ජාත්‍යන්තර ප්‍රචාරණයට වෙන් කළ සංචාරක අරමුදලින්
සිරසට කෝටි 10.4ක් දුන් කැබිනට් තීන්දුව හෙළිදරව් වෙයි...
රාජ්‍ය ප්‍රසම්පාදන හා මූල්‍ය රීති උල්ලංඝනය කරමින් කළ ගනුදෙනුව මෙන්න!!
ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මුවාවෙමින්, MTV චැනල් (පුද්ගලික) සමාගම (සිරස මාධ්‍ය ජාලය) වෙත ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) අරමුදල්වලින් රුපියල් දසකෝටි හතළිස්හය ලක්ෂයකට අධික මුදලක් (රු. 104,603,876.00) අනුග්‍රාහක මුදල් ලෙස ලබාදීමේ අතිශය මතභේදාත්මක කැබිනට් තීරණයක් පිළිබඳ නිල ලේඛන මේ වන විට අනාවරණය වී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් 2026 සැප්තැම්බර් 17 දිනැතිව ඉදිරිපත් කරන ලද T/2026/14 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය පදනම් කරගනිමින්, 2026 සැප්තැම්බර් 28 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය මෙම ගෙවීම සඳහා අනුමැතිය ලබා දී ඇත (කැබිනට් පත්‍රිකා අංක CP 26/1947/807/035).



අදාළ කැබිනට් තීරණය සහ ඊට අදාළ නිල ලේඛන පරීක්ෂා කිරීමේදී වඩාත්ම බරපතළ කරුණ වන්නේ, මෙම මුදල සපයාගෙන ඇති මූල්‍ය ප්රභවයයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවට (Board Paper) අනුව, මෙම වියදම දරා ඇත්තේ ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා ඔස්සේ රට ප්‍රවර්ධනය කිරීමට වෙන් කර තිබූ ප්‍රධාන අයවැය ශීර්ෂයෙනි.
15. Decisions of the board are sought:
15.1 Approval is sought to transfer the budget from Advertising under the Line Item Promotion of Destination through Channels Coinciding with International Activities through TV Advertising (International) to the Local Media budget 2026 Local Media FAMS/Media Gatherings to provide a sponsorship to MTV Channel (Pvt) Ltd., for hosting the Asian Broadcasting Union (ABU) General Assembly, Associated Meetings, Music Festival and Excursion for Rs. 104,603,876.
15.2 To obtain Cabinet Ministers' Approval for the sponsorship of Rs. 104,603,876 to MTV Channel (Pvt) Ltd, to host the Asian Broadcasting Union (ABU) General Assembly.
15.3 To make payment to MTV Channel (Pvt) Ltd., as per the following schedule:
1st Payment: On or before 30th September 2026 – 60% (LKR 62,762,326 + VAT)
Final payment: Before 15th November 2026 – 40% (LKR 41,841,550)
16. අත්සන් තැබූ නිලධාරීන්:
-
සකස් කළේ (Prepared By): සුරේෂ්නි එල්ලේපොල පිලපිටිය (සහකාර අධ්යක්ෂ - මහජන සම්බන්ධතා)
-
සහතික කළේ (Endorsed By): තාරේන්ද්රි රණවීර (සහකාර අධ්යක්ෂ - සන්නාම සන්නිවේදන)
-
පරීක්ෂා කළේ (Checked By): අංජුල ප්‍රේමතිලක (මුදල් අධ්යක්ෂ)
-
නිර්දේශ කළේ (Recommended By): ඩී.එම්.එස්.ඒ. නිරෝෂණ (කළමනාකාර අධ්යක්ෂ)
-
ඉදිරිපත් කළේ (Presented By): බුද්ධික හේවාවසම් (සභාපති)
එනම්, "Promotion of Destination through Channels Coinciding with International activities through TV Advertising (International)" යනුවෙන් රුපියල් මිලියන 350 ක් වෙන් කර තිබූ ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රචාරණ අරමුදලෙන් රුපියල් 104,603,876.00 ක මුදලක් කපාහැර, එය "දේශීය මාධ්‍ය/මාධ්‍ය හමුවීම්" (Local Media FAMS/Media Gatherings) ශීර්ෂය වෙත අභ්‍යන්තර මුදල් මාරුකිරීමක් (Budget Transfer) ලෙස යොමුකොට MTV ආයතනය වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ.
