SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 මහාචාර්ය කිස්ස විතාරණ යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට විද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක්, සහ දේශපාලනඥයෙක්.

විශේෂයෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ, විශේෂයෙන් වෛරස් විද්‍යාව (virology) සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තරව පිළිගත් විද්වතෙක් වූ මහාචාර්ය තිස්ස විතාරණ ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වී සිටින අතර, විවිධ කාලවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත්, කැබිනට් අමාත්‍යවරයෙක් ලෙසත් කටයුතු කර තිබේ.

 

 

ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයකු වූ ඔහු පැරණිතම වාමාංශික පක්ෂවලින් එකක් වන ලංකා සමසමාජ පක්ෂයේ (LSSP) වත්මන් නායකයා ලෙස කටයුතු කරයි.  වමේ ව්‍යාපාරයේ නායකයෙකු ලෙස, ඔහු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව වාමාංශික දෘෂ්ටිකෝණයෙන් අදහස් දක්වන අතර, විවිධ ජාතික ප්‍රශ්නවලදී වමේ ස්ථාවරය නියෝජනය කරනවා.

 

මේ ඔහු සමග ලක්බිම මාධ්‍යවේදී ටිරන් කුමාර බංගගමආරච්චි විසින් සිදුකළ සාකච්ඡාවකි.

 

 

තිස්ස මහත්තයට ඔය වාමාංශික ගාය ඇති වුණේ කොහොමද?

 

හා… හා… (හිනා) මගේ අම්මගේ පවුලට නම් වාමාංශික ගාය උපරිම තිබුණා. අම්මගේ මල්ලී, මගේ මාමා එන්. එම්. පෙරේරා. ඉතින් අම්මටත් මාමගේ බලපෑම තිබුණා. මගේ තාත්තා දක්ෂිණාංශික අදහස් දරපු කෙනෙක්. අපේ ගෙදර බෞද්ධ පසුබිමක් තිබුණේ. මම හැදුණේ වැඩුණේ ඒ පරිසරය තුළ. දුප්පත්, පොහොසත් අය ඇති – නැති පරතරය මට පුංචි කාලෙම තේරුණා. මම තාත්තා එක්ක වාද – විවාද කළා. සූරාකෑම ගැන තාත්තා එක්ක වාද කරනවා. අම්මා මගේ පැත්ත ගන්නවා. පුංචි කාලේ ඉඳලම මම වාමාංශික අදහස්වල හිටියේ කියලා. මට තේරුණා බෞද්ධ ආගමෙන් ඔය ප්‍රශ්නවලට උත්තර නෑ කියලත් මට පුංචි කාලෙදිම තේරුණා.

 

 

තාත්තා කරපු රස්සාව මොකද්ද?

 

ඒ කාලේ ඉදිකිරීම් කටයුතු කළේ පී. ඩබ්ලිව්. ඩී. කියල පබ්ලික් ඩිපාට්මන්ට් එකකින්. මගේ තාත්තා ඒකේ ඉන්ජිනේරුවරයෙක්. ඉස්සර ඉන්ජිනේරුවෝ සේරම සුද්දෝ. සිංහල අයට හිටියෙ මගේ තාත්තයි තව දෙන්න‍ෙකුයි විතරයි. මගේ සීයා තාත්තව ලන්ඩන්වල තියෙන ප්‍රධාන ඉන්ජිනේරු කොලේජ් එක වුණු ඉම්පීරියල් කොලේජ් දාල උගන්වල. ඒ කාලේ ලංකාවේ ඉන්ජිනේරු පුහුණුව තිබිල නැහැ. තාත්තා එංගලන්තයේ පුහුණුව ලබපු හින්දා තමයි ඒ තනතුර ලැබුණේ. එංගලන්තේ ගිහිල්ලා ඉන්ජිනේරුවෝ වෙලා ආපු මේ දෙතුන් දෙනා විතරයි ලාංකිකයෝ හිටියේ. අනෙක් සේරම සුද්දෝ.

