SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේ සමාජය පුරුෂෝත්තම සමාජයක්. පුරුෂෝත්තම සමාජයේ ප්‍රමුඛයා වෙන්නේ පිරිමියා.

නමුත් මේ හැම පිරිමියෙකුගේ ම ආධ්‍යාත්මයේ පිරිමියත් නොවන ගෑනියෙකුත් නොවන නපුංසකයෙක් එහෙම නැත්නං නිවට නියාලු පිරිමියෙක් ජීවත් වෙනවා. ඒ පිරිමකම වඩාත් සමීප වෙන්නේ ගැහැණුකමට කිව්වොත් හරි. කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් නපුංසකයෙක් නැත්නම් පොන්නයෙක් මේ පුරුෂෝත්තම සමාජයේ පිරිමි රූපකාය තුල ජීවත් වෙනවාමයි.

 

vishnu vasu 2

 

විෂ්ණු වාසුගේ සාරි ඇඳපු පිරිමි නව කථාවේ කියවෙන යටිපෙල අන්න ඒක. මේ නව කථාවේ ආධ්‍යාත්මය වෙන්නේ පිරිමි රූපකාය තුල ජීවත් වෙන මෙන්න මේ කියන නපුංසක එහෙම නැත්නම් ගැහැණුකමට ආශක්ත වෙච්ච පිරිමි මනෝකාය විශ්ලේෂණය කිරීම. විෂ්ණුගේ සාරි ඇඳපු පිරිමි නව කතාව ගොඩනැගෙන්නේ උතුරේ වැල්වැටිතුරේ උපන් අර්ජුන් නම් පිරිමි රූපකාය තුල ජීවත්වෙන ගැහැණු මනෝකාය වස්තු විෂය වූ චරිතයක්.

 

|කවුරු හරි සාරි ඇඳපු පිරිමි නව කතාව සමාජයේ ආන්තික කුල ප්‍රජාවක් වූ LGBT කුලකය කේන්ද්‍රගතව ලියැවුනු නව කතාවක් කියනවනං ඒකට මගේ ඒතරම් එකඟත්වයක් නෑ. සැබවින්ම සාරි ඇඳපු පිරිමි කියන්නේ පුරුෂෝත්තම සමාජයේ පිරිමිකම තුල ජීවත්වන ගැහැණු ආත්මය විශ්ලේෂණය කරන මනෝවිද්‍යාත්මක නව කතාවක් කිව්වොත් හරි.

 

ලාංකීය සමාජ සන්ධර්භයේ දැනටත් සුජීවත්වෙන "ලලිත් ධර්මවර්ධන" නම් ක්‍රියාකාරි චරිතය කේන්ද්‍රගත කරමින් විෂ්ණු වාසු අපූරුවට සාරි ඇඳපු පිරිමි නව කතාව ගොඩනගනවා. ඒ සදහා දශක කිහිපයක් එකතු කරගත් ස්වීය අනුභූතින් ද උපයෝගි කරගනිමින් විෂ්ණු මේ නවකථාව සජීවීකරණය කිරීම විශේෂත්වයක්. සැබවින්ම සාරි ඇඳපු පිරිමි , සාහිත්‍ය රසයෙන් අනූන නවකථාවක් වුවත්, මේ පිළිබඳ මගේ කියවීම වන්නේ එය නව කතාවේ සීමා මායිම් අභියෝගයට ලක්කල පර්යේෂණ නිබන්ධයක් බවයි.

 

සමාජයේ එක් ආන්තික කුල ප්‍රජාවක් වූ LGBT කණ්ඩායම්හි විවිධ චරිත සමග ජීවත් වෙමින් තොරතුරු ගවේෂණය කරන විෂ්ණු වාසු සිය පර්යේෂණය සදහා සහභාගිත්ව නිරීක්ෂණ ක්‍රමය උපයෝගි කරගෙන තියෙනවා. නමුත් විෂ්ණු තම  පර්යේෂණ තිසීසය ඉදිරිපත් කරන්නේ "ශාස්ත්‍රීය ලේඛන ශෛලියෙන් " නොවීම විශේෂිත කාරණයක්.

එතැනදී විෂ්ණු උපයෝගි කරගෙන තිබෙන්නේ සාහිත්‍යමය භාෂාව. සාරි ඇඳපු පිරිමි පර්යේෂණ නිබන්ධයක් නොවී නව කතාවක් ලෙස සකස් වෙන්නේ නිර්මාණාත්මක ප්‍රවේශයක් ලෙස සාහිත්‍යමය ඉදිපත් කිරීමක් කරතිබෙන නිසා.

 

|සාහිත්‍යය යනු මනුෂ්‍ය ජීවිතය කියවන්නා වූ රචනාවක්. මනුෂ්‍ය සබඳතා ගොඩනැගීම සේම, එම සබඳතා බිඳවැටීම පිළිබඳ කතාව වඩාත් ශෝභමාන ලෙස විෂ්ණු වාසු සාරි ඇඳපු පිරිමි නවකතාව තුල ගොඩනගා තිබේ. උතුරේ වැල්වැටිතුරේ වංශවත් කුල පරම්පරාවක පිරිමි දරුවකු ලෙස උපත ලබන අර්ජූන් සමාජය නම් වූ විෂම සංස්ථා පරාසය තුල ලබන ජීවන අත්දැකීම් පාඨකයාට සහකම්පනයක් ඇතිකිරන ලෙස විෂ්ණු අකුරුවලට අමුණා ඇත.

