කොට්ටහච්චිලාගේ පරිසරවාදය
ටොෆි කොලය පාරට විසිකර දමන පුද්ගලයාට වඩා වැඩියෙන් එය අදාළ කසල බඳුනට දමන පුද්ගලයා විසින් පරිසර විනාශය නඩත්තු කරයි.
(මෙය කොට්ටහච්චි ගැන ලිපියක් නොවේ. නමුත් කොට්ටහච්චි තුලින් නියෝජනය වන්නේ කුමක්ද යන්න පිළිබඳවයි).
"පරිසරය යනු තමන්ගේ ශරීරයේ කොටසක් ලෙස සිතිය යුතු" බව කොට්ටහච්චි විසින් පවසා තිබේ. කොට්ටහච්චිලා යනු නිදහස් අධ්‍යාපනය තුලින් ඉහලට ගිය "දක්ෂයින්ය" (මීට සමාන ලෙස හැසිරුණ චරිතය සීතා අරඹේපොළයි). කොට්ටහච්චි තුලින් නියෝජනය වන්නේ ලංකාවේ උගත් මධ්‍යම පන්තියයි. බටහිර විද්‍යාත්මක පරිසරවාදය නියෝජනය වන්නේ ලංකාවේ උගත් මධ්‍යම පන්තිය මගිනි. බටහිර පරිසරවාදයේ ප්‍රධාන අංගය වන්නේ පරිසරය රැකගැනීම උදෙසා තම පුද්ගල වගකීම අවධාරණය කිරීමයි. එනම්, තම තමන් විසින් පරිසරයට අදාලව තම පුද්ගල වගකීම මගනොහැර අකුරට ඉටුකරන්නේ නම් පරිසරය රැකගනිමින් කිසිඳු ගැටලුවක් ඇති නොවී විද්‍යාත්මක සංවර්ධන මාවත ඔස්සේ ගමන් කල හැකිය යන්නයි. ඒ අනුව ඔබ විසින් කල යුතුව ඇත්තේ පරිසරය සම්බන්ධයෙන් විද්‍යාව විසින් ඔබට ලබා දී ඇති නීති රීති සහ ප්‍රතිමාන අකුරට පිළිපදිමින් කටයුතු කිරීමයි. ඒ සඳහා අවශ්‍ය දැනුම සහ අදාළ යටිතල පහසුකම් සැපයීම ආණ්ඩු විසින් මෙහෙයවිය යුතු රාජ්‍යයේ අනීවර්යතාවයන්ය.
උදාහරණ වලින් පවසන්නේ නම්, පොලිතීන්, පාල්ස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය අදාළ ලෙස වර්ග කොට පලාත්පාලන ආයතනයේ කසල එකතු කිරීමේ ක්‍රියාවලියට සම්පාදනය කල යුතුය. එසේම ලිතියම් අයන් වැනි බැර ලෝහ අඩංගු නිෂ්පාදන, බැටරි, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැනි දේ අදාළ ස්ථාන වලට භාර දිය යුතුය. එසේම ඔබ විසින් සිදු කරන පරිසරයේ උකහාගනීම්, ඔබ පාවිච්චි කරනා භාණ්ඩ හා සේවා තුලින් "සොබා දහම් මාතාවට" සිදුවන හානිය හානිපූර්ණය කල යුතු ක්‍රම සහ විධි විද්‍යාව විසින් තීරණය කර තිබේ (ඒවා "දන්නේ" විද්‍යාඥයින් වන අතර ඔවුන් විසින් තීරණය කරන, පවරන දැනුම සහ කාර්යන් අප ප්‍රශ්න කිරීමකින් තෝරව භාරගත යුතුය. ඒවා ප්‍රශ්න කරන්නේ 'විද්‍යාත්මක දැනුම' සහ 'විද්‍යාත්මක විධික්රමය' ගැන "දැනුමක්" හෝ "විශ්වාසයක්" නොමැති මෝඩයින්ය. උගත් මධ්‍යම පන්තිය කල යුතුව ඇත්තේ එවැනි මෝඩයින් දෙස කට කොනකින් සිනා සී බලා තම කාර්යන් අකුරට ඉටු කිරීම පමණි). උදාහරණයකට ඔබට අදාළ කාබන් විමෝචනයන් හානිපූර්ණය කිරීම සඳහා ගස් වැවිය යුතු බව විද්‍යාව විසින් තීරණය කර ඇත. ඒ අනුව ඔබ පාරිභෝජනය කරන භාණ්ඩ සඳහා කාබන් බද්දක් අය කෙරේ. ඒවා එම භාණ්ඩ වල අගයට එකතු කර ඇත. ඒ අනුව ඔබ ඒවා මිල දී ගන්නා විටම ඔබගේ වගකීම ඉටු කර අවසන්ය.
