SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් ආණ්ඩුව ගැන මේ දිනවල ලොකුම කතාබහ ඇති වී ඇත්තේ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සම්බන්ධයෙනි. මෙය 2026 සිට ක්‍රියාත්මක බව කනු කුනුවය. එහෙත් මේ ප්‍රතිසංස්කරණ මොනවාදැයි තවමත් රටට අප්‍රසිද්ධය. දැනට ප්‍රසිද්ධ යම් යම් කාරණාද ආණ්ඩුව ඇතුළින්ම ආණ්ඩු හිතවතුන්ගෙන්ම එළියට ආ ඒවාය.

 

ඒ හැර සිද්ධ වන්නේ මෙය යැයි තවමත් අපභ්‍රංශයකි. කෙසේ වෙතත් එළි වූ කාරණා හරහා නම් මේ ගෙන එන්නට යන්නේ තවත් අටමඟුලක් බව එළිවෙමින් පවතී.

 

 

එය එසේම යැයි කියන්නට කල් වැඩි වුවත් වත්මන් ආණ්ඩුව ගෙන ඒමට, විශේෂයෙන් අධ්‍යාපන ඇමැති, අගමැතිනි හරිනි අමරසූරිය ගෙන ඒමට බොහෝ දර දිය ඇදි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව ආණ්ඩුවෙන් “හෙණ” ඉල්ලන තැනට පත්වීමෙන් පෙනී යන්නේ මේ ප්‍රතිසංස්කරණ බරපතළ බවය. අනෙක් අතට මේ ළදරු ආණ්ඩුව තවමත් හරිහමන් කිසිදු වැඩකට අත ගසා නැත. එහෙත් මේ තරම් කෙටි කාලයකින් අධ්‍යාපනය වැනි පුළුල් විෂයයක් වෙනසකට බඳුන් කරන්නට හරිනිට මැජික් බලයක් ලැබුණේ කෙසේද? යන්න පුදුම සහගතය.

 

tara 2

 

 

කන්නන්ගර ප්‍රමුඛ පිරිස ගෙන ආ අධ්‍යාපන රටාව වෙනස් කරන්නට කාලෙන් කාලෙට ලොකු රැලි ඇති විය. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමැතිව ඉන්න කල “ධවල පත්‍රිකා” හරහා ආවේ එවැනි ප්‍රධාන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකි. එදා එය පරාජය කළේ “ධවල පත්‍රිකා” ගිනි තබමිනි. ඉන්පසු චන්ද්‍රිකා ජනපතිනිය හරහා තාරා දි මෙල් ප්‍රමුඛ ඇය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගේන්නට හැදූ අතර එයද වැළලී ගියේය. දැන් අගමැතිනි හරිනිගේ වාරයය.

 

 edu dawala

 

 

ප්‍රශ්නය අගමැතිනි හරිනි මේ තරම් ඉක්මනට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හැදුවේ කෙසේද යන්නය. මේ ආණ්ඩුවේ බොහෝ ඇමැතිලා තම විෂය පථයේ දිග පළලවත් තවම නොදන්නා ගානය.

 

එවන් වටපිටාවක හරිනි මේ විජ්ජාව පෑවේ කෙසේද? එසේ නම් ඉතාම පැහැදිලිය, මේ එදා රනිල් වික්‍රමසිංහ ගෙන ඒමට උත්සාහ කළ “ධවල පත්‍රිකා”හි කෑලි මූට්ටුවකි. තාරා දි මෙල්ලා ගෙන ඒමට හැදූ ඒවායෙහි පදාස ගලවා ගැනීමකි. නැතහොත් රාජ්‍ය නොවන සංවිධානවල යෝජනාවලියකි.

 

 

මේ ඕනෑම එකක එකතුවක් ලෙසද මෙය දැකිය හැකිය. හරිනිගේ චරිතය දෙස බලන කල ඇය හැදී වැඩුණු එන්.ජී.ඕ. පරිසරය අධ්‍යයනය කරන කල මෙය පැහැදිලිවම හරිනි ලවා ක්‍රියාත්මක කරන මීට පෙර ගොඩනැඟුණු ප්‍රතිසංස්කරණ බව ඉතා පැහැදිලිය. එසේ නොවන්න මේ තරම් කෙටි කලෙකදී මේ ළදරු ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තරම් බරපතළ ක්‍රියාවකට අතගැසිය නොහැකිය. එතරම් කෙළි කළ හැකි ආණ්ඩුවක් නොවන බව මේ කෙටි කාලය තුළ කර ඇති බොහෝ වැඩ හරහා මේ ආණ්ඩුවේ ශක්‍යතාව පිළිබිඹු කර ඇත.