 

1932, 33දී විතර ලෝක ආර්ථික අවපාතයක් එනවා. ඒක අපේ රටටත් බලපානවා. ඒ බලපුවහම මොකද වුණේ. මෙහේ ස්ථිර රැකියාවල හිටපු අය පවා දොට්ට දැම්මා. එතකොට මගේ තාත්තයි අර ලාංකිකයොයි දොට්ට දැම්මා. අර සුද්දො තියාගෙන. ඉතින් තාත්තට රැකියාව නැති වුණා. ඊට පස්සේ තාත්තා නුවරඑළියේ පදිංචියට ගියා. මම ඉපදෙන්නෙත් නුවරඑළියේදී. තාත්තා එතකොට සුළු රැකියාවල් කළේ. කොහොම හරි 1935 වෙනකොට වගේ ලෝක ආර්ථික අවපාතයෙන් ගොඩ ආවා. තාත්තට ආයේ ඒ රැකියාව ලැබුණා. ඒකේ ඉහළටම යන්නත් පුළුවන් වුණා. තාත්තගේ රස්සාව හින්දා එක තැනක ඉන්න බෑ. රට වටේම යන්න ඕන. ඒත් තාත්තා කළේ අපිව එක තැනක තියලා එයා රට වටේ ගිය එකයි. මාවයි, අයියවයි ඉස්කෝලෙ බෝඩිමේ නතර කළා. නුවර ට්‍රිනිටි විද්‍යාලයේ. එතැන ඉඳලා අපිට තිබුණේ බෝඩිම් ජීවිතයක්.

 

 

බෝඩිම් ජීවිතය හොඳද?

 

ගොඩාක් හොඳයි. මම ඒකට හුරු වුණා. මම අධ්‍යාපනයට ඉතාම දක්ෂ, ආස කරපු කෙනෙක්. ඒ වගේම ක්‍රීඩාවටත් ඒ විදිහටම ආස කළා. පාසලේ විවාද තරගවල මම ප්‍රධාන චරිතයක්. ඉතින් පාසල සහ පාසල් බෝඩිම දෙකම මට එකක් වුණා. අපිව පාසල් බෝඩිමට දාපු එක තාත්තා කළ ඉතාම හොඳ දෙයක්. අපි ඒ නිසා තනිව ගොඩනැඟුණා. ඉංග්‍රීසියෙන් තමයි ඉගෙන ගත්තෙ.

 

 

සිංහල ඉගෙන ගත්තෙ කොහොමද?

 

අපේ ගෙවල්වලත් කතා කළේ ඉංග්‍රීසි. පාසලෙත් ඉංග්‍රීසි. ඒත් මට සිංහල පුළුවන් වුණේ මම දේශපාලනය කරපු හින්ද. මම තමයි සමසමාජ පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය ආරම්භ කළේ. විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනකොට ඒක කළේ. රට වටා ශාඛා හැදුවා. මට තවම මතකයි ගාලු ශාඛාවෙන් තමයි චමල් රාජපක්ෂයි, වාසුදේව නානායක්කාරයි ආවේ. චමල් මුලදී සමසමාජකාරයා. ඔය වැඩ එක්ක තමයි සිංහල ඉගෙන ගත්තෙ.

 

 

එන්. එම්. පෙරේරා ඔබගෙ දේශපාලන ගමනට බලපෑම් කළාද?

 

අපෝ නෑ. එයා නිතරම කිව්වේ මගේ දේශපාලන ගමන මේක. ඔයයි ඔයාගේ දේශපාලන ගමන තීරණය කරන්නේ. කවුරුත් කියන, පොලඹවන හින්දා දේශපාලනය කරන්න එපා. තමන්ට ගැළපෙනවා නම් කරන්න කිව්වා. එයා හරියට ආර්ථිකය ගැන උනන්දුයි. සඟරා, පොත් කියවනවා. ඒවා වුණත් මට කියවන්න කියන්නෙ නෑ. ඔයා කැමැති නම් බලන්න කියලා තමයි කියන්නෙ. ඔහු හරි අපූරු චරිතයක්. හැබැයි නිතරම කිව්වා ඔයා මේක හරියට තේරුම් ගත්තොත් ඔයාටම හිතෙයි විසඳුම මේක තමයි කියලා. පන්ති බෙදීම නැති, එක වාගේ සලකන සමාජයට එකම විසඳුම කියල ඔයා තේරුම් ගනී කියලා. මම තාත්තා එක්ක වගේම එයත් එක්කත් වාද කරනවා. එයා ඔය කතාත් මට සැරයයි දෙකයි කිව්වේ. ගමන යන එක ඔයාගෙ වැඩක් කියන තැන එයා හිටියේ. මම ක්‍රීඩා කළා. එයත් ක්‍රීඩා කළා. අපි දෙන්නම හොඳ ක්‍රීඩකයෝ. මම ට්‍රිනිටි එකෙන් අයින් වෙලා කොළඹ ආනන්දයට ආවා. ඒකේ ක්‍රීඩා පහක් මම කළා. අධ්‍යාපනයත් හොඳටම කළා. ආනන්ද කාලේ මම මාමත් එක්ක ළඟින්ම ඇසුරු කළා. අපි සහෝදරයෝ වගේ හිටියේ.

