පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින්
මතු කරන ලද බරපතළ කාරණයක් වූයේ, වත්මන් ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන් සහ සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගනිමින් ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් එල්ල කරන බව කියන මරණ තර්ජන පිළිබඳවයි. විශේෂයෙන්ම 'රටේ රාළ' නමින් ප්‍රකට දේශපාලන විචාරක ප්‍රියංජිත් විතාරණට ලුතිනන් කර්නල් බණ්ඩාර ධම්මංතොට නැමැත්තා විසින් සිදුකළ බව කියන මරණ තර්ජනය මෙන්ම, නිලන්ත සත්සර ගමගේට එල්ල වී ඇති බලපෑම් වෙනුවෙන්ද මන්ත්‍රීවරයා එහිදී දැඩිව හඬ අවදි කළේය.
මෙය හුදෙක් පුද්ගලයන් දෙදෙනෙකුට සීමා වූ ප්‍රශ්නයක් නොව, මීට පෙර ආණ්ඩු සමයන්හි පැවැතියා සේම සමස්ත රටේම මාධ්‍යකරණය, ප්රජාතන්ත්රවාදය සහ පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ බරපතළ අර්බුදයක පෙරනිමිත්තකි.
ප්‍රියංජිත් විතාරණ යනු පවතින ආණ්ඩුවේ අඩුපාඩු සහ ක්‍රියාකලාපයන් නිර්භයව විවේචනය කරමින් සිය පෑන මෙහෙයවන දේශපාලන විචාරකයෙකි. එමෙන්ම නිලන්ත සත්සර ගමගේ යනු අමාත්‍ය සුනිල් සෙනෙවි ගේ යැයි කියන ග්රන්ථ සොරකමක් සමාජය ඉදිරියේ හෙළිදරව් කිරීමට මැදිහත් වූ අයෙකි. පුරවැසියන් ව්ලොග් (Vlog) අඩවි හෝ සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සහ දූෂණ හෙළිදරව් කිරීම, ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීමට තරම් ආරක්ෂක අංශවල නියෝජිතයන්ට හේතුවක් වන්නේ කෙසේද?
2026 ඔක්තෝබර් 29 වැනිදා රාත්‍රියේ ප්‍රියංජිත් විතාරණ වෙත ලැබුණු දුරකථන ඇමතුම හරහා, ඔහුට අසභ්‍ය වචනයෙන් බැනවැදී, ආණ්ඩුවට එරෙහිව ෆේස්බුක් සටහන් පළ කළහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවට තර්ජනය කර තිබීම ප්රජාතන්ත්රවාදී සමාජයක් අතිශය කම්පනයට පත් කරන සිදුවීමකි.
මෙහිදී පැන නගින ප්‍රධාන ගැටලුව වන්නේ මෙම තර්ජන පිටුපස ක්‍රියාත්මක වන ජාලය කුමක්ද යන්නයි. හමුදා නිල ඇඳුමක් හෝ නිල තනතුරක් යනු කිසිවෙකුටත් නීතියට ඉහළින් සිටීමට ලබාදෙන බලපත්‍රයක් නොවේ.
සක්‍රීය සේවයේ නියුතු ලුතිනන් කර්නල්වරයෙකු සාමාන්‍ය පුරවැසියෙකුට මෙලෙස තර්ජනය කරන්නේ ඔහුගේ පෞද්ගලික වුවමනාවකටද, නැතහොත් කිසියම් බලගතු දේශපාලන හස්තයක හෝ කණ්ඩායමක මෙහෙයවීම මතද යන්න ස්වාධීන විමර්ශනයකින් හෙළිවිය යුතුව ඇත. පුරවැසියන් නිහඬ කිරීම සඳහා හමුදා නිලධාරීන් 'මැරයන්' ලෙස යොදා ගැනීමේ ඛේදනීය සංස්කෘතියක් අත්විඳි රටක ඊට සපුරා විරුද්ධ වූවන්ගේ නව පාලනයක් තිබියදීත් එවැන්නක් යළිත් රට තුළ නිර්මාණය වෙමින් පවතින්නේද යන බරපතළ සැකය මේ හරහා සමාජය තුළ ජනිත වේ.
මෙම සිදුවීම් මාලාවේ කනගාටුදායක තත්ත්වය වන්නේ වත්මන් දේශපාලන අධිකාරියේ හැසිරීමයි. අතීතයේදී මුග්ධ දක්ෂිණාංශික ආණ්ඩුවල මර්දනයට, බියගැන්වීම්වලට සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කිරීමට එරෙහිව මහමඟ සටන් කළ, ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි වමේ දේශපාලන ව්‍යාපාරයක් අද දවසේ මෙවැනි සිදුවීම් ඉදිරියේ දක්වන නිහඬතාවේ අර්ථය කුමක්ද? ආණ්ඩුව විවේචනය කළ පමණින් හමුදා නිලධාරීන් යොදවා පුරවැසියන්ට මරණ තර්ජන එල්ල කරන විට, ඊට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක නොවීම තුළින් පෙන්නුම් කරන්නේ කුමක්ද? පොලිස්පතිවරයාට, මානව හිමිකම් කොමිසමට සහ හමුදාපතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත්, මේ දක්වා ඊට අදාළව විනිවිදභාවයෙන් යුතු, අපක්ෂපාතී පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවක් තවමත් ජනතාවට පෙනෙන්නට නැත.
ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන් තහවුරු කර ඇති භාෂණයේ හා ප්රකාශනයේ නිදහස මෙන්ම, 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානත්වය අද වන විට බරපතළ අභියෝගයකට ලක්ව ඇත. ආණ්ඩුවකට සහයෝගය දැක්වීමට මෙන්ම එහි ක්‍රියාකලාපය විවේචනය කිරීමටත්, වැරදි පෙන්වා දීමටත් ජනතාවට පූර්ණ අයිතියක් ඇත.
අද දින ප්‍රියංජිත් විතාරණලාට හෝ නිලන්ත සත්සරලාට එල්ල වන මෙම තර්ජනය, හෙට දිනයේ ආණ්ඩුව ප්‍රශ්න කරන වෙනත් ඕනෑම සාමාන්‍ය පුරවැසියකුගේ දොරකඩට පැමිණිය හැකිය. එබැවින් මෙම තර්ජන පිටුපස ඇති අදෘශ්‍යමාන බලවේගයන් වහාම නීතිය ඉදිරියට ගෙන ඒම බලධාරීන්ගේ වගකීමකි. එසේ නොමැති වුවහොත්, ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය වෙනුවෙන් දෙනු ලබන පොරොන්දු හුදු හිස් වචන බවට පත්වනු ඇත.
# නිරෝමි සුබ්‍රමනියම්

