SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ නවතම විචාර ග්‍රන්ථය වන “ගුණදාස අමරසේකර සාහිත්‍ය විචාර ක්‍රමවේදය ” තුළින්
අමරසේකරගේ සාහිත්‍ය විචාර ප්‍රවේශයන් හා ස්වරූපයන් පිළිබඳ ඉසියුම් විමර්ශනයක් සිදු කර ඇති බැව් නමෝවිත්තියෙන්ම සඳහන් කළ මනාය. ගුණදාස අමරසේකර සිංහල සාහිත්‍ය වංශ කතාවේ විවිධ සාහිත්‍ය ශානරයන්හි විශිෂ්ට සාහිත්‍ය සම්ප්‍රදායන් බිහි කළ මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම මෙන්ම විශිෂ්ටතම සාහිත්‍ය විචාරකයා ලෙස හැඳින්වීම යුක්ති යුක්තය. වසර 1955 දී “ විනෝදය හා විචාරය” නමැති කෘතිය පළකිරීමෙන් ඇරඹි අමරසේකරගේ විචාර ග්‍රන්ථ අතරට “අලියා සහ අන්ධයෝ” , “අබුද්දස්ස යුගයක්” , “ සිංහල කාව්‍ය සම්ප්‍රදාය” සහ “නොසෙවුණා කැඩපත” යන විචාර ග්‍රන්ථයන් ඇතුළත්ය.

 

ගුණදාස අමරසේකර ලියූ, “විනෝදය හා විචාරය” යනු ගුවන්විදුලියේ ප්‍රචාරය වුණු කතාවලින් සමන්විත සාහිත්‍ය හා කලාව හා බැඳුණු ප්‍රාථමික අදහස් අන්තර්ගතවූවකි. එහිදී අමරසේකර විසින් කලාවේ පරමාර්ථ, සාහිත්‍යයේ අව්‍යාජත්වය, කාව්‍ය රසාස්වාදනය, නවකතාවේ දර්ශනය, කෙටිකතාවේ සුවිශේෂීත්වය පිළිබඳව නිදසුන් සහිතව දක්වා ඇති අදහස් හා නිරීක්ෂණ අපගේ වෙසෙස් අවධානයට යොමුවිය යුතුය. ගුණදාස අමරසේකර විසින් 1966 වසරේ දී පළ කරන ලද “අලියා සහ අන්ධයෝ”, කෘතිය පිළිබඳව මහාචාර්ය කුලතිලක කුමාරසිංහ පවසන මෙවදන් ඔහුගේ විචාර ක්‍රමවේදය හඳුනා ගැනීමට මනා දොර කවු`ඵවකි. “ඔහුගේ විචාර බුද්ධිය තියුණුය, සියුම් නිරීක්ෂණ ශක්තියකින් යුක්තිය, නම්‍යශීලීය. සාහිත්‍ය විචාරකයා විචාරයට පාත්‍රවන සාහිත්‍ය කෘතියට අනුරූපී විචාර ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. එසේ නොමැතිව එක් විචාර ක්‍රමවේදයක් දැඩි ලෙස ග්‍රහණයට ගෙන සෑම නිර්මාණාත්මක කෘතියක්ම එමගින් විශ්ලේෂණය කිරීමට පෙලඹීමෙන් නිර්මාණ කෘතියට මෙන්ම නිර්මාණකරුවාට ද සිදුවන්නේ මහත් අසාධාරණයකි.”