 

 

තාත්තට ඕන වුණේ නැද්ද පුතාව ඉන්ජිනේරුවෙක් කරන්න?

 

ඇයි නැත්තෙ. ට්‍රිනිටි එකේ ඉගෙන ගන්නකොට මම ගණිතයට ඉතාම දක්ෂයි. කොහොම හරි උසස් පෙළට විෂයන් තෝරා ගන්න ඕනනෙ. එක්කෝ මැත්ස්, නැත්නම් බයෝ. එක්කෝ ආර්ට්ස්, මම තෝරා ගත්තා බයෝ මේක දැක්ක ගමන් මැත්ස් ගුරුවරයා කලබල වුණා. මොකද මම ගණිතයට දක්ෂ කෙනානේ. මේ සර් ලියුම් යැව්වා තාත්තට අපි හිතුවා ඔබ වගේම පුතත් ඉන්ජිනේරුවෙක් වෙයි කියල. ඒත් එයා බයෝ තෝරගෙන කියලා. මේ ලිපිය ලැබුණාම තාත්තා කලබල වුණා. මොකද තාත්තා ඉන්ජිනේරුවෙක් හින්දා තාත්තා කැමැති වුණා මාත් එහෙම වෙනවට. මම තර්ක කළේ ලෙඩ්ඩු සුව කරන එකයි මගේ අරමුණ කියලා. අම්ම හොඳ බෞද්ධ නිසා අම්මා මේකට හරි කැමැති වුණා. මම තාත්තට කිව්වා මම බයෝ කරන එක වෙනස් කරන්නෙ නැහැ කියලා. තාත්තා මුලදී බල කළත් පස්සේ කැමැත්ත දුන්නා.

 

 

ට්‍රිනිටි විද්‍යාලයේ ඉඳලා කොළඹ ආනන්දයට ආවේ ඇයි?

 

ඒක කරන්න වුණා. මොකද ට්‍රිනිටි විද්‍යාලය තුළ තමයි මගේ ගමන තිබුණේ. බයෝ කරන්නත් තෝරාගෙන ඉන්නකොට, මගේ තාත්තාගේ ඇස් දෙක එකපාර පේන්නෙ නැතිව ගියා. ඒක දුර්ලභ අවස්ථාවක්. එතකොට තාත්තට අවුරුදු 44යි. එයා එතකොට පළාතක්ම භාර ඉන්ජිනේරුවෙක්. ඉතාම හොඳින් නීතියට වැඩ කළ කෙනෙක් තාත්තා. ඒ කාලෙත් නීතියෙන් පිට වැඩ  වෙනවා. ඒවට තාත්තා තදින් විරුද්ධ වුණු කෙනෙක්. ඒ ලක්ෂණ මගේ ජීවිතයටත් තදින් බලපෑවා.

 

