SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉහළ කඳුකරය පාරිසරික වශයෙන් කෙතරම් වටින්නේද යන්න අමුතුවෙන් කිව යුතු නොවුණද

අද වන විට එහි වටිනාකම තඹේකටවත් මායිම් නොකරන තැනට පත්ව ඇත.

 

 

මේ පොළවට ගහ කොළට ජීවය දෙන වැසි සහිත වලාකුළු වියන් රඳවා ගනුයේ මධ්‍ය කඳුකරයෙනි. ජෛව විවිධත්වය අතින් අතිශය ඉහළය. දේශීය සතුනට මෙන්ම සංක්‍රමණික කුරුල්ලන් රැසකට එහි නිවහන සාදයි. අද වන විට එහි ශාක වැස්ම අතිශය දුර්වල තත්ත්වයක පවතී. වසර ගණනාවක සිට එහි දේශගුණ, කාලගුණ රටා වෙනස් වී ඇත්තේය. මරණාසන්නව වැතිර පණ නල රැක ගැන්මට යන්තම් හෝ දරන උත්සාහයක් සේ කඳුකරය ද අද සිය හුස්ම වෙනුවෙන් නිහඬ අරගලයක යෙදේ. එහෙත් මේ පෘථිවිය මත ජීවත් වන තවත් එක් සත්ත්වයෙක් පමණක් වූ, තවමත් බලලෝභීත්වයෙන් අසීමිත ආශා පසුපස හඹා යන මිනිසා කඳුකරයේ සිය අණසක පතුරුවාලමින් එය විනාශ කිරීමට පිඹුරුපත් සකසයි.

 

මද්යම 

 

රජ සමයෙහි කඳුකරය යනු අත නොගැසූ කැලෑ කුට්ටිය. එය කිසිදු අයුරකින් වගාවක් සඳහා භාවිත කොට තිබුණේ නම් නැත. ඒ සඳහා හේතු කිහිපයක් බලපා තිබිණි. ජලය උපදිනුයේ එහි නිසා එවකට ඒ කැලෑ කුට්ටි සුරක්ෂිතව ඉතිරි විය. කඳුකරයේ තැන් තැන්වල පිහිටි වගුරු බිම් ක්‍රියාත්මක වනුයේ කුළු වැවක් ලෙසටය. වැහි කාලයේ ඇද හැලෙන වැස්සෙහි ජලය එහි රඳවා ගෙන ක්‍රමයෙන් පහළට මුදා හරිනුයේ මේ ඔස්සේය. මේවා ස්වාභාවිකව සෑදුණු කුළු වැව් පද්ධතියක් සේ ක්‍රියා කරන නිසාම අතීත රජවරු මධ්‍ය කඳුකරයට අත තබා නැතැයි අනුමාන කළ හැකිය. මානව ක්‍රියාකාරකම් සීමා සහිත වූ නිසාම එහි වූයේ අතිශය ඉහළ ජෛව විවිධත්වයකි.

 

එය වෙනස් වූයේ යුරෝපීය ආක්‍රමණ සමඟ බව සංරක්ෂණවේදී රාජික ගමගේ ‘ඉරිදා මව්බිම’ට පැවැසීය. ඉන් පසු මේ බිම් ක්‍රමයෙන් කෝපි වගාවට නතු වන්නට විය. තේ වගාවටද මේ බිම් එළි කෙරිණි. රෝගයක් වැලඳී එහි කෝපි වගාව විනාශ වීමත් සමඟ තේ වගාව මධ්‍ය කඳුකරය මුළුමනින්ම පාහේ ආක්‍රමණය කළේය.  යුරෝපීයයන්ගේ ග්‍රහණයට නතු වීමට පෙර මධ්‍ය කඳුකරයේ බහුල ලෙසම දක්නට ලැබුණේ කඳුකරය වැසි වනාන්තර සහ උප කඳුකරය වැසි වනාන්තරය. හාවාඑළිය, සීතාඑළිය වැනි තෙත් පතන් බිම් සහ ආගරපතන, බෝගහපතන, දිඹුලපතන වැනි වියළි පතන් බිම්ද විය. යුරෝපීයයන්ගේ කෝපි වගාවත් සමඟ මෙහි ස්වාභාවිකව ගොඩනැඟුණු පරිසර පද්ධති සියල්ලකටම බලපෑම් ඇති කළේය. එහි ක්ෂුද්‍ර පාරිසරික තත්ත්වවලට දැඩි බලපෑමක් ඇති කළේය. යුරෝපීයයන් ඔවුන්ට ආවේණික ශාක හා බෝග වර්ග මෙරට භූමිවලට හඳුන්වාදී ඇත්තේ එතෙක් එම භූමිවල පැවැති ශාක සහමුලින් ගලවා දමා ඒවා ගිනි තබා විනාශ කිරීමෙන්ද අනතුරුවය.