 

images 4 1

 

 

මහාචාර්ය නිර්මාල් දේවසිරි මේ ආණ්ඩුවේ හොරණෑවකි. විශේෂයෙන්ම ඔහු වඩා කිට්ටු බව පෙනුණේ හරිනිටය. හරිනි ජනපති විය යුතුය යන තැන වුව මුල සිට සිටගත්තේ ඔහුය. එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව හරිනිට ලොකුම කනේ පහර ගසා ඇත්තේද ඔහුමය. සෙසු කතාබහ ව්‍යාප්ත වීමට නිර්මාල්ගෙ මේ හඬ නැඟීම හේතු වූ බවද පිළිගත යුතුය. නිර්මාල්ගේ පෙනී සිටීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉතිහාස විෂය ගැලවී යෑමය. සරල අර්ථය එයය. නිර්මාල්ගේ ඉතිහාස විරෝධය නිර්මාල් ඉතිහාසය පිළිබඳ උගන්වන්නෙක් නිසාම ලඝු කරන්නටද වෙහෙසෙන පිරිසක්ද සිටිති.

 

 

ලංකාවේ ඕනෑම දෙයකට ඕනෑ තරම් මතවාද හොයාගත හැකිය. ඒ නිසාම ඉතිහාස විෂය ඉවත් කළ යුතුම යැයි හඬ නඟන්නෝ බහුතරයක්ද ඇති වෙමින් තිබේ. ඒ අයගේ තර්කය මෙරට ජාතිවාදය පෝෂණය වීමට හේතු වුණේ ඉතිහාස ඉගැන්වීම් බවය. ඉතිහාසය උගෙන මෙරට ජාතිවාදී වූවාද ජාතිවාදී පිරිස් නිසාම ඉතිහාසයත් ජාතිවාදී කියැවීමකට ගියාද යන්න වෙනම සිතා බැලිය යුතුය. ඉතිහාසය හරහා ජාතිවාදය ගොඩනැඟෙනවා කියා සිතනවා නම් ඉතිහාසයට කලින් ඉවත් කළ යුත්තේ සඟ සමාජයය. සිංහල ඉගැන්වීමද අත්හළ හැකිය. මෙය බැලූ බැල්මට දේශපාලනික කියැවීමකි. මීට පෙර අධ්‍යාපනයට ලිංගිකත්වය පිළිබඳ ඉගැන්විය යුතුය යැයි කරුණු කී සැණින් සංඝ සමාජයේ ඇතැම් පිරිස්හු දුම්මල වරම ගත්හ. මේ රටේ අධ්‍යාපනය නොව කුමන වෙනස්කමක් හෝ කිරීම ලේසි නැත. ඕනෑම දේකට පක්ෂ විපක්ෂ වීම ස්වාභාවිකය.

 

dawala 3

 

අපි ඉතිහාසය ඉගෙනගත යුතු නැද්ද? සියලු ප්‍රශ්න දෙස ඉතිහාසය හරහාම පිළිතුරු සෙවිය යුතුද බරපතළව සිතිය යුතු කරුණුය. පහුගිය කාලයේ නිතර නිතර හැඩි වන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ දෙස බලා ඇතැම් පිරිස් කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඉගැන්වීම පාසල්වල අනිවාර්ය කළ යුතු බවය. ඉංග්‍රීසි අනිවාර්ය කළ යුතු බව මෙතරම් ඇනගත්තත් මේ ආණ්ඩුව හරහා තවම ලොකු කතාබහකට ගන්නේ නැත. එයත් ඉතා වේගයෙන් වීමට ඉඩ ඇත.

 

 

කොහොම වුණත් නිර්මාල්ටම නොවුවද නිර්මාල්ට උත්තර දෙමින් අගමැතිනි හරිනි කියනුයේ නව ප්‍රතිසංස්කරණවල ඉතිහාසය, සෞන්දර්ය ඉවත් කිරීමක් කොතැනකවත් නැති බවය. එය ප්‍රලාපයක් බවය. නිර්මාල් දේවසිරි ආරූඪ වූයේ බොරුවට නොවන බව පැහැදිලිය. එමෙන්ම එහි එවැන්නක් තිබූ බව නිර්මාල්ට සැල වූයේද ස්ථීරවම බව සහතිකය. හරිනිට දැන් ඕනෑම පැත්තකට කතාව ගෙනයා හැකිය. එයට හේතුව තවමත් මේ ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කර නැති නිසාය. හරිනිගේ පිළිතුරෙන් පෙනෙනුයේ නිර්මාල් දිනුම් බවය.