ඉතින් තාත්තගේ ඒ රැකියාව හින්දා තමයි අපිට ට්‍රිනිටි යන්න පුළුවන් වුණේ. ඒත් තාත්තගේ ඇස් දෙක එකපාර අන්ධ වුණහම තාත්තට රැකියාව නැති වුණා. ඒ අන්ධ භාවය නැති කරන ඔපරේෂන් එක ලංකාවේ කරන්නෙ නැහැ. රටවල් දෙකක් විතරයි. එකක් ඕස්ට්‍රියාවල, අනෙක පෝලන්තයේ. එතකොට නැවෙන් යන්නෙ. තාත්තට ඉඩම් තිබ්බා. ඒවා විකුණලා ඔපරේෂන් එකට අම්මත් එක්ක ගියා. එතැනින් අපේ ආර්ථික පදනම කඩාවැටුණා. ඉතින් ට්‍රිනිටි කොලේජ් එකෙනුත් අයින් වෙන්න වුණා. එතකොට අම්මගේ ගෙදර සීයා ගාව අපිව නවත්වලා ගියා. නො 41, රාජකරුණා මාවත පුංචි බොරැල්ල. මේ එන්. එම්. ගේ ගෙදර. අයියා එතකොට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා නිසා නේවාසිකාගාරයේ හිටියේ. මම සීයයි, මාමයි එක්ක හිටියා. ඒ ඉඳලා තමයි ආනන්ද විද්‍යාලයට ගියේ. එන්. එම්. ගොඩාක් සමීප වෙන්නෙ ඔය කාලේ. මේ දේශපාලනයට තදින් බැඳුණේ. ආනන්දේ තමයි බයෝ කළේ. ඒ කරලා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා. එතකොට එක විශ්වවිද්‍යාලයයි තිබුණේ. “සිලෝන් යුනිවර්සිටි” කියල. මෙඩිකල් ෆැකල්ටි එකයි තිබුණේ. දැන් ඔය බොරැල්ලේ තියෙන එක විතරයි. මට ඒකට ඇතුළු වෙන්න පුළුවන් වුණා.

 

 

දොස්තර කෙනෙක් විදිහට පළමු පත්වීම ලැබුණේ කොහාටද?

 

කුරුණෑගලට තමයි මුල්ම පත්වීම ලැබුණේ. ඒ කාලේ වසූරිය වසංගතය තදටම පැතිරෙන කාලේ. ඒකෙනුත් කුරුණෑගල තමයි දරුණුවට මේක පැතිරුණේ. ඒක හොඳ අත්දැකීමක් වුණා. එතකොට මම පක්ෂ දේශපාලනයත් කරනවා. වසූරියට විරුද්ධව වැඩ කරද්දී පුළුවන් විදිහට පක්ෂ දේශපාලනයත් කරනවා. ශාඛාවල පන්තිත් පවත්වනවා. එතකොට ශ්‍රී ලංකා ආණ්ඩුව. ඒ පැත්තේ ශ්‍රී ලංකා දේශපාලකයා මේක දැනගත්තා. මම පන්ති කරනවා කියලා. මට මාරුවක් ආවා “උග්ගල්කල්තොට”ට කියලා. සිතියම අරගෙන බැලුවම එහෙම ගමක් නැහැ. අන්තිමට හොයා ගත්තා බළන්ගොඩින් උඩවලවේ පැත්තේ කැලෑ පාරක යන්න තියෙනවා කියලා. මාව කැලේට විසි කළා. ඒත් මම සතුටු වුණා. උපරිම දුෂ්කර පැත්තක්. මම එහෙදි වඩු වැඩත් කළා. මගේ ගෙදර අදටත් තියෙන මේ මේස පුටු හැදුවේ එහේ. එක දවසක් මුවෙක් තුවාල වෙලා මැස්සක තියාගෙන ආවා. ඒ අය එතකොට හිතන්නෙ දොස්තරට ඕන කෙනෙක් සුව කරන්න පුළුවන් කියලා. මුවාගේ කොන්ද කැඩිලා පනිනකොට. නැඟිටගන්න බෑ. මම කිව්වා මට මේවා කරන්න බෑ. බළන්ගොඩ රෝහලට එක්ක යන්න කියලා. හැතැප්ම 22ක් බළන්ගොඩට. එහෙම අහිංසක මිනිස්සු මේ අය. 

 

 

වෛද්‍ය වෘත්තිය ගැන ඔබතුමා සතුටින්ද?

