අඩ සියවසකට ආසන්න කාලයක් ලාංකික සංගීත ක්ෂේත්‍රය සිය මධුර හඬින්
පෝෂණය කළ ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ඊයේ (20දා) සිය දිවිසැරිය නිමා කළාය.
සද්ධර්මෝදය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නුගේගොඩ අනුලා විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඇය පාසල් කාලය තුළදී රාමායනය, සිරිසඟබෝ, සකුන්තලා වැනි නාට්‍යවල රඟපෑමෙන් දස්කම් දැක්වූවාය.
එවක ගුවන් විදුලියේ ප්‍රධානියාව සිටි ඩී. එම්. කොළඹගේ ගේ මඟපෙන්වීමෙන් ගුවන් විදුලියට එක්වී ආචාර්ය දයාරත්න රණතුංග යටතේ සංගීතය ප්‍රගුණ කළ අමිතා 1962 දී සරල ගී පරීක්ෂණය සමත් ව ටියුඩර් ජයශාන්ත සමග විලක නෙළුම් මට කුමටද ගීතය ගායනා කළාය.
මර්වින් පෙරේරා සමග, එක මොහොතක් ඔබ සෙවණේ ගීතය ගායනා කිරීමත් සමග සරල ගී ගායන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වූවාය.
ඇය සංගීතවේදී වික්ටර් දළුගම සමග කරුණාරත්න අබේසේකරයන්ගේ, රන් දොරින් එන්න ආදරේ ගීතය ගායනා කරමින් යුග ගීත ශිල්පිනියක් ලෙසද දස්කම් පෑවාය. පසුව ඔහු සමග විවාහ විය.
ඉන් පසුව මියුරු ගී රැසක් ගායනා කිරීමට ඇයට වරම් හිමි විය. දශක පහකට වැඩි කාලයක සිට සරල ගී ගායන ශිල්පිනියක මෙන්ම චිත්‍රපට ගායන ශිල්පිනියක ලෙස ද, රසික දන මන සිය මධුර හඬින් සුවපත් කිරීමට අමිතා වැදිසිංහ ශිල්පිනියට හැකි විය.
පින්න මල් පිපී පින්නේ, කන්ද උඩින් හඳ පායන ලීලා, තාරුකාවලින් ලියූ නමුදු අම්බරේ, අනෝතත්ත විල නෙළුම නෙළාලා, බැද්ද පුරා සුදු රෙද්ද, එක මොහොතක් ඔබ සෙවණේ, විලක නෙළුම් මට කුමටද, සෙංකඩගල පුර දළදා බුදුරැස් සහ හිරු කුමරුයි සඳ කුමරුයි ඉස්සර කාලේ වැනි ඇය ගායනා කළ ගීත රසිකයන් අතර ඉමහත් සේ ජනප්‍රියත්වයට පත් විය.
ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ගුරුවරියක ලෙසද සේවය කළාය. ඇය වීරකැටිය මහ විද්‍යාලය, කොළඹ අශෝක විද්‍යාලය, පිඹුර මහ විද්‍යාලය, බුලත්සිංහල විද්‍යාලය, පානදුර පින්වත්ත විද්‍යාලය, පානදුර රාජකීය විද්‍යාලය සහ සුධර්මෝදය විද්‍යාලය වැනි විදුහල්වල ඇය සංගීත ගුරුවරියක වූවාය. පසුව රජයේ පාසල් සංගීත අධ්‍යක්ෂ තනතුර දරා විශ්‍රාම ගත්තාය.