රටක් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රචාරණයක් දියත් කළ යුත්තේ විදේශීය ප්රේක්ෂකාගාර ඉලක්ක කරගත් ජාත්‍යන්තර නාලිකා සහ මාධ්‍ය ජාලයන්හි දැන්වීම් සහ වාර්තා වැඩසටහන් ප්‍රචාරය කිරීමෙනි. රටේ ආර්ථික අර්බුදය සහ ජනතාවගේ බදු මුදල් උපයෝගී කරගනිමින් ගොඩනගන මෙවැනි රාජ්‍ය අරමුදල්, විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ මූලික පරමාර්ථයෙන් බැහැරව දේශීය පුද්ගලික රූපවාහිනී සමාගමක සමුළු වියදම් වෙනුවෙන් මෙලෙස හරවා යැවීම බලවත් මූල්‍ය විනය විරෝධී ක්‍රියාවලියකි.
මීට අමතරව ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව (Annex V) දෙස බැලීමේදී, රාජ්‍ය මුදල් කොතරම් අත්තනෝමතික ලෙස නාස්ති කර ඇත්ද යන්න පැහැදිලි වේ. දින 5ක මෙම සමුළුවේ හෝටල් ආහාර පාන සහ ශාලා ගාස්තු වෙනුවෙන් රුපියල් මිලියන 46.5ක්ද, පැමිණෙන නියෝජිතයන් වෙනුවෙන් සිදුවන එක් දින විනෝද චාරිකාවක් (Excursion Tour) සඳහා බෙන්තොට සහ ගාල්ල ප්‍රදේශවලට රුපියල් මිලියන 12.6ක්ද, ප්‍රසංග හා නිෂ්පාදන වියදම් (Production Cost) ලෙස රුපියල් මිලියන 24.6ක්ද ඇතුළත්ව, අවසානයේ 18%ක VAT සහ 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පවා රාජ්‍ය අරමුදලින්ම එකතු කර මෙම මුදල ගෙවා ඇත.
රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ මුදල් රෙගුලාසි අනුව මෙවැනි මහා පරිමාණ රාජ්‍ය මූල්‍ය වැය කිරීමකදී විනිවිදභාවය, තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ ප්රතිලාභ පිළිබඳ නිශ්චිත විගණනයක් අත්‍යවශ්‍ය වේ. එහෙත් අදාළ ලේඛනවල "Details of the procurement decisions obtained or going to be obtained" යන කොටසේ "N/A" (අදාළ නොවේ) ලෙස දක්වා තිබීමෙන්ම රාජ්‍ය ප්‍රසම්පාදන රීතීන් කෙතරම් සැහැල්ලුවට ගෙන ඇත්දැයි මොනවට තහවුරු වේ.


මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 සැප්තැම්බර් 28 දිනැතිව තබන ලද නිරීක්ෂණ සටහනේදී, මෙම ගෙවීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කරමින්, වියදම සාධාරණීකරණය වන පරිදි අපේක්ෂිත ප්රතිලාභ මැනිය හැකි ගිවිසුමක් (MoU) ඇති කළ යුතු බවත්, වියදම් කාර්යාංශයේ අනුමත ප්‍රතිපාදන තුළින් පමණක් දැරිය යුතු බවටත් කොන්දේසි පනවා තිබේ.
කෙසේ වෙතත්, එම දැඩි නිරීක්ෂණ පවතිද්දීම, සමස්ත මුදලින් 60%ක් වන රුපියල් 62,762,326.00ක් 2026 සැප්තැම්බර් 30ට පෙර අත්තිකාරම් ලෙස නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී අවසන්ය. ඉතිරි 40%ක මුදල වන රුපියල් 41,841,550.00ක මුදල 2026 නොවැම්බර් 17ට පෙර ලබාදීමට නියමිතව තිබේ.
ජනතාව මත අධික බදු පටවමින් රාජ්‍ය මූල්‍ය විනය සහ දූෂණ විරෝධය පෙරදැරිව බලයට පත් වූ පාලනයක් යටතේ, පවතින නීතිමය ප්‍රසම්පාදන රාමුව සහ ජාත්‍යන්තර ප්‍රවර්ධන අරමුණු නොසලකා හරිමින්, දේශීය පුද්ගලික මාධ්‍ය ජාලයක උත්සව වියදම් වෙනුවෙන් සංචාරක අරමුදල් මේ ආකාරයෙන් කෝටි ගණනින් පොම්ප කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිමය මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්විය යුතු කරුණකි.
# සමාරා පරණවිතාන
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