 

මෙම විචාර ග්‍රන්ථයේදී මාර්ටින් වික්‍රමසිංහගේ “විරාගය” නවකථාවේ ප්‍රධාන චරිතත්‍රය එනම් අරවින්ද, සරෝජනී හා බතී යන චරිත ඇසුරෙන් අරවින්ද අකර්මණ්‍ය පුද්ගලයකු ලෙස දැකීමට අමරසේකර පෙලඹෙන අයුරු බලනු මැනවි. “මිනිස් සිත ධර්මයට නොව අධර්මයට ආකාරයකැයි මට සිතේ. ධර්මය උපදින්නේ ඒ අධර්මය ආශ්‍රයෙනි. මෙය නොසිතා ජීවත්වීමට තැත්කරන්නා අරවින්ද සේ සිහින ලෝකයක ජීවත්වීමට තැත්කොට පියාපත් සිඳි ලිහිණියකු සේ ඇදවැටී මියයයි” මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්, අමරසේකර දකින්නේ යථානුරූපී සත්‍ය ගවේෂකයකු මෙන්ම ගැඹුරු බුද්ධි පාඨනයකින් යුක්තවූවකු ලෙසිනි.

 

“අලියා සහ අන්ධයෝ” කෘතිය විවිධ කාලවකවානු වලදී ලියන ලද ලිපි මාලාවකින් සමන්විතය. “විරාගය මතුකරන අලුත් අදහස්” නමැති ලිපියෙන් මෙයට පෙර විරාගය දෙස හෙළූ දැක්මෙන් බැහැර වී නව ඇසකින් සිය අදහස් හෙළි කරයි.

 

විරාගය පිළිබඳව ලියා ඇති “නොඇලෙන නිකෙලෙස් මනස්” නමැති ලිපියෙන් අරවින්ද සතු නොඇලෙන නිකෙලෙස් මනසෙහි ස්වභාවය ඔහු ඇතිකරගන්නා පෙම් සබඳකම්වලින් මැනවින් ප්‍රකට වන බව සඳහන් කරයි. “අරවින්ද ප්‍රීතියක් ලබන්නේ සිය පෙම්වතිය ලබාගැනීමෙන්, තමා සතු කර ගැනීමෙන් නොව ‘ඈ තමාට ප්‍රේම කරයි’ යන සිතුවිලි මාත්‍රය ආවර්ජනය කිරීමෙනි.

 

අමරසේකරගේ සාහිත්‍ය විචාරයෙන් ප්‍රකට වන වැදගත් කරුණක් වන්නේ තමා යම් මතයක් හෝ නිරීක්ෂණයක් ඉදිරිපත් කරන්නේ නම් එය සාධක සහිතව තහවුරු කිරීමෙන් බවත්, මෙය අද්‍යතන බොහෝ සාහිත්‍ය විචාර ලේඛනවල දැකිය නොහැකි බවටත්, මහාචාර්ය කුලතිලක අමරසිංහ තබන සටහන මෙහිදී වැදගත්ය. සාහිත්‍ය විචාරකයකු ලෙස අමරසේකර ඇතැම් සාහිත්‍ය විචාර ශිල්පීය ධර්මතා සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට උචිත ලෙස හඳුන්වා දී ඇත. අමරසේකර සම්ප්‍රදාය දකින්නේ අතීතයේ සිට කාලානුරූපව වෙනස්වෙමින් ගලා යන ප්‍රවාහයක් ලෙසය.

 

gunadasa Av 2

 

20 වන සියවස බටහිර සාහිත්‍යයේ පැනනැඟි “විඥානධාරා සන්දර්භය” නමැති සංකල්පය ගැන අමරසේකර දක්වන අදහස් අපගේ මනස් භූගෝලය පුළුල් කිරීමට ඉවහල් වේ. “සංකීර්ණ විඥානතල කිහිපයක එකවර ජීවත්වන මේ නව මිනිසාගේ මානසික ලෝකය කෙසේ සාහිත්‍යයට නැඟිය හැකි ද යන්න මේ සියවස මුල් යුගයේ විසු සාහිත්‍යකරුවරුන්ට ප්‍රශ්නයක් විය. “විඥානධාරා නවකථා” බිහිවුයේ ඒ ප්‍රශ්නයට ඇතමුන් සැපයූ පිළිතුරක් වශයෙනි.”