 

bigstock canopy of the rainforest in ta 3104688 featured

 

එහි පෙර පැවති ස්වාභාවික භූ දර්ශන වෙනස් වීමට පවා මේ ශාක ප්‍රභේද හේතු වී තිබිණි. යුකැලිප්ටස්, ෆයිනස් ආදී ශාක මේ සඳහා බෙහෙවින් බලපෑම් කරන්නට විය. මේ වෙනස්වීම ආරම්භ වූයේ යුරෝපීයයන් මේ රටින් නික්ම ගියායින් අනතුරුවය. එකල්හි පැවැති තේ වගා බිම් එතරම් උස් නොවූ නිසා සුළං රටාවට බාධාවක් වූයේ නැත. එහෙත් ඉන්පසු මෙරට ඇතැමුන් මධ්‍ය කඳුකරයේ ගස් සිටුවීමට පටන් ගත් පසු සුළං රටාවට බාධා මතුවිය. කඳුකරයේ ස්වාභාවික පරිසරයට දරා ගත නොහැකි තැනටම මේ පැළ සිටුවීමේ ක්‍රියාවලිය පත්ව ඇත. පැළ සිටුවීම යනු විද්‍යාත්මක පදනමක් සහිතව සිදුකළ යුතු කාර්යයක් මිස හිතුමනාපයට සිදු කෙරෙන්නක් නොවන නිසාම ඇතැමුන්ගේ අදූරදර්ශී පිළිවෙත හේතුවෙන් හරිත පැහැය ආරක්ෂා කර ගැනීමට මධ්‍ය කඳුකරය පුරාම යුකැලිප්ටස් සිටුවා ඇත. යෝධ උණ ගස් සිටුවීමද එයට දෙවැනි වූයේ නැත. මින් සිදුවූයේ කඳුකරයටද දරා ගත නොහැකි ලෙසට එහි පරිසර පද්ධති තුළ විශාල ශාක ව්‍යාප්ත වීමය. එය සුළං රටාව වෙනස් වීමට මෙන්ම ක්ෂුද්‍ර පාරිසරික තත්ත්වය වෙනස් වීමටද බලපෑම් ඇති කළේය.

 

පෙර පැවැතියක් මෙන් මධ්‍ය කඳුකරය මැදින් එතරම් සුළඟක් හමා නොයයි. පහළ නිම්නයේ සුළං බාධක ඇති විට එය එක එල්ලේම හෝර්ටන්තැන්න කඳු මුදුනේ පිහිටි වලාකුළු වනාන්තරවලට බලපෑම් ඇති කරයි. ජලය සැපයෙන මූලාශ්‍ර ඇත්තේ මේ වලාකුළු වනාන්තර තුළය. වැස්සෙන් ඇද හැලෙන ජලයට වඩා වැඩි ප්‍රමාණයක් වලාකුළු වනාන්තර වායුගෝලයෙන් උරාගෙන පොළොවට ලබාදෙයි. සක්‍රිය වලාකුළු වනාන්තරයක සියයට හතළිහක ජල ප්‍රතිශතයක් වර්ෂාවෙන් ලැබෙන කල ඉතිරි ප්‍රමාණයම උරා ගනුයේ වායුගෝලයේ ඇති ජල වාෂ්ප තුළිනි. පහළ නිම්නයේ පරිසර තත්ත්ව වෙනස් වන කල වලාකුළු වනාන්තර සමූහය වෙත ඇදී යන සුළං රටා සහ වලාකුළුවල ස්වභාවය වෙනස් වේ. සුළං නොමැති නිසාම වලාකුළු කැටි නොගැසෙයි. සුළඟේ වේගය අඩාල වී යයි. පහළ නිම්නයේ ඇති උසින් වැඩුණු විශාල ශාක පද්ධතිය නිසා වලාකුළු වනාන්තර මැරී යෑමට පටන් ගනී.

