SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බස් රථවල නිතර ඇහෙන ගීත ආදිය, මෙන් ම එල්ලා ඇති සරසා ඇති සුකුරුත්තන් ආදි ඉතා අවලස්සන,

බාධාකාරී ඝෝෂාකාරී දේ බවට මා ද ඇතුළු වර්තමාන ව්‍යවහාරයෙන් මධ්‍යම පාංතිකයි කියන බොහෝ පිරිසක් කියන බව පැහැදිලි ය.

 

වාහනයක ආරක්ෂිත බව හා අනෙක් කෘත්‍යමය කාර්යයන් සැලකූ විට මේවා වැඩකට නැති හා හානිකර බාධාකාරී දේ බව පැහැදිලි ය. එනම් අමරකීර්තිගේ වචනයෙන් කරණීය තර්කනය අනුව මේවා ඉවත් කළ යුතු ය.

 

පෙනෙන්නට තිබෙන දේ නම් මේවා අයිති හා මේවා පදවන ජන කණ්ඩායමේ විශාල පිරිසක් මේ ගීත හා සැරසිලි සුකුරුත්තන් කලා රසඥතාවක් ලෙස සලකන බව ය. බොහෝ අපහසුවෙන් මුදල් සොයා ත්‍රීවිලරයක් ගන්නා තරුණයාට ඒ ත්‍රීවිලරය "ලස්සන" කිරීමේ වුවමනාවක් ඇති වේ. එල්ලන කෑලි බෑලි, බල්බ්, කෙටි වාක්‍ය ආදිය ඒවාට එන්නේ එම රසඥතා මට්ටම අනුව මිස ඒවායේ කිසිදු කෘත්‍යමය වැදගත්කමක් ඇති නිසා නො වේ. හුදෙක් තමාගේ රථය සමඟ බැඳීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

 

මීට සම්මුඛ විය හැකි පහසු හා නොගැඹුරු ආකාරය වන්නේ එය පහත් කලා රසඥතාවකි.. මොළය වැඩී නැත.. ගොබ්බ ය ආදී වශයෙන් හෙළා දැකීමයි. එහෙත් ප්‍රශ්නය වන්නේ මධ්‍යම පාංතිකයන්ගේ කලා රසඥතාව ගැන ද ඔය ප්‍රශ්නය ම කිව හැකි වීම ය.

 

 

ගෙයක් හදන පහල මධ්‍යම පාංතිකයෝ බිත්තිවල පාට තලි ගාති, හැට හුටහමාරක් මල් ගස් වවති, පතොක් ආදී විවිධ ගස් ගෙවල් තුළ තබා ගනිති. මධ්‍යම පාන්තික තරුණියෝ විවිධ අත්කම් නිර්මාණය කියන නුපුහුණු, ශික්ෂණයකින් තොර ඔහේ විවේකයට කළ දේවල් බිත්තිවල එල්ලීම ආදී දේ කරති. මේස මත මල් වාස් තියති. පාසල් පොත්වලට කවර දම්මති. පාසල් බිත්තිවල, ඩෙස්ක්වල අවුරුදු පතා පාට උලති. ඔවුන්ගේ සාදවල ද ඔවුන් නටන්නේ "පස්ස පස්ස පස්ස.." වැනි ගීතවලට ය. ඔවුන්ගේ විවාහ මංගල උත්සවවල ද කන දෙදරන්නට බෆල් ය. මේ කලා රසඥතාවය ඇත්තට ම ඉහල ද?

 

 

අනෙක් අතට උගත්, විදග්ධ මධ්‍යම පාංතිකයා ඔය ඉහත කී දේ වැනි දේ ද පහල රසඥතාවක් ලෙස ගනු ඇත. එහෙත් ඔවුහු කලාගාර අස්සේ හා පාරවල් අයිනේ ඇඟේ කම්බි ඔතාගෙන පටි අලෝගෙන, පාට ගාගෙන, කුරුස උස්සාගෙන දඟලති. යටි ගිරියෙන් හූ කියමින් ගී ගයති. යකඩවලට විවිධ බඩුවලට තලමින්, ශෘතියෙන් පිට ගී කියමින් විකල්ප සංගීත කරති. එහෙට මෙහෙට පාට තලි ටිකක් ගා අමුර්ත චිත්‍ර යැයි කියති ඒවා ගෙවල්වල එල්ලාගනිති. කෙහෙල් ගෙඩි සෙලෝටේප්වලින් බිත්තිවල අලවා කලාව යැයි කියති. පැල්පතයි ගස් දෙකයි දා චිත්‍රපටි හදති. බර වචනවලින් වෙන කොහේ හරි මොනවා හරි ගැන හෑල්ලක් ලියා විචාර ලෙස හඳුන්වති. අළු පාට බදාමෙක ඇටකටු ඔළු කෑලි ටිකක් එහෙම් මෙහෙන් දමා මහා කලාත්මක ස්මාර්ක යැයි කියති. ඉටි කාමරයක අමුතු දෙයක් ඇතැයි කලාව යනු ඒ අමුතු දෙය යැයි බටහිර ඉවුරේ හෑලි ලියති.