 

 

ගුණදාස අමරසේකර 1976 දී පළ කල “අබුද්දස්ස යුගයක්” විද්වතුන්ගේ ඇගයීමටත් විචාරකයන්ගේ නිරීක්ෂණයටත් යොමු වූ අගනා විචාර සම්ප්‍රදායකි. මෙහිදී විසිවන සියවස ආරම්භයේදී පහළ වූ සිංහල නවකථාව අඩසියවසක් ගෙවී යෑමට පෙර ඉතා ඉක්මනින් දියුණුවට පත්වීම අදහාගත නොහැකි විස්මයජනක කරුණක් ලෙස අමරසේකර දකියි. මාර්ටින් වික්‍රමසිංහගේ “ගම්පෙරළිය” නවකතාව පළවීම එහි කලාත්මක සුසංයෝගය හා ව්‍යුහගත අංග උපාංග භාවිතය මවිතයට පත් කරන බවත් මෙම කෙටි කාලය තුල “ගම්පෙරළිය” “කලියුගය” හා “යුගාන්තය” බඳු තුන්ඈඳුතු නවකථා රචනා තරනු ලැබීම විස්මයජනක කරුණක් ලෙසත් අමරසේකර දකියි. “අබුද්දස්ස යුගයක්” විචාර ග්‍රන්ථයේදී අමරසේකර, එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නවකතා පිළිබඳ දුර්මත පෙන්වා දෙයි. පියදාස සිරිසේන නවකතාව අරබයා සරච්චන්ද්‍ර කර ඇති විචාරය අනවබෝධයෙන් කරන ලද දුර්මත විචාරයක් ලෙස සලකා බැහැර කරනු දකිත හැක.

 

ගුණදාස අමරසේකරගේ හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථය ලෙස සැලකෙන “සිංහල කාව්‍ය සම්ප්‍රදාය” කෘතිය 1996 වසරේදී පළවූවකි. එම කෘතියේ හැඳින්වීමේදී අමරසේකර, කවිය පිළිබඳව පවසන මෙවදන් අසනු මැනවි. “කවිය යනු ජාතියක හදවතෙහි බසයි. එය ජාතියක හෘදසාක්ෂ්‍යය ද වෙයි. නිදහස ලබා අඩසියවසක් ගතවීත් අපට අපගේ හදවතෙහි බස ළඟා කරගත නොහැකි වීම ගැන මා තුළ සැක බිය පහළ කිරීමට හේතු වී ඇත්තේ, අද ඊයේ සිට නොවේ.” “සිංහල කාව්‍ය සම්ප්‍රදාය දැක ගැනීම” යන ලිපියෙන් ඔහු සාහිත්‍ය ඉතිහාසය 12 වන සියවස තෙක් පැවැති ගී කාව්‍ය තුනෙන් අවසන් වූ යුගය සහ 13, 14 සියවස්වල සිට අද තෙක් පැවැත එන යුගය ලෙස වර්ගීකරණයක් කර ඇත.

 

අපගේ කාව්‍ය වංශය තුළ බොහෝ අවස්ථාවල අපගේ සම්භාව්‍ය කාව්‍ය සම්ප්‍රදාය සිය පැවැත්ම සඳහා ජනකවිය සොයා ගිය බව සඳහන් කරන අමරසේකර, ජන කවීන් විසින් කටවහර ඇසුරෙන් තනා ගත් ප්‍රාකෘත ගී ආකෘතිය විදග්ධ කවීන් විසින් සම්භාව්‍ය කාව්‍යාකෘතියක් බවට පත්කර ගන්නට ඇති බැව් පැහැදිලි කරයි. “බුදල්ගේ කවිය” (බුදල් මි – සියොවැ ආමි- සිහිහිරි බැලීමි- බැලූ බොහෝ ජනා- ගී ලියුයෙන් නොලීමි ) අතිශය චමත්කාරජනක කවි චින්තාවක් බව රසහව් විඳීමට පුරුදු වූ සහෘදයාට පෙනී යන්නෙකි. බුදල් කවි නොලීවේ බැලු බැලු ජනයා ලියූ ආකාර නීරස කවි ලිවීමට ඔහු තුළ වූ අකමැත්ත නිසයි. ඔහු සතුව පවත්නා උසස් කවිත්වය නිසයි.” ඉහත ප්‍රකාශය අනුව අමරසේකරගේ අදහස වන්නේ සීගිරි ගී අවියත් ජන කවීන්ගේ නිර්මාණ නොව, උසස් කාව්‍ය සම්ප්‍රදායක් මත පිහිටා කරන ලද රසභාව පූර්ණ රචනා ලෙස අගය කළ යුතු බවයි. සිගිරි ගී අරබයා පරණවිතාන පවසා ඇති බොහෝ අදහස් සමග ඵකඟවීමෙන් අමරසේකර නම්‍යශීලි මනසකින් යුත් සිය තියුණු නීරික්ෂණයෙන් විමංසනාත්මක නිගමන වලට එලැඹෙන විචාරකයකු බවට මහාචාර්ය කුලතිලක කුමාරසිංහ කර ඇති සඳහන අපගේ අවධානයට ලක්වුව මනාය.