 

 

අර්ජූන් යනු උපතින්ම අංග සම්පූර්ණ පිරිමියෙක් බව පැහැදිලිය. නමුත් පියාගේ අධිපතිවාදී පිරිමි ශරීරයේ වූ ගැහැණු මනෝකාය ආශක්ත වන්නේ දියණියකට. පියාගේ ඒ කැමැත්ත අර්ජූන්ගේ මව වෙතින් ප්‍රකාශ වෙන්නේ කුඩාකල සිටම අර්ජුන් ගැහැණු දරුවෙකු ලෙස වෙස්ගැන්වීමෙන්. මෙහි අවසන් ශෝකාන්තය උපතින් පිරිමියෙක් වූ අර්ජුන් මනසින් කාන්ථාවක් ලෙස ගොඩනැගීම.

 

|මනුෂ්‍ය ජීවිතය කොතරම් සංකීර්ණ ප්‍රපන්චයක් ද කියන කාරණය සාරි ඇඳපු පිරිමි නව කතාවේ අර්ජුන්ගේ චරිතය අපිට විශද කරනවා. ඩෙනිම් ඇඳපු , තොල් රතුකරපු ලතාවට ගමන් කරන පිරිමින්ට සමාජයේ තවත් (පිරිමින් ) පිරිසක් පොන්නයා , නච්චියා , ලොල්ලා , සමනලයා කියලා විහිලු කරන්න විතක් නොවෙයි, කායිකව පීඩාකරන්නත් පෙළඹෙන පරපීඩක මානසිකත්වයකින් පෙලෙනවා. එහෙම පිරිමි ශරීර අපි අතර ඕනතරං ඉන්නවා. මහ දවාලේ මේ මිනිසුන්ට පොන්නයා , සමනලයා කියලා පරිභව කරන කීයක් පිරිමි ඉන්නවද , රාත්‍රියට මේ මිනිස්සුන්ගෙන් කායික සුවය විඳින.

 

විෂ්ණු වාසු සාරි ඇඳපු පිරිමි නව කතාවෙන් ඒ ප්‍රශ්නය විමසනවා. කොළඹ 07 සුපිරි මන්දිරවල පමණක් නෙවෙයි, ගෝල් රෝඩ් එකේ, කොල්ලුපිටියේ ඩික්මන් රෝඩ් එකේ ගෝල්ෆේස් එකේ රාත්‍රියට එළිබහින නිසාචර පිරිමි තවත් පිරිමි පංචස්කන්ධයකින් රති සුවය ලබන්නේ අන්න අර මනසේ ජීවත් වෙන නපුංසක මනෝකායට ඇති ආශක්ත බව නිසා කියලා සමහරවිට ඒ ගොල්ලො උනත් දන්නේ නැතුව ඇති.

 

පොදු සමාජය ඉදිරියේ සමලිංගිකත්වයට , සමරිසිබට එරෙහිව වීදි බහින ගොඩක් පිරිමි මනසින් ඒ සුවයට කැමතියි. ඒක ජීව විද්‍යාත්මක ඇත්ත. නමුත් ඊනියා සංස්කෘතික කඩතුරාව සමලිංගිකත්වයට , සමරිසිබවට එරෙහිව වීදි සටන් කිරිම ෆැෂන් ෂෝ එකක් කරගෙන. පොන්නයා , නච්චියා , සමනළයා කියලා කවුරු හරි කෙනෙක්ට පරිබව කරනවනම් එයා මේ අය එක්ක රතිසුව විඳින්න කැමති හෝ ඒ කාමුක සුවය විඳපු කෙනෙක් කියන එක තමයි මනෝවිද්‍යාමක සත්‍යතාවය.

 

|විෂ්ණු වාසුගේ සාරි ඇඳපු පිරිමි යනු සමාජයේ එක් ආන්තික කුල ප්‍රජාවක් පිළිබඳ කල අපූරු සමාජ විද්‍යාත්මක පර්යේෂණයක්. එහි ඇති විශේෂත්වය වන්නේ ඔහු එය නව කතා ආකෘතියකින් ඉදිරිපත් කිරීමයි. නව කතාවක් ලෙස සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව (LGBT) පිළිබඳ කරන මේ සමාජ හෙලිදරව් කිරීම නව කතා ආකෘතියෙන් ගොඩනැගීම නිසා විශල චිත්‍රයක් පාඨක මනස තුල සිතුවම් කිරීමට විෂ්ණු වාසුට හැකියාව ලැබී ඇත. සාහිත්‍ය යනු මනුෂ්‍ය ජීවිතයේ අඳුරු අහුමුවලට නිකුත් කරන ආලෝක ධාරාවක් වැනිය. අර්ජුන්ගේ පමණක් නොව සංක්‍රාන්තික ලිංගිකත්වයට පත්වූ බොහෝ දෙනෙකුගේ ජීවතවල කාලයේ වැලිතලාවෙන් වැසීගිය අනුභූතින්/අත්දකීම් නම් අඳුරු අහුමුවලට තියුණු ආලෝක ධහරා නිකුත් කරන්නට සාරි ඇඳපු පිරිමි නව කතාව සමත්ව තිබේය යනු මගේ නිගමනයයි.

 

 

@ ඉන්දික ජයරත්න.

අධ්‍යක්ෂ, සිංහල සේවය,

ශ්‍රීලංගුවි සංස්ථාව