2026 අප්‍රේල් 06 | නිරෝමී සුබ්‍රමනියම්
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකළහොත් ඉරාන පාලනයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවත්,
ඉරානය 'අපායක්' බවට පත් කරන බවටත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ දැඩි තර්ජනයට ඉරානයෙන් ද එලෙසම රළු ප්‍රතිචාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ඉරානය ඇමෙරිකාවට අනතුරු අඟවා ඇත්තේ ඇමෙරිකානු ආක්‍රමණකාරී ක්‍රියා තවදුරටත් ව්‍යාප්ත වුවහොත්, මුළු මැදපෙරදිග කලාපයම 'අපායක්' බවට පත් කරන බවයි.
මෙම නවතම උණුසුම් තත්ත්වය නිර්මාණය වී ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ තැබූ අතිශය ආන්දෝලනාත්මක සටහනක් මුල් කරගනිමිනි. ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉඟි කරමින් ඔහු තැබූ එම සටහනේ මෙසේ දැක්විණි:

"අඟහරුවාදා දිනය ඉරානයට 'විදුලි බලාගාර දිනයක්' සහ 'පාලම් දිනයක්' එකට කැටි වූ දවසක් වේවි. මින් පෙර කිසි දිනෙක එවැන්නක් දැක නැති වේවි!!! ඒ සමුද්‍ර සන්ධිය විවෘත කරපල්ලා පිස්සු හැත්ත, නැතිනම් තොපිට ජීවත් වන්නට වෙන්නේ අපායකයි - බලාගෙන ඉඳපල්ලා! අල්ලාහ්ට ප්‍රශංසා වේවා.
- ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්"
ජනාධිපතිවරයාගේ මෙම තර්ජනාත්මක ප්‍රකාශයත් සමඟ කලාපීය යුද බිය තවත් තීව්‍ර වී ඇත.
මෙම ප්‍රකාශයට වහාම ප්‍රතිචාර දක්වමින් ඉරාන හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු බලපෑම් හමුවේ තමන් කිසිසේත් පසුබට නොවන බවයි. කලාපීය ස්ථාවරත්වයට සහ තම ස්වෛරීත්වයට එල්ල වන ඕනෑම තර්ජනයකට දැඩිව මුහුණ දීමට තම සන්නද්ධ අංශ සූදානමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ලෝකයේ බලශක්ති සැපයුමෙන් තුනෙන් එකකට පමණ බලපාන ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හෝ ඒ ආශ්‍රිතව ගැටුම් ඇතිවීම ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
දේශපාලන තර්ජන පිටුපස ඇති වෙළෙඳපොළ හැසිරවීමේ (Market Manipulation) අරමුණු
මේ අතර, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය හුදෙක් දේශපාලනික හෝ යුදමය තර්ජනයක් පමණක් නොව, එය ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ හැසිරවීමේ සූක්ෂම උපාය මාර්ගයක් ද විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අතර ප්‍රබල කතාබහක් නිර්මාණය වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි සංවේදී කලාපයක් පිළිබඳව කෙරෙන මෙවැනි ප්‍රකාශ හරහා ගෝලීය වෙළෙඳපොළ තුළ ක්ෂණික කම්පනයක් ඇති වේ. එවැනි යුද බියක් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ක්ෂණිකව ඉහළ යන අතර, කොටස් වෙළෙඳපොළ (Stock Market) තුළ සාමාන්‍ය සමාගම් කඩා වැටෙද්දී ආරක්ෂක සහ ආයුධ සමාගම්වල කොටස් මිල ඉහළ යයි. එසේම, සාම්ප්‍රදායික වෙළෙඳපොළ අස්ථාවර වන විට ආයෝජකයින් විදේශ විනිමය (Forex) වෙළෙඳපොළේ රන් සහ ස්විස් ෆ්‍රෑන්ක් වැනි ආරක්ෂිත වත්කම් වෙතද, ක්‍රිප්ටෝ (Cryptocurrency) මුදල් වෙතද යොමු වීමෙන් ඒවායේ මිල ගණන් වල දැඩි උච්චාවචනයන් සිදුවේ.
මෙම තත්ත්වය මූල්‍ය ලෝකය තුළ "Trump Effect" (ට්‍රම්ප් බලපෑම) ලෙස හැඳින්වෙන අතර, ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රයට සම්බන්ධ ඇතැම් ව්‍යාපාරික සගයින් සහ සමීපතමයින් මෙවැනි ප්‍රකාශ නිකුත් වීමට පෙර කල්තියා ගනුදෙනු (Trades) විවෘත කරමින් අතිවිශාල මූල්‍ය ලාභයක් ලබන බවට දැඩි චෝදනා එල්ල වේ.
දේශපාලන බලය භාවිත කරමින් සිදුකරන මෙම ක්‍රියාවලිය "මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරයක්" (Trading business) බවට විවේචකයින් මත පළ කළද, කල්තියා තොරතුරු ලබාගෙන වෙළෙඳාම් කිරීම (Insider Trading) නීත්‍යානුකූලව මෙතෙක් ඔප්පු වී නොමැත. කෙසේ වෙතත්, ඔහුගේ එක් සමාජ මාධ්‍ය සටහනකින් සමස්ත ගෝලීය වෙළෙඳපොළම කණපිට පෙරළීමේ හැකියාව පවතින බව මෙම සිදුවීමෙන්ද මනාව තහවුරු වේ.
#නිරෝමි සුබ්‍රමනියම්

