ඉන්දු - ශ්රී ලංකා ඓතිහාසික, සංස්කෘතික හා අධ්යාත්මික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ
අරමුණින් ඉදිවන ‘මෛත්රී සේතු’ අන්තර්ජාතික අධ්යාපන හා සංස්කෘතික සංකීර්ණයේ මුල්ගල තැබීමේ ඓතිහාසික උත්සවය එළඹෙන ඔක්තෝබර් 30 වැනි සිකුරාදා පැවැත්වේ.
මෙම විශේෂ උත්සවය එදින පස්වරු 2.00 ට බියගම ශ්රී බෝධිදෲමාරාම පුරාණ විහාරස්ථානයේදී සංවිධානය කර ඇත.
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්රත්වය, බෞද්ධ උරුමය හා සංස්කෘතික සබඳතා නව මානයකට ගෙන යාමේ සුවිශේෂී පියවරක් ලෙස මෙම ව්යාපෘතිය සැලකේ.
දෙරටේ ඉතිහාසය තුළ සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සහ භාරතරත්න ආචාර්ය බී. ආර්. අම්බේඩ්කාර්තුමාගේ දර්ශනයන්හි ඇති මිත්රත්වයේ වටිනාකම මෙම ව්යාපෘතිය ඔස්සේ තවදුරටත් අවධාරණය කෙරෙනු ඇත.
බෞද්ධ දර්ශනය, මානව ගෞරවය, අධ්යාපනය සහ සමාජ ප්රගතිය පදනම් කරගනිමින් දෙරට අතර දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීම මෙහි ප්රධාන අරමුණකි.
එසේම බෞද්ධ උරුමය සංරක්ෂණය කිරීම, ශාස්ත්රීය පර්යේෂණ ප්රවර්ධනය, අධ්යාපනික සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම භාෂා හා තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට ද මෙය මහඟු තෝතැන්නක් වනු ඇත.
මේ හරහා දෙරටේම විද්වතුන්ට, පර්යේෂකයන්ට, අධ්යාපනඥයින්ට සහ තරුණ පරපුරට සිය අධ්යාපනික හා සංස්කෘතික අවස්ථා පුළුල් කරගැනීමට අවශ්ය පසුබිම නිර්මාණය වේ.
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ඉන්දියාවේ ලෝක් සභා මන්ත්රී සහ 'ශිව් සේනා' පාර්ලිමේන්තු පක්ෂ නායක ආචාර්ය ශ්රීකාන්ත් එක්නාත් ෂින්දේ සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්රී සන්තෝෂ් ජා ප්රධාන ආරාධිතයන් ලෙස එක්වීමට නියමිතය.
ශ්රී ලංකාවේ ත්රෛනිකායික මහ නාහිමිවරු ප්රමුඛ මහා සංඝරත්නය මෙන්ම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු සම්භාවනීය මැති ඇමතිවරු, රාජ්ය තාන්ත්රික නියෝජිතයින් සහ විද්වතුන් රැසක් ද මීට සහභාගී වනු ඇත.
සාම්ප්රදායික පෙරහරකින් ආරම්භ වන මෙම උත්සවය ආගමික වතාවත්, මුල්ගල තැබීම, ආරාධිත අදහස් දැක්වීම් සහ සමරු තිළිණ ප්රදානය ඇතුළු අංග රැසකින් සමන්විත වේ.
‘මෛත්රී සේතු’ යනු හුදෙක් ගොඩනැඟිල්ලක් පමණක් නොව, ඉතිහාසයෙන් උරුම වූ මිත්රත්වය සහ වර්තමාන සහයෝගීතාව අනාගත පරපුර වෙත ගෙන යන ජීවමාන සංස්කෘතික පාලමක් ලෙස හැඳින්විය හැකිය.
උත්සවයේ කෙටි විස්තරය:
-
දිනය: 2026 ඔක්තෝබර් 30 වැනි සිකුරාදා
-
වේලාව: පස්වරු 2.00 ට (ආරාධිතයන්ගේ පැමිණීම ප.ව. 1.15 සිට)
-
ස්ථානය: බියගම, ශ්රී බෝධිදෲමාරාම පුරාණ විහාරස්ථානය