පරිසරවාදයට අදාලව මෙලෙස ඉටුකළ යුතු ප්රතිපදාවන් රාශියක් තිබේ. එම ප්රතිපදාවන් උල්ලංඝනය නොකිරීම නූතන යහපත් පුරවැසියාගේ වගකීම සහ අනීවාර්යතාවයකි. ඔබ ගුණ හයපත් පුරවැසියෙකු බවට පත්වන්නේ එම ප්රතිපදාවන් අනුගමනය කරන්නේ නම් පමණි. ඒ අනුව, විද්‍යාව මගින් තීරණය වූ පරිසරවාදය යනු පැහැදිලිවම ආගමේ නූතන ස්වභාවයකි. පරිසර අර්බුධය යනුවෙන් තත්වයක් කිසි ලෙසකින් නොපැවතුන කාලයේ බිහි වූ ආගම් විසින් යහපත් සමාජයක පැවැත්ම සඳහා අනුල්ලංඝනීය ප්රතිපදාවන් නියම කොට තිබේ. බුද්ධාගමට අදාලව පවසන්නේ නම්, පංච ශීල ප්රතිපදාවන් රැකීම පෘතග්ජන යහපත් පුරවැසියාගේ කාර්යභාරයකි. එබැවින් නූතන පෘතග්ජන යහපත් පුරවැසියා විසින් අනීවාර්ය ලෙසම රැකිය යුතු අනුල්ලංඝනීය ප්රතිපදාවන් (පරිසරවාදයට අදාලව) ඊට එකතුවිය යුතුව ඇත.
පාරිසරික අර්බුධයට එරෙහිව සටන් කිරීම සඳහා විද්‍යාත්මක තර්කනය (තර්ක බුද්ධිය - reason) සහ තාක්ෂණික විසඳුම් මත රඳා පැවතීම විසින් ගැඹුරු ව්‍යුහාත්මක සහ දෘෂ්ටිවාදාත්මක ගැටළු වසංකරයි. විද්‍යාත්මක පරිසරවාදය යන්න දෘෂ්ටිවාදාත්මක ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක වේ. එය පාරිසරික විනාශයට හේතු වන යටින් පවතින ධනේශ්වර පද්ධතියට අත නොතබන අතරම, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රතිචක්‍රීකරණය හෝ carbon footprints වැනි තාක්ෂණික විසඳුම් අනුව පාරිසරික ගැටළු රාමු කරයි.
සමාගම් "පරිසර හිතකාමී" ලෙස පෙනී සිටීමට "හරිත" වෙළඳ නාමකරණය සහ මතුපිට පාරිසරික පියවරයන් අනුගමනය කරන අතරම හානිකර භාවිතයන් ඒවා තුලින් දිගටම ප්‍රවර්ධනය වේ. එබැවින් පරිසර සංරක්ෂණය යනුම පරිසර විනාශය නඩත්තු කිරීමයි. විදුලි වාහන, පුනර්ජනනීය බලශක්තිය සහ කාබන් වෙළඳාම වැනි "හරිත" තාක්ෂණයන් බොහෝ විට විසඳුම් ලෙස සකස් කර ඇති මුත් මෙම තාක්ෂණයන් ධනවාදයේ එකම සූරාකෑමේ තර්කනය ප්රතිනිෂ්පාදනය කරමින් පරිසර විනාශය චිරස්ථාභාවයට පත්කරමින් තිබේ. උදාහරණය: විදුලි මෝටර් රථ තුලින් විමෝචනය අඩු කළ හැකි නමුත් නව ආකාර වලින් පාරිසරික හානිය සදාකාලික කරමින් ලිතියම් සහ දුර්ලභ කනිජ-ලෝහ නිස්සාරණය කිරීම මත රඳා පවතී.
