන්ද කාලයත් සමඟ දියකර හැරීමකි.

 

# නිරෝමී සුබ්‍රමනියම්

නවතම ලිපි