 

images 5 1

 

ලංකාවේ අධ්‍යාපනය වෙනස් විය යුතුද නැත්ද යන්න මෙන්ම එයට එකතු විය යුතු මොනවාද එයින් හැලිය යුත්තේ මොනවාද යන්න බාහිර පාර්ශ්ව, විදෙස් අත පෙවීම් හරහා වන බව ඉතා පැහැදිලිය. එය ඉතිහාසය පුරාම එසේමය. මෙවරත් එය එසේ වූ බව නියතය. හරිනි වැන්නියක අත ගැසුවේ වෙනදාට වඩා එවැනි බාහිර බලපෑම්වලටම විය හැකිය. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉතිහාසය ඉවත් කිරීම යහපත් යැයි ශීඝ්‍රයෙන් මතු වූ මතයම ඒ නියෝජනයේ ප්‍රතිඵලයය. ජාතිවාදය පැතිරීම මෙන්ම ජාතිවාදයට විරුද්ධ වීමද ව්‍යාපෘතිවලම කොටස්ය. ඒ හැමදේටම ලොකු වටිනාකම් ඇත. ඉතිහාසය අනිවාර්ය කිරීම සිංහල බෞද්ධ ආධිපත්‍යයේ කොටසක්ම නම් එය ඉවත් කිරීම එම දේශපාලනයට ප්‍රතිවිරුද්ධ දේශපාලනයේම කොටසකි. එය පටලවා ගෙන රටක ඉතිහාසය අනිවාර්ය විෂයයක් ලෙස නොගත යුතුයි කියනවා නම් ලොකු ගැටලුවක් ඉතිරිය.

 

ලංකාවේ ඉතිහාසය තුළම මේ කියැවීම ජාතිවාදයේ ආරම්භය මහින්ද රාජපක්ෂට ලඝු කරන තැනට තල්ලු වී ඇත.

 

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම හරහා මහින්ද රාජපක්ෂට එම ලේබලය ඇලුනද? මහින්ද රාජපක්ෂ පරාජය කළේද එහි ජාතිවාදී ස්වරූපයම බව පැහැදිලිය. එසේ නම් මේ ගැට ලේසියෙන් ඉතිහාසය ඉවත් කළ සැණින් ලිහා ගත හැකිද? අද අනුර කුමාර ජනපති වන්නේද එම ව්‍යාපෘතියේම පිහිටෙනි. සිංහල බෞද්ධ නායකයන්ම ඉල්ලා සිටින ව්‍යාපෘතිය ඉතිහාසය ඉගැන්වීම අත්හළ පසු සෙසු අයට භාර වෙයිද?  සිංහල ජාතිවාදය හෝ ජාතික වාදය මේ තරම් සරලව වටහාගෙන කපා ඉවත් කළ හැකිද? එය බරපතළ කාරණයකි. හරිනි ලත් තැනම ලොප් වූයේ දෙබරයකට ගල් ගැසුවා සේය. දැන් හරිනිට පියවර කිහිපයක් ආපස්සට ගන්නට සිදුව ඇත. ඇය ප්‍රසිද්ධියේ කියනුයේ ඉතිහාසය ඉගැන්වීම ඉවත් කර නැති බවය. එසේ නම් නිර්මාල්ගේ විරෝධය ඉතිහාසයටම එකතු වනු ඇත.

 

 

නිර්මාල්ගේ සටන පැත්තකට කොට ඇසිය යුතු ප්‍රශ්නය, හරිනි මේ හදිසියේ ගෙන එන ආණ්ඩුවේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණද? නැතහොත් හරිනි යම් කිසි පිරිසක් සමඟ එකතුව ගෙන එන ඇයගේ බල ව්‍යාපෘතියක කොටසක්ද යන්නය.

 

dawala 4

 

පසුගිය කාලය පුරාම හරිනි විසින් නිතර නිතර කීවේ 2026 වසරේ ආරම්භයේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවය. ඒ සම්බන්ධයෙන් මේ මස 11 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා දැනුවත් කිරීමේ පළමු පාඩමට අත ගසා තිබිණි. එය පළමු පාඩම වන විට හරිනි තනිවම ආ දුර පැහැදිලිය. මේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුවේම වැඩක් වෙනුවට හරිනිගේම වැඩක් බව දැන් පැහැදිලිය.

