පාරිභෝගිකයාගේ කරපිටට එන අලුත්ම බර පිටුපස ඇති ඇත්ත කතාව
ලයිට් බිල යළි යළිත් වැඩි වීමේ ඛේදවාචකය තවමත් නිම වී නැත. එළඹෙන ඔක්තෝබර් සිට
දෙසැම්බර් දක්වා වන සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු යළිත් සියයට 1.46කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් මේ වනවිටත් යෝජනා කර තිබේ. විදුලිබල ක්ෂේත්රයේ බලපත්‍රලාභීන් සිය පිරිවැය සහ ආදායම් අනුමාන පෙන්වමින් ජනතාව මත පැටවීමට හැදූ ඊටත් වඩා විශාල බරක්, කොමිසමේ මූලික සමාලෝචනයකින් පසුව මෙලෙස සියයට 1.46ක් දක්වා හෝ 'අඩු කර' ඇත. නමුත් ප්රශ්නය වන්නේ කිසිදු විනිවිදභාවයක් නොමැතිව සිදු වන මේ සුළු වැඩිවීම හෝ සාධාරණද යන්නයි.
ඉල්ලුවේ සියයට 2.88යි - දෙන්නේ සියයට 1.46යි
මෙම කාර්තුව තුළ විදුලි සැපයුමේ සමස්ත පුරෝකථිත පිරිවැය රුපියල් කෝටි 15,730ක් ලෙසත්, විකුණුම් මගින් අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 15,400ක් ලෙසත් PUCSL ගණනය කර ඇත. මෙයට පෙර කාලයෙන් ඉදිරියට ගෙන ආ රුපියල් කෝටි 110ක ආදායම් හිඟයක්ද ඇතුළත්ය. ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) සහ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා සමාගම (EDL) මුලින් ඉල්ලා සිටියේ විදුලි බිල සියයට 2.88කින් වැඩි කළ යුතු බවයි.
එහෙත්, ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා සමාගමේ (EGL) අසාධාරණ උත්පාදන ධාරිතා පිරිවැය වැඩිවීම් කපා හැරීමත්, විශේෂයෙන්ම 2026 දෙවන කාර්තුවේදී ගුණාත්මක බවින් තොර ගල් අඟුරු භාවිත කිරීම නිසා සිදු වූ අමතර පිරිවැය නැවත ගණනය කිරීමත් හේතුවෙන් එය සියයට 1.46ක් දක්වා අඩු කිරීමට කොමිසමට හැකි විය. ගුණාත්මක නොවන ගල් අඟුරු ගෙන ඒමේ පාඩුව සහ අකාර්යක්ෂමතාවයේ දඩ මුදල ජනතාව ගෙවිය යුතුද යන්න මෙහිදී මතු වන ප්‍රබලම විවේචනයයි.
අකාර්යක්ෂමතාව සහ සැඟවුණු වියදම්
තවමත් නිසි විනිවිදභාවයකින් තොර ඉන්ධන මිල නියම කිරීම් සහ ගිවිසුම් මේ ගැටලුවට ප්‍රධාන හේතුවක් වී ඇත. EGL සමාගම තවමත් නිසි ඉන්ධන සැපයුම් ගිවිසුමකට එළඹ නැති අතර, වෙස්ට්කෝස්ට් සහ සෝභනාවී බලාගාරවල ගිවිසුම් තුළද විනිවිද පෙනෙන මිල නියම කිරීමේ විධිවිධාන නොමැත. මේ නිසා දියර ඉන්ධන පිරිවැය තීරණය වන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හුදු "උපකල්පන" මත පමණි. ඊටත් වඩා පුදුම සහගත කරුණ නම්, EDL සමාගම විසින් බහු වාර්ෂික ගාස්තු රාමුවෙන් පිටත අමතර පිරිවැය ලෙස රුපියල් කෝටි 210ක් ජනතාවගෙන් අය කරගැනීමට කළ උත්සාහයයි.
මෙයින් කෝටි 110ක්ම ඉල්ලා ඇත්තේ අවසන් නොකළ විදුලි සැපයුම් විශ්වසනීයත්ව ව්‍යාපෘතියක ණය ගෙවීමටය. වැඩ අවසන් නොකළ ව්‍යාපෘතිවල බර පාරිභෝගිකයා මත පැටවීමට ගත් මෙම උත්සාහය PUCSL විසින් ප්‍රතික්ෂේප කිරීම පැසසිය යුතු වුවත්, ආයතනවල මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය දැඩි සේ විවේචනයට ලක් විය යුත්තකි.
උත්පාදන මිශ්‍රණයේ යථාර්ථය
අපේක්ෂිත සමස්ත විදුලි ඉල්ලුම ඒකක මිලියන 4,796කි.
මෙහිදී ප්‍රධාන ජල විදුලියෙන් සියයට 32.34ක් ද,
ගල් අඟුරු මගින් සියයට 25.68ක් ද,
පුනර්ජනනීය බලශක්තියෙන් සියයට 28.81ක් ද නිපදවීමට අපේක්ෂිතය.
මීට අමතරව ෆර්නස් ඔයිල් (8.94%), නැෆ්තා (3.65%) සහ ඩීසල් (0.58%) තවදුරටත් භාවිත වේ. NSO ඇස්තමේන්තු කරන සමස්ත උත්පාදන පිරිවැය රුපියල් කෝටි 11,729ක් වන අතර ඉන් කෝටි 9,830ක් බලශක්ති පිරිවැයයි. ධාරිතා පිරිවැය රුපියල් කෝටි 1,900ක් වන අතර එයින් කෝටි 70ක්ම ගෙවන්නේ විදුලි මිලදී ගැනීමේ ගිවිසුම් පවා නොමැතිව ක්‍රියාත්මක වන EGL බලාගාරවලටය. එසේම, මෙගාවොට් 160ක බැටරි ශක්ති ගබඩා පද්ධති (BESS) අදියර වශයෙන් එක් කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා රුපියල් කෝටි 70.3ක ධාරිතා පිරිවැයක්ද මේ ගණනය කිරීම්වලට ඇතුළත් කර ඇත. ජල විදුලි අනුමාන සහ වැසි පුරෝකථන නිවැරදිව ගැළපෙන්නේද යන්න මෙහිදී තවදුරටත් ප්‍රශ්න කළ යුතුව තිබේ.
ඔබේ හඬ අවදි කිරීමට අද(05) ඇති අවස්ථාව
මෙය තවමත් යෝජනාවක් පමණක් වන අතර නිවාස සහ ව්‍යාපාරවල විදුලි බිල වෙනස් වන්නේ මහජන අදහස් විමසීමෙන් පසු කොමිසම ගන්නා අවසන් තීරණය මතය. ඒ සඳහා වන පාර්ශ්වකරුවන්ගේ උපදේශන රැස්වීම නොවැම්බර් 5 වැනිදා (අද) කොළඹ BMICH හිදී පැවැත්වේ.
උත්පාදන මිශ්‍රණය, ඉන්ධන මිල, සහ මේ සැඟවුණු පිරිවැය පිළිබඳව ප්‍රශ්න කිරීමට සහ අදහස් දැක්වීමට ඕනෑම පුරවැසියෙකුට එහිදී විනාඩි 10ක කාලයක් හිමි වේ. සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්විය හැකි අතර, හරස් ප්‍රශ්න ඇසීමට ඉඩ නොලැබුණත්, අකාර්යක්ෂමතාවයේ බර ජනතාව මත පැටවීමට එරෙහිව හඬ නැගීමට මෙය පාරිභෝගිකයාට ඇති වටිනාම අවස්ථාවකි.