පරිසරවාදය යනු පැහැදිලිවම ආගමික කතිකාවකි. ලාංකීය ධනවාදය ඉදිරියට ගමන් කිරීමට නම් මෙම පරිසරවාදී ආගමික කතිකාව වැළඳගත යුතුව ඇත. එසේ වැළඳගැනීමෙන් තොරව නීති රීති වලින් පමණක් "පිරිසිදු ශ්‍රී ලංකාවක්" ගොඩනැගිය නොහැක. නමුත් ආගම අබිං ලෙස පිළිගන්නා ජවිපෙ නායකයින් හට මෙම නූතන ආගම (පරිසරවාදය) අබිං ලෙස නොපෙනේ (ආගම දෘෂ්ටිවාදයක් වනවා සේම පරිසරවාදය ද දෘෂ්ටිවාදයකි) ඒ එය විද්‍යාත්මක බැවිනි.
එබැවින් කොට්ටහච්චිලා හට මහත් ආඩම්බර ලීලාවෙන් පරිසරය වෙනුවෙන් පෙනී සිටිය හැක්කේ පාපතරයෙකු දෙස බලමින්, තමන් සිල්වන්තියක් බව නිරූපණය කරමින්, තෙල්, මල්, පහන් සහ හඳුන් කූරු රැගෙන පන්සල් යන උපාසක අම්මා කෙනෙකු ලෙසිනි. සුදු පැහැති සිල් රෙද්ද වෙනුවට වර්ණවත් සහ අලුත් නයික් කැෂුවල් ඇඳුම් ඇඳ පැළඳ තම පුද්ගලික වාහනයෙන් ගොස්, වාහනයේ යතුර කලිසම් කොක්කක එල්ලාගෙන පරිසරය පිරිසිදු කිරීමට දායක වෙමින්, ඒ පිළිබඳව දීප්තිමත් ඡායාරූප සමාජ ජාල වල පල කරමින්, තමන් පාරිසරික සීලය රකින්නියක බවත්, ඔබ ද මෙම ආගම වැළඳගත යුතු බවත් පවසමින් ධර්මයේ හැසිරිය හැකිය.
මාක්ස්, එංගල්ස් සහ ලෙනින්ගේ සීමාවේ අවබෝධය සහිත ජවිපෙට සහ පෙසපට නූතන ධනවාදය සහ දෘෂ්ටිවාදය විශ්ලේෂණය කර ගැනීම කල නොහැකිය. නමුත් ඔවුන් බයිබල් ලෙස ඔවුනගේ කෘතීන් පිළිගැනීමට මහත් කැමැත්තක් දක්වනවා මිස (එය ද නැවතත් ආගමික ස්ථාවරයකි) ධනවාදයේ සවභාවය වෙනස් වී ඇති බවත්, එය විශ්ලේෂණය කරගැනීම සහ අවබෝධ කරගැනීම සාම්ප්‍රදායික මාක්ස්-ලෙනින්වාදී සීමාව තුල කල නොහැකි බවත් පිළිගැනීමට අකමැතිය.
විද්‍යාත්මක පරිසරවාදය පදනම් වී ඇත්තේ එහි ආධිපත්‍යධාරී ෆැන්ටසිය (විද්‍යාත්මක ආධිපත්‍ය තුලින් "සොබාදහම" හැසිරවිය හැකි බව), ස්වභාවධර්මය පිළිබඳ පරමාදර්ශී දැක්ම සහ විද්‍යාවේ "මහා අනෙකා" මත යැපීම පිළිබඳ විශ්වාසය මතය. විද්‍යාත්මක පරිසරවාදය තර්ක බුද්ධිමය (reason) විසඳුම් හරහා පාරිසරික ගැටළු විසඳීම අරමුණු කරයි. නමුත් මෙම උත්සාහයන් හැඩගස්වන ආශාවේ සහ දෘෂ්ටිවාදයේ අවිඥානික ව්‍යුහයන් ඊට කිසි ලෙසකින් අදාළ නොවන අතර පරාරෝපණය චිරස්ථායි කරමින් පවත්වා ගෙන යමින් යථෙහි ගැඹුරු ක්ෂිතිය ආවරණය කර සඟවා දමයි.
@ ස්පාර්ටකස් ලිපි
"Clean Sri Lanka" - 2 කොටස
https://slleader.lk/social/11666-clean-sri-lanka-2