 

ප්‍රශ්නය වන්නේ වාහනවල එල්ලන සුදු යකඩ කෑලි, ස්ටිකර්, බල්බ් ආදී දේවල්වල ද අමුතු යමක් ඇතැයි ඒවා භාවිත කරන අය හිතන බව ය. මේවා ප්‍රතික්ෂේප කළ හැකි වලංගු ආකාරය වන්නේ ලියනගේ අමරකීර්තිගේ වචනයෙන් කරණීය තර්කනයයි. එනම් මේවායින් අදාළ උපකරණයට ව්‍යුහයට කෘත්‍යමය ප්‍රයෝජනයක් නොමැති අතර බාධාවන් සිදුවේ යන්න ය.

 

 

ගෝඨාභය ආරක්ෂක ලේකම් කාලයේ කොළඹ "ලස්සන" කිරීම සඳහා අර බදාමේ ඇටකටු පේන කාගේ දෝ ආරාමයක්යැයි කියන "කැත" ස්මාර්කය ගලවා ඉවත් කළේ ය. ඊනියා විදග්ධ, කලාකාමී මධ්‍යම පංතියට අනුව මෙය හරිහමන් කලා රසිකත්වයක් නැති වීමෙන් කළ වැඩකි. අනෙක් අයට එය "කැත" බදාම තලියක් ඉවත් කිරීමකි.

 

 

අනෙක් අතට මේස වැහෙන්නට තියන උස මල් වාස් ඉවත්කොට මේසය "පිරිසිදුව" තබන ලෙස අයකු කීවහොත් සාමාන්‍ය මධ්‍යම පාංතිකයන් බොහෝ දෙනකු ඊට හිත් අමනාප කරගනු ඇත. කිසි කලා රසිකත්වයක්, මලක් ගැනවත් සංවේදිත්වයක්, සොබා දහම ගැන ආදරයක් නැතැයි මැසිවිලි නඟනු ඇත.

 

ත්‍රීරෝද රථ, බස් රථවල ද ඔය එල්ලා තියෙන සුකුරුත්තම් ගැන අදාළ අයට ඇත්තේ අර දාර්ශනික නියෝජිතයන් ඉටි කාමර ගැන කියන්නාක් මෙන් අමුතු දෙයක් ලෙසයි. වාහනවල එල්ලූ සුදු යකඩ කැබැලිවලි මොකක්දෝ අමුතු දෙයක් ඇති බව ඔවුන් හිතන බවක් පෙනේ. අපට ඒවායේ පෙනෙන්නේ මාරයෙකි. ඒ අමරකීර්තිගේ වචනයෙන් කරණීය තර්කනයකි.

 

 

විශ්වවිද්‍යාලවල පවතින ශාස්ත්‍ර පීඨ ගැන ද (මේවායින් භාෂා අධ්‍යයන, පුරාවිද්‍යාව ආදී ව්‍යතිරේක කීපයක් අත්හළ විට) ඇති අදහසක් වන්නේ මේවා විශ්වවිද්‍යාලවල එල්ලා ඇති සුදු යකඩ කැබලි බවයි. මේවාට ඇරිස්ටෝටල්ගේ සිට ව්‍යාජ ඉතිහාස ලියා පාරකාලික (diachronic) තර්කනයකින් ගැලවී යා නො හැක. සමකාලිකය (synchronic) තර්කනය තුළ මේවා විශ්වවිද්‍යාලවල එල්ලූ සුදු යකඩ කෑලි ය. මේවාට යම් මුදලක් වෙන් කොට නාස්ති වී යන අතර එයින් රැකියා විරහිත රැකියාවකට සුදුසු හැකියා නැති උපාධිධාරීන් හෙවත් රත්තරන් පැළඳූ කටුස්සන් යන සමාජ ව්‍යසනයක් බිහි වේ. මේ මේවායින් පැළකරන ප්‍රායෝගිකත්වයෙන් දුරස් විකාරරූපී බාල මතවාදවලට අමතරවයි.

 

 

මෙයට ඉදිරිපත් කෙරෙන ප්‍රමුඛ තර්කය නම් කරණීය තර්කනයෙන් මේ දෙස බැලීම වැරදි බවත් මේ ශාස්ත්‍ර පීඨවල "අමුතු" දෙයක් ඇති බව ය. මේවා සුදු යකඩ කෑල්ලේ "අමුතු" දෙයට වඩා වෙනස් නො වේ. අද පෝස්ටුවක දුටු පරිදි මෙවැනි දේ මිනිසුන්ගේ හීන ය.

 

 

අමරකීර්තිලාගෙන් නියෝජනය වන මේ විශ්වවිද්‍යාල  සුකුරුත්තන් කෑලිවලින් විශ්වවිද්‍යාලත් clean කළ යුතු ද?

 

කලාව යනු පරම උත්තරීතර යමක් නොව කුණවී යන තුවාලයකි. තුවාල කැසීමේ දී යම් වින්දනයක්, මිහිරක්, සනීපයක් දැනේ. තුවාලයක් කැසීමේ වුවමනාව හැමෝට ම පාහේ ඇති වන්නකි. කස කසා සිටීමට වඩා තුවාල සනීප කර ගත යුතු ය. නො කසා සිටීමට අපහසු වීම ස්වභාවයකි. එය සීමාව නො ඉක්මවා පරිස්සමින් කසාගත යුත්තකි. වර්තමාන සමාජය කලාව හූරාගෙන පාරවාගෙන ඇත.

 

@තමලු මලිත්ත පියදිගම

නවතම ලිපි