 

සුළං අඩුවීමත් සමඟ මේ ප්‍රදේශ වියළි වීමට පටන් ගෙන ඇත. වසර 25කට පමණ පෙර තලවාකැලේ ප්‍රදේශයේ පැවැති දේශගුණ රටාව අද වන විට මුළුමනින්ම පාහේ වෙනස් වී ඇත. එනිසාම කඳුකරය ප්‍රිය කළ කඳුකරවාසී සමනල් රැළ එහි දක්නට ඇත්තේ නැත. උන් සිටිනුයේ නානුඔයෙන් උඩ ඉහළ ප්‍රදේශවලය. හෙළ ගෝමරා ා (sri lankan tiger) ඉන්දුව නේසයා (Indian red admiral) වනාරි (Painted lady) වැනි සමනල් විශේෂ පරිසර පද්ධති වෙනස්වීමත් සමඟ වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වී ගොස්ය. දේශගුණ විපර්යාස මෙන්ම මිනිසා විසින්ම සිදුකරන ලද පරිසර පද්ධති වෙනස් කිරීම දරුණුවටම බලපා ඇත්තේ කඳුකර වාසී සමනලුන්ටය. පිදුරුතලාගල කඳු මුදුනින් උඩටම ගිය පසු උන්ට මියෙනවා හැරෙන්නට තවත් යන්නට තැනක් නැත.

 

 

sri pada6

 

 

ගිනිගත්හේන වැනි මධ්‍ය කඳුකරයේ පහළම කොටසේ හුන් සතුන් අද වන විට තලවාකැලේ පසු කරගෙන නානුඔය දක්වාම සංක්‍රමණය වී ඇත. මැද රට සිටි සතුන් දැන් මධ්‍ය කඳුකරයේය. යුකැලිප්ටස්, මී, කොස් ආදී මින් පෙර මධ්‍ය කඳුකරයේ නොතිබූ ශාක, පැළ සිටුවීම් හරහා කඳුකරයේද ව්‍යාප්තව ඇත. අද වන විට මධ්‍ය කඳුකරයේ ප්‍රමුඛ ශාකය බවට පත්ව ඇති යුකැලිප්ටස්, කොස්, අලි පේර වැනි විදේශීය ශාක මැද රට ප්‍රදේශවල ව්‍යාප්තව පැවැති ශාකයන්ය. මධ්‍ය කඳුකරයට ආවේණික ශාක මානව ජනාවාස ආශ්‍රිතව දක්නටවත් නැත. ඒවා හෝර්ටන්තැන්න, පිදුරුතලාගල, ඉකිලියා මාන වැනි ප්‍රදේශවල පැවතුණද ආක්‍රමණශීලී ශාක හේතුවෙන් එම ශාකද දැඩි ලෙස තර්ජනයට ලක්ව තිබේ. ගැල්වේස් ලෑන්ඩ්හි ඇති ශාක අතරින් සියයට හැටක්ම ආක්‍රමණශීලී ශාකය. හෝර්ටන්තැන්නෙහිද හඳුන්වා දුන් ආක්‍රමණශීලී ශාක වර්ග හතළිහක් පමණ වෙයි. ඉනුත් යුලැක්ස්, යුපටෝරියම් හා නොට් වීඩ් යන ශාක ප්‍රධාන තැනක් ගනී. නුවරඑළියෙහි ඇස ගැටෙන හරිත පැහැය මැවෙන්නේ දේශීය ශාක වලින් නොවේ. දේශීය පරිසර පද්ධති විනාශ කොට දමා පිටතින් හඳුන්වා දුන් ශාකවලිනි.

 

 

මධ්‍ය කඳුකරයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්තව ඇති තේ වගාබිම්වල වල්පැළෑටි මර්දනයට බහුලවම භාවිත වනුයේ ග්ලයිෆොසේට්ය. එය අන්තර්ජාතික වශයෙන් රටවල් ගණනාවක් තහනම් කළ රසායනිකයකි. ඉන් වල්පැළ මර්දනය වීමට අමතරව පරිසර පද්ධතිවලට දැඩි හානියක් සිදු කරයි. මේ නිසාම දේශීය ශාක ප්‍රජාව එහි සම්පූර්ණයෙන්ම පාහේ වඳ වී ගොස්ය. වගා බිම්වල ඉතිරි වී ඇත්තේ උග්‍ර ආක්‍රමණශීලී ශාක පමණි. තේ වතු ආශ්‍රිතව හා ග්ලයිෆොසේට් භාවිත කරන භූමි ආශ්‍රිතව මේ වන විට සමනල් ගහනය ඉතා අඩුය.