 

ගුණදාස අමරසේකර අවසන් වරට 2008 වසරේදී පළකල “නොසෙවුණා කැඩපත” කෘතිය තුළින් සිංහල නවකතා මෑත කාලයේදී බිඳවැටීමට තුඩු දුන් හේතූන් සාකාච්ඡාවට බඳුන් කෙරේ. සිංහල නවකතාකරුවා මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ප්‍රමාණවත් පිටපත් සංඛ්‍යාවක් විකුණාගත නොහැකි වීමයි. විචාර කෘතිය ආරම්භයේදී අමරසේකර විසින් පවසන මෙකරුණු තුළින් සාහිත්‍යය අරබයා කරන සැබෑ විවරණයට අප කාහටත් එකඟ විය හැක. “සාහිත්‍යය යනු වත්මන් මිනිසා විසින් සිය හැඩරුව, ස්වභාවය මෙන්ම තමා වසන සමාජයේ සහ යුගයේ හැඩරුව ස්වාභාවය ද මනසින් මෙන්ම හදින් ද දැනගැනීම සඳහා නිර්මාණය කරගන්නා ලද කැඩපතකි”.

 

අමරසේකර ප්‍රයෝගික නවකථා විචාරය හා විචාර සිද්ධාන්ත පිළිබඳ පෘථුල අවබෝධයකින් හෙබි විද්වතෙක් බවත්, ඔහු දුරදක්නා අවබෝධයකින් යුත් බවත් ගුරුකුල අත්තු:කංසනයෙන් මිදුණු විචාරකයෙක් බවත්, තම මිතුරාගේ වුවත් සාහිත්‍යකරණය හා විචාර අරබයා අවංකව සිය අදහස් ප්‍රකාශ කිරිමට නොපැකිළෙන බවත්, මහාචාර්ය කුලතිලක කරන සඳහන වැදගත්ය. ඒ බැව් සරච්චන්ද්‍රගේ නවකතා විචාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් වලින් සනාථ කර ඇත. “සරච්චන්ද්‍රයෝ සිංහල නවකථා විචාරයේ පුරෝගාමියා වෙති. එපමණක් නොව කෙතරම් අඩු ලුහුඬුකම් තිබුණ ද කාලාන්තරයක් මුළුල්ලෙහි ඒ වෙනුවෙන් කැප වූ එකම විද්‍යාර්ථියා ද එතුමෝ වෙති.”

 