 

ඇය එදින පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දැනුවත් කළේ මොනවාද යන්නවත් තවම ප්‍රසිද්ධ නැත. ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන්නවත් අර අඳින වැඩපිළිවෙළ ගැන කෙටුම්පතක් උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කිරීමේ රැස්වීමේදී හෝ වෙනත් කොතැනක හෝ බෙදා ඇත්ද? හරිනිගේ ඕනෑ එපාකමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතු නැත. එය ආණ්ඩුවේම වැඩපිළිවෙළක් විය යුතුය. අධ්‍යාපනය වැනි පුළුල් විෂයක් හරිනි ප්‍රමුඛ කුඩා කණ්ඩායමේ අභිමතයට කළ යුතු දෙයක් නොව ඊට වඩා විශාල මැදිහත් වීමකින් කළ යුතු දෑය. අඩුම තරමේ විදුහල්පතිවරු සහ ගුරු සංගම් මේ ගැන දැනුවත්ද? දැනුවත් නම් ඊට පක්ෂ හෝ විපක්ෂ ප්‍රතිචාර මොනවාද? නිර්මාල්, හරිනිලාගේ කුලකයේම නිසා කල්තියා එය දැන එළියට ආ බව පැහැදිලිය. සෙසු අය නොදත් දෑ නිර්මාල් දැනගන්නේ ඒ විදිහට විය යුතුය. ඒ දැනගැනීම හරහා සමාජයම අවදි වූ බව කිව යුතුය. නිර්මාල්ගේ ප්‍රහාරය සාර්ථකය. ඉතිහාසය ඉගැන්වීම ඉවත් කිරීම ඉතිහාසයටම සින්න විය හැකිය.

 

images 6

ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ටම වුව මේ හරහා හරිනිගේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුවට ගැළපෙනවාද යන්න තර්ක විතර්ක කළ හැකිය. ඉන්පසු බරපතළ විවාද කළ හැකිය. හරිනි මුල සිට හැසිරුණේ සියල්ල සිදුකර ක්‍රියාත්මක කරන කාලවකවානු හඳුන්වා දෙමිනි. එහෙත් ඊට පෙර කළ යුතු ගෙදර වැඩ තව බොහෝ ඇති බව දැන් පැහැදිලිය.

 

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණද ඉතිහාසයේ කුණු බක්කියටම වැටෙන්නට ඇති ඉඩ වැඩිය. එයට හේතුව හරිනිත් ප්‍රශ්නය අල්ලා ගත්තේ වලිගයෙන් බැවිනි.

 

මෙය හරිනිගෙත් වැඩක් නොව හරිනි හරහා එළියට දාන්නට හැදූ වැඩපිළිවෙළක් බව පැහැදිලිය. රවි, ශානිලා පත්කරන්නෙත් කාදිනල්ගේ කීමට නම් හරිනි මේ විප්ලව කරන්නට අර අඳින්නේ ඊට වඩා ලොකුම තැන්වල කීමට විය හැකිය. කොහොම ලොකුම තැන් මෙරටින් පිටවිය හැකිය. වත්මන් ආණ්ඩුවේ සියල්ල සිදු වන්නේ ආණ්ඩුවේ වුවමනාවට වඩා පිටස්තරයන්ගේ වුවමනාවන්ටය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් ඒ ගොඩේමය. හරිනි ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරිනිගේම නොවන බව පැහැදිලිය. ඒත් ඒවා ප්‍රශ්න කළ යුත්තේ හරිනි හරහාය.

 

 tara 1

 

නිර්මාල් හරිනිට ඉතිහාසය කියා දීම වටී. මන්ද ඇය හොඳට හෝ නරකට ඉතිහාසගත වීමට නියමිත බැවිනි. ඉතිහාසය ඉගැන්වීම විෂයෙන් ඉවත් කළ හැකිය. එහෙත් පොළොවෙන්ම අතුගා දැමිය හැකිද? සිංහල ජාතිවාදය ගොඩනැඟුණේ ඉතිහාසය උගෙනීම හරහා නම් දෙමළ, මුස්ලිම් ජාතිවාදය ගොඩනැඟෙනුයේ මේ ඉතිහාසය නොකියන තවත් ඉතිහාසය කියවීමක් හරහා විය නොහැකිද? හරිනිගේ ප්‍රතිසංස්කරණ ගෙන ඒම නිසා නිර්මාල්ගේ ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටීමද මේ වන විට ඉතිහාසයටම සින්න වී ඇත. ඒ ඉතිහාසයද පාදක කරගෙන මෙතැනින් එහාට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතිකාව ඉදිරියට ගෙන යා හැකිය.

 

@ටිරන් කුමාර බංගගමආරච්චි

නවතම ලිපි