SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පැය 5ක නීති තර්ක විනාඩි 45න් ඉවත දමා විත්තියේ නඩුව කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝග

 

 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ

සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ නඩුව ලබන 12 සහ 13 වැනිදා කැඳවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් බැලූ බැල්මටවත් ඔප්පු වී නොමැති බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් පැය පහකට අධික කාලයක් කළ දීර්ඝ නෛතික කරුණු දැක්වීම නොසලකා හරිමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

 

නයනා සෙනවිරත්න (සභාපති විනිසුරු), නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි. පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසු, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය ප්‍රකාරව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥ මඩුල්ල අධිකරණයෙන් දැඩිව ඉල්ලා සිටියේය.

 

 

 

සාක්ෂිකරුවන් 45න් 35කට හරස් ප්‍රශ්නවත් නෑ

විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ අනාවරණය කළේ පැමිණිල්ල මෙහෙයවූ සාක්ෂිකරුවන් 45 දෙනාගෙන් 35 දෙනෙකුගෙන්ම හරස් ප්‍රශ්න ඇසීමට පවා විත්තියට අවශ්‍ය නොවූ බවයි. ඊට හේතුව එම සාක්ෂි කිසිවක් නඩුවේ චෝදනාවලට අදාළ නොවීමයි. සාක්ෂිකරුවන් දස දෙනෙකු පමණක් හරස් ප්‍රශ්නවලට ලක්වූ අතර, ඉන් දින ගණනාවක් තිස්සේ ප්‍රශ්න කෙරුණේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා වූ එල්.ටී.ටී.ඊ. හිටපු බුද්ධි අංශ සාමාජිකයකු වන සුරේෂ් කුමාර් හෙවත් මුරලි සහ ප්‍රධාන විමර්ශන නිලධාරී ප්‍රේමතිලකගෙන් පමණි.

 

 

 

පළමු, දෙවන සහ හයවන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, තුන්වන සහ පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රනිල් සමරසූරිය සහ නවවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන යන මහත්වරුන් පැය පහකට අධික කාලයක් සාක්ෂිවල පරස්පරතා සහ නීතිමය පදනම බිඳවැටී ඇති ආකාරය හෙළිදරව් කළහ.

 

 

 

"මළ සිරුරක් නැහැ - ඝාතනය ඔප්පු නෑ"

එක්නැලිගොඩ මියගිය බවට හෝ ඔහුව ඝාතනය කළේ මෙම විත්තිකරුවන් බවට කිසිදු සෘජු හෝ පාරිවේශික සාක්ෂියක් ඉදිරිපත් වී නොමැත. මෘත දේහයක් පවා නොමැති පසුබිමක 293 වගන්තිය යටතේ මිනීමැරුම් චෝදනා එල්ල කිරීම නෛතික පදනමකින් තොරය.

 

 

"මැතිවරණ නාටකයක්"

2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර මෙම සිදුවීම වාර්තා කරමින්, මැතිවරණ වේදිකාවේ වාසි ලබාගැනීමට එවකට විපක්ෂය කළ දේශපාලන කුමන්ත්‍රණයක් මිස සැබෑ පැහැරගැනීමක් සාක්ෂි මගින් තහවුරු නොවේ.

 

 

 

"ප්‍රධාන සාක්ෂිකරු එක්නැලිගොඩව අඳුනන්නෙත් නෑ" 

පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන 'මුරලි'ට ප්‍රගීත් එක්නැලිගොඩගේ ඡායාරූපය පෙන්වූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා මෙම පුද්ගලයා නොහඳුනන බවයි. එසේම ප්‍රධාන විමර්ශන නිලධාරී ප්‍රේමතිලක තම නිවසට නොපැමිණි බවට මුරලි දිවුරුම් පිට බොරු සාක්ෂි දී ඇති අතර, විමර්ශන නිලධාරියා එය ප්‍රතික්ෂේප කරමින් තමන් නිවසට ගිය බව පිළිගෙන ඇත.

 

 

"දුරකථන වාර්තාවල හිස්තැන්"

එක්නැලිගොඩ භාවිතා කළා යැයි කියන 078 දුරකථන අංකය ලියාපදිංචි කර ඇත්තේ 'බාලසූරිය' නමින් වන අතර, ඔහු එය භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. දෙවන විත්තිකරුගේ දුරකථන සංඥා පොතුහැරින් ඔබ්බට නිරීක්ෂණය නොවන පසුබිමක, බත්තරමුල්ල දක්වා පැමිණි බවට ගොතන ලද චෝදනාව සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇත.

 

 

"දේශපාලන පළිගැනීමක්"

2010 දී ආරක්ෂක ලේකම්වරයාගේ වුවමනාවට මෙම අපරාධය සිදුවූ බව පැමිණිල්ල වක්‍රව පැවසුවද, ඔහු 2019 දී ජනාධිපති ධුරයට පත්වී දින 11ක් ඇතුළත මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ගොනු කර ඇත්තේ එම රජය යටතේමය.

 

 

    මහාධිකරණ තීන්දුවෙන් අධිකරණ ශාලාවම මවිතයට!

     

     

    ඉංග්‍රීසි නීතියේ සිට මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවක් උපුටා දක්වමින් විත්තිය කළ තර්ක අවසානයේ, විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා නඩුව විනාඩි 45කට කල් තැබීය. අනතුරුව යළි රැස්වූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ගෙන් යමක් ප්‍රකාශ කිරීමට ඇත්දැයි විමසූ විට ඔහු සඳහන් කළේ තමන්ට කිසිවක් පැවසීමට නොමැති බවයි.

     

     

    ඉන් අනතුරුව සභාපති විනිසුරු නයනා සෙනවිරත්න නියෝග කළේ විත්තිකරුවන්ගේ විත්තිවාචකය කැඳවීමටයි.

     

     

    පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවල කිසිදු සාක්ෂිමය වටිනාකමක් නොමැති බව පැය පහක සාක්ෂි විශ්ලේෂණයකින් මනාව ඔප්පු කර තිබියදීත්, විනාඩි 45ක් වැනි කෙටි කාලයක් තුළ විත්තියේ සාක්ෂි කැඳවීමට ගත් මෙම තීරණය අධිකරණයේ සිටි නීතිඥවරුන්, අධිකරණ කාර්ය මණ්ඩලය පමණක් නොව නඩු විභාගය නිරීක්ෂණය කළ මාධ්‍යවේදීන් පවා දැඩි විමතියට පත් කර තිබේ.

     

     

    ඒ අනුව විත්තිකරුවන්ට විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට, සාක්ෂි කූඩුවට පැමිණ සාක්ෂි දීමට හෝ නිශ්ශබ්දව සිටීමට ඇති අයිතිය පැහැදිලි කළ විනිසුරු මඩුල්ල, විත්තියේ නඩුව ලබන නොවැම්බර් 12 සහ 13 යන දිනවල යළි කැඳවීමට නියෝග කළේය.

     

     

    නවතම ලිපි