නවකතා විචාරයේදී අමරසේකර යොදාගත් පළමු නිර්ණායකය වූයේ තාත්විකත්වය හා විශ්වසනීයත්වයයි. ඔහු යොදාගත් දෙවැනි නිර්ණායකය වූයේ කලාත්මකභාවයයි. එනම් ආකෘතිමය සාර්ථකත්වයයි. එය මැනවින් පෙළගස්වන ලද වියමනක් විය යුතුය. අපගේ රසය අවදි කරන්නක් විය යුතුය. චමත්කාරය දනවන්නක් විය යුතුය. අමරසේකර, සිංහල නවකථාවේ බිඳවැටීමට බලපෑ ප්‍රධාන කරුණු දෙක ලෙස සලකන්නේ නවකතාවත්, පොදු සමාජයත් අතර අර්ථවත් සංවාදයක් නොතිබීමත්, බටහිර රටවල පැතිරෙමින් පවත්නා ඇතැම් ප්‍රවණතා ලෙස පෙන්වන විලාසිතාත් ය. මහාචාර්ය විමල් දිසානායකගේ අදහස වන්නේ, ගුණදාස අමරසේකර සාහිත්‍ය විචාර ක්‍රමවේදය සකස් කර ගැනීමේදී ඉතිහාස අධ්‍යයනයන්ගෙන් හා මානවවාදී මාක්ස්වාදී චින්තන ප්‍රවාහවලින් අනුප්‍රාණයක් ලබා ඇති බවයි. ගුණදාස අමරසේකරගේ සාහිත්‍යයික චින්තනය දේශපාලනය සමග අත්වැල් බැඳගෙන ඇති බවත් කවර සාහිත්‍යයක් වුවද අර්ථවත් වීමට නම් දේශපාලන සත්‍යයක් එයට ආත්මගත වී පැවැතිය යුතු බවටත් මහාචාර්ය කුලතිලක කුමාරසිංහ තබන සටහන මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතුය.

 

1988 වසරේදී පළ කෙරුණු “ගනඳුර මැදියම දකිනෙමි අරුණලු” කෘතියේ සෑම ලිපියකින්ම ජාතිකත්ව සංකල්පයෙහි අවශ්‍යතාව ගැඹුරු විමර්ශනයකට හසුකර ඇත. ජාතිකත්ව සංකල්පය ප්‍රචලිත කිරීමට අමරසේකර දැරූ උත්සාහය “ගල් පිළිමය හා බොල් පිළිමය” “මරණ මංචකයේ දුටු සිහිනය” “පිළිම ලොවයි පියවි ලොවයි” “විල්තෙර මරණය” “කියනු මැන දිවි අරුත” යන කෙටිකථා සංග්‍රහවලින් හා “ගමනක මුල” සිට “ගමනක අවසානය” තෙක් රචනා කළ නවකථා පෙළෙන් පැහැදිලි වේ.

 

ගුණදාස අමරසේකර තියුණු සමාජ නිරීක්ෂකයෙක් මෙන්ම තියුණු විශ්ලේෂකයෙකි. නිර්මාණයේ අභ්‍යන්තරය හෙවත් යටිපෙළ හා මහජන කක්ෂය (Pubic Spare) අතර සම්බන්ධතාවය සෘජු ලෙස ප්‍රකාශ කරන්නෙකි. එමෙන්ම සිය මතයේ ම එලැඹ නොගෙන කිසියම් අදහසක් වැරදි යැයි හැඟී ගියහොත් පසුව එය නිවැරදි කර ගන්නා නම්‍යශීලී විචාරකයකු බැව් ඔහුගේ විචාර ග්‍රන්ථ පඨනය කිරීමෙන් මොනවට පැහැදිලි වේ.

 

ශ්‍රී ලංකාවේ වෙසෙන ඡ්‍යෙෂ්ඨතම මෙන්ම අදීන සාහිත්‍ය විචාරකයා ලෙසින් කාගේත් බුහුමනට පාත්‍ර වූ ගුණදාස අමරසේකරගේ සියලුම සාහිත්‍ය විචාර ග්‍රන්ථයන් ගැඹුරෙන් අධ්‍යයනය කර ඉමහත් කැපවීමෙන් යුතුව සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් පළ කර ඇති “ගුණදාස අමරසේකර සාහිත්‍ය විචාර ක්‍රමවේදය” කෘතිය සාහිත්‍ය විචාරය පිළිබඳ සාරගර්භ විදග්ධ විමසුමක් ලෙස අපගේ සම්භාවනාවට බඳුන් විය යුත්තේමය.

 

@උදේනි සරච්චන්ද්‍ර

දිවයින ඉරිදා සංග්‍රහයට ලියූවකි.

නවතම ලිපි