SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඉන්දු–ශ්‍රී ලංකා ඓතිහාසික, සංස්කෘතික සහ අධ්‍යාත්මික සබඳතාවන්හි නව පරිච්ඡේදයක්

සනිටුහන් කරමින් ‘මෛත්‍රී සේතු’ අන්තර්ජාතික අධ්‍යාපන හා සංස්කෘතික සංකීර්ණය සඳහා මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය කිරීම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඔක්තෝම්බර් 30 වැනිදා බියගම ශ්‍රී බෝධිදෲමාරාම පුරාණ විහාරස්ථානයේදී මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කෙරුණේ දෙරටේම ආගමික, රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලනික සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍ර නියෝජනය කළ සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙනි.

 

maitri_sethu_8.jpeg

 

 

සියම් මහා නිකායේ කල්‍යාණී ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිගෞරවාර්හ මල්වානේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ මෙම උත්සවය ආරම්භ විය. ඔක්තෝම්බර් 14 වැනිදාට යෙදුණු බී. ආර්. අම්බෙඩ්කාර්ගේ ධම්චක්කපවත්වන දිනය සිහිපත් කරමින් පහන් වැටි දාහතරක් දැල්වීමෙන් සහ මහානායක හිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව උත්සව සභාවේ කටයුතු පෙළගැස්විණි.

 

 

ඉන්දියාවේ සංඝ බෞද්ධ පදනමේ (Sangha Buddhist Foundation) සභාපති සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඊට අමතරව ඉන්දීය ලෝක් සභා මන්ත්‍රිනී ජෝති වග්මෙයර්, ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් හා ව්‍යාපෘතියේ නිර්මාතෘ දමෙන්ද පෝරගේ ඇතුළු ප්‍රාදේශීය විද්වතුන් පන්සියයකට අධික පිරිසක් ද මීට සහභාගි වූහ.

 

 

maithri_sethu_7.jpeg

 

 

උත්සවයේ අතිශය සුවිශේෂී අවස්ථාවක් වූයේ අනගාරික ධර්මපාල සහ බී. ආර්. අම්බේඩ්කාර්ගේ පිළිරූ වෙනුවෙන් මංගල ශෛල ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. බෞද්ධ පුනරුදයේ නියමුවා වූ ධර්මපාලගේත්, අධ්‍යාපනික හා සමාජ ප්‍රතිසංස්කරණවල පුරෝගාමියෙකු වූ අම්බේඩ්කාර්ගේත් දර්ශනය නව පරපුරට සමීප කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන අතර දෙරටේම නායකයින්ගේ සුරතින් මෙම ඓතිහාසික කර්තව්‍යය සිදු කෙරිණි.

 

 

පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති දමෙන්ද පෝරගේ මෙහිදී ‘මෛත්‍රී සේතු’ ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කළේය. ඓතිහාසික බෞද්ධ සබඳතා හුදු අතීතයට පමණක් සීමා නොකර වර්තමානයේ ප්‍රායෝගික සහයෝගීතාවක් බවට පත් කිරීමේත්, අන්තර්ජාතික මට්ටමේ දැනුම හුවමාරු කරගැනීමේත් අවශ්‍යතාව ඔහු එහිදී දැඩිව අවධාරණය කළේය.

 

maitri_sethu_5.jpeg

 

 

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අදහස් දක්වමින් දෙරට අතර පවතින බෞද්ධ උරුමයේ වටිනාකම පෙන්වා දුන්නේය. ශ්‍රී ලාංකීය විහාරස්ථාන ප්‍රතිසංස්කරණය උදෙසා ඉන්දීය රජයෙන් ඩොලර් මිලියන පහළොවක ආධාරයක් ලබා දී ඇති බවත්, අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට ඉදිරියේදී සහාය දක්වන බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතිය දෙරටේ බෞද්ධ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනයට මනා පිටිවහලක් වනු ඇති බවද ඔහු පැවසීය.

 

 

අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පෙන්වා දුන්නේ මෛත්‍රී සේතු ව්‍යාපෘතිය අතිශය කාලෝචිත හා අද්විතීය සංකල්පයක් බවයි. බෞද්ධ දර්ශනයේ වටිනාකම් ප්‍රායෝගිකව සමාජගත කරන මෙවැනි ප්‍රයත්නයන් වෙනුවෙන් උපරිම රාජ්‍ය සහයෝගය ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය.

 

 

maitri_sethu_3.jpeg

 

 

ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ජෝති වග්මෙයර් ද අදහස් දක්වමින් ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ජනතාව එකම පවුලක සාමාජිකයින් සේ සලකන බව සිහිපත් කළාය. මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ඒක්නාත් ශින්ඩේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීකාන්ත් ශින්ඩේ බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීමට දක්වන දායකත්වය අගය කළ ඇය, අම්බේඩ්කාර් දර්ශනය ඔස්සේ සමාජ ප්‍රගතියට මඟ පෑදෙන අයුරුද විස්තර කළාය.

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල මෙහිදී අදහස් දක්වමින් බියගම ප්‍රදේශයට ජාත්‍යන්තර වටිනාකමක් එක් කරන මෙම ව්‍යාපෘතිය අගය කළේය. මෙය ප්‍රදේශයේ සංවර්ධනයට මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනයට කදිම අවස්ථාවක් බවද ඔහු පැහැදිලි කරමින් අදාළ පාර්ශ්වයන්ට සිය ස්තූතිය පුද කළේය.

 

 

ඉන්දියාවේ සංඝ බෞද්ධ පදනමේ සභාපති සංඝරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දෙරටේ රජයන්ට මෙන්ම ව්‍යාපෘතියට සහාය වූ සියලු පාර්ශ්වයන්ට කෘතඥතාව පළ කරන ලදී. භූමි පූජාව මෙහෙයවූ පූජ්‍ය බලංගොඩ සීලරතන හිමියන්ටත්, බෞද්ධ සහෝදරත්ව පදනමේ සහ දායක සභාවේ සාමාජිකයින්ටත් පුණ්‍යානුමෝදනා කළ උන්වහන්සේ කල්‍යාණ මිත්‍රත්වය පදනම් කරගත් සෞභාග්‍යමත් අනාගතයක අවශ්‍යතාව අවධාරණය කළහ.

 

 

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිමාවට පත්විය. මෛත්‍රී සේතු යනු හුදෙක් භෞතික ගොඩනැඟිල්ලක් පමණක් නොව, බෞද්ධ උරුමයෙන් බැඳුණු මිත්‍රත්වයත්, වර්තමානයේ ගොඩනැඟෙන සහයෝගීතාවත් අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණය වන සංස්කෘතික පාලමත් මැනවින් විදහා දක්වන අගනා ප්‍රයත්නයකි.

 

 

maithri_sethu_2.jpeg

maithri_sethu_6.jpeg

maithri_sethu_4.jpeg

 

Media Unit 

 

 

නවතම ලිපි