SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඖෂධ මාෆියාවේ අසාධාරණ ගසාකෑම් හෙළිවෙයි

: ඖෂධ සමාගම් නීතියේ පිහිට පතයි

 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් නව මිල සූත්‍රයක් හඳුන්වා දීමත් සමගම

ශ්‍රී ලංකාවේ සමහර ඖෂධවල මිල 30% - 40% කින් පමණ සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. මෙයින් පැහැදිලි වන්නේ මෙතෙක් කල් ඖෂධ වෙළඳපොළ තුළ අතිශය අසාධාරණ ලෙස මිල ඉහළ දමා තිබූ බවයි. කෙසේ වෙතත්, මෙම ජනතාවාදී වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීම වැළැක්වීම සඳහා ඖෂධ ආනයනකරුවන් දැන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

 

 

 

NMRA සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම Sunday Morning පුවත්පතට පවසා ඇත්තේ රුපියලේ අගය අවප්‍රමාණය වී තිබියදීත් මෙම මිල අඩුවීම වාර්තා වී ඇති බවයි. 

 

"මෙම සූත්‍රය යෙදූ විට ඇතැම් ඖෂධවල මිල සැලකිය යුතු ලෙස, එනම් 30% - 40% කින් පමණ පහත වැටුණා," යැයි ඔහු සඳහන් කළේය.

 

මෙයින් ගම්‍ය වන්නේ මීට පෙර ඇතැම් ඖෂධ අතිශය අධික මිල ගණන් යටතේ අලෙවි කර ඇති බවයි. පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා ඖෂධ මිල නියාමනය කිරීමේ වැදගත්කම මෙමඟින් මනාව තහවුරු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

 

 

මෙම නව මිල යාන්ත්‍රණය ගැසට් නිවේදනයක් සහ NMRA මාර්ගෝපදේශ හරහා හඳුන්වා දී ඇත. ඒ අනුව උපරිම සිල්ලර මිල ගණනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය වෙත පැමිණෙන ඖෂධවල පිරිවැය, රක්ෂණ සහ නැව් ගාස්තු  වටිනාකම සහ සැපයුම් දාමය පුරා ඖෂධ අධිකාරිය අනුමත කරන ලද ලාභ ප්‍රතිශතයන් මත පදනම්වය.

 

 

තම සාක්කුවෙන් මුදල් වියදම් කර ඖෂධ මිලදී ගන්නා විශාල පිරිසක් සිටින රටක, මෙවැනි මිල පාලනයක් අත්‍යවශ්‍ය බව සභාපතිවරයා අවධාරණය කළේය. එයින් මහජනතාවට මෙන්ම රජයට ද විශාල සහනයක් සැලසේ.

 

 

නමුත්, ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය විසින් මෙම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීම හේතුවෙන්, ලියාපදිංචි ඖෂධ විශාල ප්‍රමාණයක් සඳහා මෙම මිල සූත්‍රය යෙදවීම තාවකාලිකව ඇණහිට ඇත. වෛද්‍ය විජේවික්‍රම පැවසුවේ, ඖෂධ ලියාපදිංචි කිරීමේදී, බලපත්‍ර අලුත් කිරීමේදී සහ ආනයන බලපත්‍ර නිකුත් කිරීමේදී ක්‍රමානුකූලව මෙම උපරිම සිල්ලර මිල නියම කිරීමට අධිකාරිය පියවර ගනිමින් සිටි නමුත් උසාවි මැදිහත්වීම නිසා එය නතර වී ඇති බවයි.

 

 

 

"මෙම නඩුව ඉක්මනින් විභාග වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඉන්පසුව ලැබෙන තීන්දුව මත අපගේ ඉදිරි පියවර තීරණය කළ යුතුයි," ඔහු වැඩිදුරටත් පැවසීය.