 

හොඳටම සතුටුයි. මොකද මම මේ වෛද්‍ය වෘත්තිය කරලා පෞද්ගලිකව ලෙඩෙක්ගෙන් සතයක්වත් අරගෙන නෑ. මම විශේෂඥ වෛද්‍යවරයෙක්නෙ. මගේ විෂයට අදාළ දේවල් දැනගන්න පෞද්ගලික රෝහල්වල පවා කතා කරනවා. මම උපදෙස් දුන්නහම මට “කන්සල්ටන් ෆීස්” එවන්න හදනවා. මම කොච්චර සල්ලි තියෙන තැනක් වුණත් ගන්නෙ නෑ. මොකද මම වෛද්‍යවරයෙක් වුණේම ලෙඩකුගෙන් සතයක්වත් ගන්නේ නැහැ කියන අධිෂ්ඨානයෙන්මයි. අද වෙනකන්ම මම ඒ ප්‍රතිපත්තියේම ඉන්නවා.

 

 

වෛද්‍ය පීඨයේ දේශපාලනය කරන එක පහසු වුණාද?

 

ඒ කාලේ සර් නිකලස් ආටිගල තමයි ප්‍රධානියා. උග්‍ර යූ.එන්.පී.කාරයා. ඒත් කොහොම හරි මම සංගමයක් දැම්මා. ගොඩක් අය – එන්න අදිමදි කළා. ඒකට කාලෝ ෆොන්සේකා, කොල්වින් ගුණරත්න මට පහළ බැජ් එක. ඒ අය මාත් එක්ක සමාජවාදී සංගමයට එකතු වුණා. ඉන්ටර්විව්වලදී අපිට වෛද්‍ය වෘත්තීය ලැබෙන එකක් නැහැ කියලා ගොඩක් අය බැඳුණේ නැහැ. කාලෝ හිටියා. කාලෝ කියන්නෙ නියම සමසමාජකාරයා. ඒත් අපි කළා. එන්. එම්. ඉඳලා බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන පවා අපි ඕකේ දේශනවලට ගෙනාවා. ඔය දේශපාලකයෝ මට පොඩි කාලේ ඉඳලා අමුත්තෝ නොවෙයි. පවුලේ හිතවත්තු.

 

 

සමසමාජ පක්ෂයට වැරැදුණේ කොතැනකද කියලද හිතන්නෙ?

 

ලංකාවේ ගොඩක් දේවල් දුන්නේ සමසමාජ පක්ෂය ප්‍රමුඛ වමේ පක්ෂ. කොටින්ම නිදහස දිනාගත්ත කිව්වට ස්වෛරී භාවය ලැබුණෙත් 72 සමසමාජ පක්ෂ හින්දා. බණ්ඩාරනායක පක්ෂයයි, යූ.එන්.පී. නායකයොයි හොඳට යටත්ව හිටියා. අපියි සටන් කරලා ගත්තෙ. 53 හර්තාලය කළෙත් අපි. අපිට වැරැදුණාට වඩා අපි නිසා ගොඩක් දේවල් නිවැරැදි වුණා. ඒකයි ඇත්ත. සිරිමාවෝ යටතේ එන්. එම්. මුදල් ඇමැති වුණෙත් දේවල් නිවැරැදි කරන්නයි. කොල්වින් ජනසතු කළා. ලෙස්ලි සී.ටී.බී. ඇති කළා. මේ කට්ටිය එකතු වෙලා බලපෑම් කරපු හින්දා තමයි ජනරජයක් පිහිටුවලා සුද්දගෙන් නිදහස් වුණේ. අපිට නියම නිදහස ලැබුණේ 72 ජනරජයෙන්. ඔබ ඇහැව්වනේ මේකේ බිඳ වැටීම ගැන. ඒකට ජාතිවාදය තමයි බලපෑවේ. බණ්ඩාරනායකගෙ සිංහල පමණක් න්‍යායත් බලපෑවා. 56 නැඟිටීමනේ ඔය. ඒකට අපි සමසමාජ පක්ෂය තදින් විරුද්ධ වුණා. දෙමළ අයටත් සම තැන දෙන්න ඕන කියන තැන අපි හිටියේ. කොල්වින් එදා පාර්ලිමේන්තුවේදී කිව්වා මේක ක්‍රියාත්මක කළොත් ලේ ගංගා ගලයි කියලා. ඒ වගේම රට දෙකඩ වෙන්නත් ඉඩ තියෙනවා කියලා. ඒවා අපි කියනකොට රටේ සිංහල මිනිස්සු අපිව දැක්කේ ජාති විරෝධීන් විදිහට. අපිට දේශපාලනය කරන්න බැරි වුණා. ගල් ගැහැව්වා. හූ තිබ්බා. අපි දෙමළුන්ට තැන දෙන පක්ෂ හැටියටත් අපි සිංහල අය පාවා දෙනවා කියලා පෙන්නුවේ. අන්න ඔය ජාතිවාදී පසුබිම තමයි සමසමාජය කඩා වැටීමට හේතු වුණේ. අපිට විරුද්ධව ලොකු විරෝධයක් රට වටේ ගියා. කොළඹ අතුරු මැතිවරණයට ඉදිරිපත් වෙන්න සමසමාජයේ අය පැකිළුණා. සේනක බිබිලේ ඉදිරිපත් වුණා තරග කරන්න. අපි උදවු කළා සේනක බිබිලේට. අපි ශිෂ්‍යයෝ එතකොට. මට තවම මතකයි දවසක් දැන්වීම් පත්‍රිකා බෙදනකොට දෙන්නෙක් මගේ මූණටම කෙළ ගහලා තියෙනවා. අපි ඒත් සැලුණේ නැහැ.