 

 

කඳුකරයේ තිබූ කුළු වැව් පද්ධති අද වන විට එළවළු වගාවට නතු වී අවසන්ය. ඉංග්‍රීසි පාලනයේදී තණකොළ කැපීම සඳහා පමණක් අවසරය හිමි වූ මේ බිම් එම පාලනය බිඳවැටීමත් සමඟම එළවළු වගාවට යොදා ගැනිණි. වගුරු බිමක එළවළු වැවීමට නොහැකි නිසා එය මැදින් ජලය ගලායෑමට ගැඹුරු කානුවක් කපා ඒ දෙපස වගා කිරීමට පෙලඹී තිබිණි. ඉන් සිදු වූයේ වගුර වියළීයෑමය. ආවේණික සතුන්ට මෙන්ම ශාක ප්‍රජාවටද උන්ගේ භූමිය අහිමි විය. එහි ජීවත් වූ ආවේණික ගෙඹි විශේෂ, කකුළු වර්ග, පැළෑටි වර්ග විශාල ප්‍රමාණයක් මින් වින්දිතයෝ බවට පත්වුහ.

 

කඳුකරයේ වනාන්තර කෙරෙහි ඇති යම් කුඩා අවදානමක් හෝ පතන් බිම් හා තණ බිම් වෙත නොලැබෙන බවට ජේ‍යෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන චෝදනා කළේය. කඳුකරයේ ව්‍යාප්තව සිටිනා ආවේණික සතුන් සහ ශාක ගැන කතා නොකරන තරම්ය. කඳුකරයට පමණක්ම එන සංක්‍රමණික පක්ෂීන්ට සහ උන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු ගැනද තැකීමක් නැත. එහි බිම් නීති විරෝධීව හෙළි කිරීම තවත් එක් කාරණයකි. ඉන් පරිසර පද්ධති ඛණ්ඩනය වේ. හායනය වී යයි. විනාශ වී යයි. ඉන් සත්ත්ව ගහනයන් හුදෙකලා වේ. කඳුකරයේ සිටින විශාලතම විලෝපිකයා වූ කොටියා එයට හොඳම උදාහරණයකි.

 

ඉහළ කඳුකරය පුරා ව්‍යාප්තව ඇති ආක්‍රමණශීලී ශාක කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. ඉන් එක් කොටසක් අවධානයට ලක් වූ ප්‍රකටව පෙනෙන්නට ඇති ඒවාය. අනෙක් කොටස වනුයේ ප්‍රකටව පෙනෙන්නට තිබුණත් අවධානයට ලක් නොවූ ඒවාය. ප්‍රකටව පෙනෙන්නට නැතත් විශාල විනාශයක් සිදුකරන ඒවා අනෙක් කොටස ලෙස සැලකේ. යුලෙක්ස් යනු එවැනි ප්‍රකටව පෙනෙන්නට ඇති අවධානයට ලක් වූ ශාකයකි. යෝධ බෝවිටියා මෙන්ම ඇඹුල් බට යැයි ප්‍රසිද්ධියට පත් වූ සික්ලිඩ් නොට් විඩ් ශාකය සහ හැකරැල්ලා ශාකය දෙවැනි කාණ්ඩයට අයත් වූ ඒවාය.

 

අනෙක් අවදානම වී ඇත්තේ මේ ප්‍රදේශය ආක්‍රමණය කොට ගත් ඇතැම් ශාක දේශීය ශාක වීමය. නත්තසුරිය එවැන්නකි. එනිසා එවැනි ශාක ගලවා ඉවත් කිරීමට උත්සුක නොවේ. හැකරල්ලා ශාකයට දේශීය ආවේණික කුරුල්ලන් ආකර්ෂණය වී ඇත්තේ උන් ප්‍රිය කරන දේශීය ශාක එම පරිසරයෙන් ඉවත් වී ඇති නිසාය.

 

 

පරිසරය සම්බන්ධයෙන් කතා බහ කරන විට එහි ප්‍රමුඛ තැන ගනුයේ විද්‍යාඥයන්ය. නව සොයා ගැනීම් පසුපස හඹා යනවා විනා ඔවුන් මිනිසුන් අතර ගැවසෙනුයේ බොහෝ කලාතුරකිනි. සංරක්ෂණවේදීන් හා පරිසරවේදීන් එහි තවත් එක් කොටසකි. නව සොයා ගැනීම් මහජනතාව අතරට ගෙන එනුයේ ඔවුන්ය. මේ අතර පරිසරලෝලීන්ද වෙති. පරිසර සංරක්ෂණය අතින් ගත් කල ඔවුන් ඉතා භයානක කොට්ඨාසයක් බව උරග හා උභය ජීවී විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ පවසයි. ගහ කොළ සතා සීපාවට ඇති ආදරය නිසාම ප්‍රමුඛත්වයකින් යුතුව ඔවුන් සතුන් හ¾දුනා නොගන්නා බවද ඔහු පවසයි. බල්ලාට ඇති වටිනාකම රිළවාටද, පුසාටද, අලියාටද එක සේ ලබා දේ. වන සතුන් කළමනාකරණය ගැන ඔවුන්ට අදහසක් ඇත්තේ නැත.