 

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි ඖෂධ 6,000ක් පමණ ඇත. නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයට යටත්ව, ඉදිරි වසර එකහමාරත් දෙකත් අතර කාලය තුළ ලියාපදිංචි කිරීම් සහ ආනයන බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය හරහා ක්‍රමානුකූලව සියලු ඖෂධ සඳහා මෙම මිල පාලනය හඳුන්වා දීම අධිකාරියේ සැලසුමයි. එහෙත්, යම් ඖෂධයක් ගෙන්වීම ආනයනකරුවන් විසින් නතර කළහොත් හෝ ඊට බලපත්‍ර ලබා නොගතහොත්, එම ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම නොවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

 

 

ලෙඩාගේ මරණ මංචකයෙනුත් ලාභ ලබන ඖෂධ මාෆියාව!

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මෙම නව මිල සූත්‍රයත් සමඟ හෙළිදරව් වී ඇත්තේ මෙරට ක්‍රියාත්මක වන ඖෂධ ආනයන ජාවාරමේ අශික්ෂිත නිරුවතයි.

 

 

ඩොලරයේ අගය හෝ රුපියලේ අවප්‍රමාණය වීම් ගැන නිතරම මැසිවිලි නඟමින්, ලෝක වෙළඳපොලේ මිල මෙන් තුන් හතර ගුණයක් ලාභ තබාගෙන අහිංසක රෝගීන්ගෙන් මුදල් ගසා කෑ ආනයනකරුවන් සහ ව්‍යාපාරිකයන් දැන් කලබල වී ඇත. ඖෂධ මිල 40% කින් අඩුවීම යනු සුළුපටු කාරණයක් නොවේ; එයින් අදහස් වන්නේ මෙතෙක් කල් එම 40% ක මුදල (හා ඊටත් වඩා වැඩි මුදලක්) කිසිදු සාධාරණ පදනමකින් තොරව මහා පරිමාණ වෙළඳුන්ගේ සාක්කුවලට ගොස් ඇති බවයි.

 

 

 

අතිශය ඛේදනීය තත්ත්වය නම්, සාධාරණ මිලක් යටතේ ජනතාවට ජීවිතය බේරාගන්නා බෙහෙත් පෙත්තක් ලබාදීමට නියාමන අධිකාරිය කටයුතු කරද්දී, ඊට එරෙහිව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය අධිකරණයට යෑමයි. තම අසීමිත හා අසාධාරණ ලාභය වෙනුවෙන් ඔවුන් අහිංසක ජීවිත පවා බිල්ලට දීමට සූදානම් බව මින් මනාව පැහැදිලි වේ.

 

 

මෙරට බහුතරයක් ජනතාව පෞද්ගලික ෆාමසිවලින් බෙහෙත් ගන්නේ තම එදිනෙදා වේල පිරිමසා ගන්නා මුදලෙනි, නැතහොත් ණයට මුදල් ඉල්ලාගෙනය. එසේ තිබියදී, නියාමනයක් ආ විගස ඊට එරෙහිව උසාවි යන මේ "ව්‍යාපාරිකයින්" වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රෝගීන්ගේ රුධිරය උරා බොන කූඩැල්ලන් බඳුය.

 

 

පවතින නීතිමය තත්ත්වයන් කෙරෙහි ගරු කරන අතරම, මෙම ඛේදනීය අසාධාරණයට එරෙහිව ජනතාවද දැන් අවදියෙන් සිටිය යුතුය. ආනයනකරුවන් මෙලෙස උත්සාහ කරන්නේ තම මාෆියාවේ ආධිපත්‍යය තවදුරටත් පවත්වා ගෙන යාමටයි. ඖෂධ ජාවාරම්කරුවන්ට යට නොවී, මෙම සටන ඉදිරියට ගෙන යාමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට කොන්දක් තිබිය යුතු අතර, එය කිසිසේත් ආපසු හැරවිය යුතු නැත. රෝගීන්ගේ ජීවිත මූල්‍යමය වාසි සඳහා පමණක් යොදාගන්නා මෙම ක්‍රමවේදයට තිත තැබිය යුතුම කාලය එළඹ ඇත.

 

 

සමාරා

 

නවතම ලිපි