 

 

සමසමාජයේ අය මැතිනි එක්ක එකතු නොවුණා නම් හොඳයි කියලත් සමහරුන්ගේ මතයක් නේද?

 

එතැනදී පක්ෂය කොටස් තුනක් හැටියට බෙදුණා. එන්. එම්. එක්ක ඉන්න අය පක්ෂ වුණා. කොල්වින්, බර්නාඩ්, ලෙස්ලි, මමත් හිටියා ඒ ගොඩේ. අපේ ප්‍රතිපත්ති මොනවා වුණත් ඇමැතිකම් තුනක් තිබුණත් අගමැතිනි පිළිගන්න ඕනනේ. අන්තිමට එයාගේ කැමැත්තනේ අන්තිම කැමැත්ත. ඒ නිසා අපි ගිවිසුම් ගහන්න ඕන අපේ ප්‍රතිපත්තිවලට එකඟ වෙන්න ඕන කියන තැන අපි හිටියා. එඩ්මන් සමරක්කොඩි, බාලාතම්පෝ කිව්වා අපි ශ්‍රී ලංකා එක එකතු වෙනවට විරුද්ධයි කියලා අයින් වුණා. අපිට ලිඛිත එකඟතාවක් ලැබුණේ නැහැ. ඒත් එන්. එම්. එක්ක හිටියේ. එකතු වෙන්න ඕන කියන තැන බහුතරය හිටියා. අපිත් එයා තනි නොකර එකතු වුණා.

 

 

මාමා (එන්.එම්.) අම්මා ළඟ දේශපාලනය කළ පුතා (ඔබ) චන්ද්‍රිකා ළඟ දේශපාලනය කළා. ඒක කොහොමද දැන‍ෙන්නේ?

 

මැතිනිගෙන් පස්සෙ මහජන පක්ෂය විජය ප්‍රමුඛ පිරිස අපිත් එක්ක සාකච්ඡා කළා. අපි එකඟත්වයකුත් ඇති වුණා. ජාතිවාදී ප්‍රශ්නවලදී පවා විජය – චන්ද්‍රිකා හොඳ පැත්තක හිටියා. ඉතින් අපිට ඒ අය එක්ක එකතු වෙන්න පුළුවන් වුණා. විජයත් මුලින් හිටියේ සමසමාජ පක්ෂයේ. ඒකත් අපේ විශ්වාසයට හේතු වුණා. එයා පාසල් ළමයෙක් විදිහට අපේ සමසමාජ පුවත්පත පවා විකුණපු කෙනෙක්.

 

 

සමසමාජ පක්ෂයේ අවසාන චරිතේ බර්නාඩ් සොයිසා. එයාගෙන් පස්සේ සමසමාජකාරයෝ නෑ කියන කතාවක් සමාජගත වුණා. ඔබ ඉද්දි ඇයි එහෙම වුණේ?

 

බර්නාඩ් වගේම මාත් ඇමැති කෙනෙක් වුණා. වෙනසක් තිබුණේ නැහැ. බර්නාඩ් දකුණු කොළඹ මන්ත්‍රි වෙලා හිටියනේ. මම තරග කළේ තුන්කෝරලේ කෑගල්ල, යටියන්තොටනේ. එහේ ඔක්කොම මාව දන්නවා. කොළඹ දේශපාලනය බර්නාඩ් දන්නවා. ඔය මත හැදෙන්නෙ කොළඹ සමාජය තුළනේ.