 

 

එ නිසාම පරිසර ලෝලීන් සමඟ සංරක්ෂණ කාර්යය තරමක දුෂ්කර කාර්යයක් බවට  පත්ව ඇත.

 

ලංකාවේ ප්‍රධාන කඳු වැටි තුනකි. රක්වාන කඳු වැටිය, මධ්‍ය කඳු වැටිය හා නකල්ස් කඳු වැටිය වශයෙන් ලංකාවේ ප්‍රධාන කඳු වැටි තුනකි. මිනිස් පහසක්වත්  නොලැබ ගංගා ආරම්භ වන තැන් මේවායෙහි වෙති. එහි ජලය සුපිරිසුදුය. ඇතැම් තැනෙක වලාකුළුවලින් ජලය උරා ගනී. ඒවායෙහි, මුලක්වත් පොළොවෙහි නොගැටී වලාකුළු ජලයෙන් පෝෂණය වන ශාකද වෙයි. ගෙවෙන තත්පරයක් පාසාම එහි පරිසරය නෙක රටා මවාලයි.

 

 වසර තිහක් ඇතුළත රූස්ස ගස් මියැදී ගොස්ය. 

 

 

තේ, කෝපි වවා එළි කළ මධ්‍ය කඳුකරයේ කැලෑ නිසා අද වන විට එහි පස සෝදා යමින් පවතී. එය ගැටලුවක් වුවත් කිසිවෙක් ඒ ගැන කතා නොකරති. නුවරඑළිය, නකල්ස් හා රක්වාන කඳු මුදුනෙන් සෝදා ගෙන යන පස් මුහුද තෙක් ගලා යනුයේ ජලාශවලද තැන්පත් වී ගෙනය. ඉන් ජන ජීවිතයට කෙතරම් ගැටලු ඇති කළද ඒ ගැන කතා නොකරයි. අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති මේ සියල්ල ගිලගෙන අවසන්ය. මිනිසුන් ඇති තැන විනාශයකි.

 

 

කැලෑ කැපුණු බිම්වලට ආදේශ කළ ලංකාවේ නොවන ඇතැම් විදේශීය ශාකවල මලක්, කොළයක්, අත්තක්, ගෙඩියක්, මුලක්, පොත්තක්වත් ආහාරයට ගත හැකි ඒවා නොවේ. ඒවායෙහි වියළි කොළයකට ගිනි පුපුරක් ළං කළ ක්ෂණයෙන් ගිනි ගැනීමට වුවද හැකිය. පරිසර පද්ධති විකෘති වී ගොස්ය. ආගන්තුක ආක්‍රමණකාරී විශේෂයන් පතන් බිම්ද ගිලගෙන මුළු රට පුරාම පැතිරී ගොස්ය. නිල්ගල, රතුගල, දානිගල, පහළ උෟව ආදී පෙදෙස්වල පැතිරුණු මානා හෙවත් ගිනි තණකොළවලින් එහි පතන් බිම් සියල්ල වසා ගෙනය. පෙර පැවැති පතන් බිම්වල අඩියක් පමණ උසට වැඩුණු තණකොළ ගොල්ලෙහි විවිධ සතුන් ජීවත් විය. අද වන විට එහි පරිසර පද්ධති විකෘති වී ගොසිනි. කිසිවවෙක් ඒ ගැන කතා නොකරති.

 

මේ අයුරින් දිගින් දිගටම නිහඬව සිටීම කඳුකරය මියැදෙන්නට ඉඩදී බලා හිඳීමකි. පරිසරලෝලීන්ගේ මන‍ෙදාළ පිනවීමට එහා ගිය සංරක්ෂණ තලයේ විසඳුමක් නොවුණ හොත් විද්‍යාඥයන් තම පර්යේෂණ උදෙසා ලබා ගත් නිදර්ශක, ඡායාරූප ආදියෙන් පමණක් මධ්‍ය කඳුකරය දෙස බලා සිටීමට අනාගතයේදී සිදුවනු ඇත.

 

 

@සවනි ශේශාධි