 

 

ඔබ එන්නත්කරණය සම්බන්ධව විශේෂඥයෙක් වුණේ කොහොමද?

 

මම විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ට උගන්වන්න ගියහම මම ගිහිල්ලා බැලුවා අපේ රටේ තියෙන රෝග. උණ සන්නිපාතය ඇතුළු නොය‍ෙකුත් රෝගවලට ප්‍රතිදේහක මට්ටම බැලීම වැදගත්නේ. ඒ අරගෙන තියෙන්නෙ තාන්‍ය කෙනෙක්ගේ මට්ටම. එතකොට තාන්‍යයේ ඒ ලෙඩේ නෑ. ඒ කාලේ සුද්දො පරෙස්සම් වෙලා ඒ අයගේ තත්ත්වය චෙක් කරගෙන. ඒ අරන් තියෙන මට්ටම අනුව ලංකාව ලොකු වරදක ඉන්නෙ කියලා මට තේරුණා. මම විරුද්ධ වුණා. මම සමාජය තුළ ප්‍රතිදේහය මැනීම කළා. එතකොට මේකේ බරපතළ තත්ත්වය තේරුම් ගත්තා. වැරැදි මිම්මක අපි ක්‍රියා කරලා තියෙන්නෙ කියලා. ඒක මිම්ම වුණහම ලොකු වරදක්. මේ ලෙඩක්නේ පර්යේෂණ කරලා රිසර්ච් ආටිකල් 82ක් පළ කරලා තියෙනවා මේවා ගැන. තාන්‍යයේ ගාන බලපුවහම සමහරුන්ට කිසිම ලෙඩක් නැහැ. පස්සේ ඒවා පිළිගත්තා.

 

 

කොහොමද ඔබතුමාට ප්‍රේමය හම්බ වෙන්නෙ?

 

හා… හා… කාමිනි. ඩාන්ස් ෆ්ලෝ එකක. මම කුරුණෑගල ඉන්නකොට මගේ පක්ෂයේ හොඳම යාළුවෙක් වෙලා හිටියේ ඔස්මන්ඩ් ජයරත්න. එයාගේ නෝනයි වෙනත් කට්ටියක් එක්ක කාමිනි යාළුයි. එයා කලින් බැඳලා හිටියා. එයත් අපේ පක්ෂයේ කෙනෙක්. එයා මයික් එක්ක එංගලන්තේ ගියා. මේ දේශපාලනය කරන්න එහෙදි කාමිනි හම්බ වෙලා ඒ දෙන්නා කසාද බැන්දා. ඒ කසාදෙන් දූලා දෙන්නෙක් ඉන්නවා. එයා දික්කසාද වෙලා ලංකාවට ආවා. එයා ඔස්මන්ඩ්ලගේ හොඳ මිත්‍රයෙක්. ඉතින් ඔසී මට කතා කරලා කිව්වා අලුත් අවුරුදු ඩාන්ස් එකකට අපි යනවා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට ඒකට එන්න කියලා. ඒක තමයි ඒ කාලේ ලොකුම ඩාන්ස් තිය‍ෙන හෝටලය. මම එන්නම් කියලා කුරුණෑගල ඉඳලා ආවා. එතැන ඩාන්ස් ෆ්ලෝ එකේ තමයි කාමිනියි මායි මුණගැසුණේ. දැක්ක මොහොතෙම දෙන්නටම ආදරය ඇති වුණා. ඊට කලින් සම්බන්ධතා තිබුණත් මේක තමයි විවාහයෙන් කෙළවර වුණේ. ඩාන්ස් ෆ්ලෝ එකේ තමයි ආදරය ඇති වුණේ. පස්සේ එයා මගේ ජීවන සහකාරිය වුණා. (කාමිනි යනු චරිතාංග නිළි අයිරාංගනී සේරසිංහගේ නැඟණියයි.)

 

 

@ සාකච්ඡාව - ටිරන් කුමාර බංගගමආරච්චි

නවතම ලිපි