එක්ස්ප්රස් පර්ල් නෞකා ගින්න ශ්රී ලංකා ඉතිහාසයේ දැවැන්තම සාගර හා පාරිසරික
ඛේදවාචකයයි. නමුත් අද වන විට එය පාරිසරික අර්බුදයකින් ඔබ්බට ගොස් දේශපාලනික, නෛතික සහ භූ දේශපාලනික බලපෑම් සහිත සංකීර්ණ නාට්යයක් බවට පත්වෙමින් තිබේ.
අප හමුවේ ඇති බරපතළම ප්රශ්නය වන්නේ, තනි පුද්ගල මැදිහත්වීම් සහ රහසිගත එකඟතා හරහා මෙම සමස්ත ක්රියාවලිය තවත් එක් අමතක වී යන ඛේදනීය නවකතාවක් බවට පත්වේද යන්නයි.
2025 ජූලි 24 වන දින ශ්රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද ඩොලර් බිලියනයක මූලික වන්දි මුදල සුවිශේෂී නෛතික ජයග්රහණයකි. එම තීන්දුවේ පැහැදිලිවම සඳහන් වූයේ මෙය මූලික වන්දියක් පමණක් බවත්, අනාගත හානි තක්සේරු මත අතිරේක වන්දි අයකර ගැනීමට නෛතික අවකාශය පවතින බවත්ය.
එහෙත් අධිකරණ නියෝගයක් ලබාගැනීම සහ එම මුදල ප්රායෝගිකව මහා භාණ්ඩාගාරයට අයකර ගැනීම යනු මුළුමනින්ම වෙනස් ක්රියාවලි දෙකකි. නඩු තීන්දුවේ විනිවිදභාවය කෙතරම් ප්රබල වුවද, එය ක්රියාත්මක කිරීමේ යාන්ත්රණය තුළ පවතින අඳුරු ස්වභාවය සහ රක්ෂණ සමාගම්වල මහජන සම්බන්ධතා (PR) මෙහෙයුම් හේතුවෙන් මේ වන විට නෛතික ජයග්රහණයේ වටිනාකම දියවෙමින් පවතී.

මේ අතරතුර විධායකයේ මැදිහත්වීම පිළිබඳ බරපතළ ගැටලු මතු වී තිබේ. නීතිපතිවරයා ඇතුළු වගකිවයුතු ආයතන නීතිමය ක්රියාමාර්ග ගනිමින් සිටියදී, ජනාධිපතිවරයා විසින් සෘජුවම අදාළ රක්ෂණ සමාගම් ප්රධානීන් (London P&I Club) මුණගැසුණු බවට දේශපාලන කරළියේ පළවන වාර්තා අතිශය මතභේදාත්මකය. මෙවැනි හමුවීමක් නිශ්චිතවම සිදුවූ බවට නිල සාක්ෂි මෙතෙක් තහවුරු වී නොමැති වුවද, මෙවැනි බරපතළ චෝදනාවක් සමාජය තුළ නිර්මාණය වීම පවා සමස්ත ක්රියාවලියේ විනිවිදභාවයට එල්ල කරන බලපෑම සුළුපටු නොවේ.
රක්ෂණ සමාගමක මූලික අරමුණ වන්නේ ගෙවිය යුතු වන්දිය කෙසේ හෝ අවම කරගැනීමයි. ඔවුන්ගේ PR ව්යාපාර හරහා 'සාකච්ඡා කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි' සමාජ මතයක් හදමින් සිටින පසුබිමක, විධායක මට්ටමේ මෙවැනි පෞද්ගලික සාකච්ඡා සැබවින්ම සිදුවන්නේ නම්, ඉන් ජාත්යන්තරය හමුවේ රජයේ නීතිමය ස්ථාවරය මෙන්ම ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේ බලාධිකාරයද බරපතළ ලෙස දුර්වල වෙයි.

මෙම තත්ත්වය තවත් උග්ර වන්නේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර විසින් පාර්ලිමේන්තුවේදී මතු කරන ලද ආන්දෝලනාත්මක හෙළිදරව්ව සමගිනි. ජනාධිපතිවරයා විසින් යවන ලදැයි කියන අබිරහස් ලිපි දෙකක් පිළිබඳව එහිදී ප්රශ්න කෙරිණි.
එම ලිපි යොමු කර ඇත්තේ කා වෙතද? ඒවායේ අන්තර්ගතය කුමක්ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. විමර්ශනාත්මක මාධ්ය විසින් මේ වනවිට අදාළ ලිපි සම්බන්ධ සාක්ෂි ගවේශනය කරමින් සිටින අතර යම් හෙයකින් මෙම ලිපි වන්දි ගෙවන පාර්ශ්වයන් වෙත, නීතිපතිවරයා වෙත හෝ වෙනත් නෛතික ආයතන වෙත යොමු කර ඇති බවට තහවුරු වුවහොත්, එය ව්යවස්ථාදායක බලතල බෙදීමේ න්යායට එල්ල කරන සෘජු බලපෑමක් වනු ඇත. විධායකය රහසිගතව මැදිහත් වීමෙන් සමස්ත අයකරගැනීමේ ක්රියාවලියේ නෛතික පදනම ප්රශ්න සහගත වේ.
මීට සමගාමීව අගවිනිසුරුවරයාගේ සම්බන්ධය හා බැඳුණු විවිධ කතා සහ කටකතා සමාජය තුළ සංසරණය වෙමින් පවතී. මෙහිදී අධිකරණයට අපහාස නොවන අයුරින් අප තේරුම් ගත යුතු මූලිකම කරුණ වන්නේ, කිසියම් නෛතික ක්රියාවලියක් සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය පමණට වඩා මැදිහත් වන විට ආයතනික ස්වාධීනත්වය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු වන බවයි.
නීතිය පසිඳලීමේ ක්රියාවලිය කිසිදු දේශපාලනික හෝ විධායක බලපෑමකින් තොරව ක්රියාත්මක විය යුතුය. එසේ නොවන බවට සමාජය තුළ ගොඩනැගෙන කුමන හෝ අසුබවාදී ආඛ්යානයක් වක්රව වාසි සහගත වන්නේ, අධිකරණ බලය හෑල්ලු කර අඩු මුදලකට වන්දිය සමථයකට පත්කර ගැනීමට මාන බලන රක්ෂණ සමාගම්වලට පමණි.
මෙම අර්බුදය පිටුපස ඉන්දීය බලපෑමක් පවතින්නේද යන්න පිළිබඳවද භූ දේශපාලනික කියවීමක් පවතී. නෞකාව ගිනිගැනීමේ අවස්ථාවේදී සහ පසුව සිදුකළ මෙහෙයුම්වලදී කලාපීය බලවතුන්ගේ හැසිරීම පිළිබඳව විවිධ විවේචන මතු විය.
වන්දි සාකච්ඡා සහ පාරිසරික තක්සේරුකරණ ක්රියාවලියේදී UNEP/OCHA වැනි ජාත්යන්තර ආයතනවල ස්වාධීන විද්යාත්මක වාර්තාවලට වඩා, කලාපීය රාජ්ය තාන්ත්රික බලපෑම් ඉස්මතු වන්නේ නම් එය ශ්රී ලංකාවේ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව සීමා කරන්නකි. මෙය හුදෙක් පාරිසරික අර්බුදයක් පමණක් නොව, ඉන්දියානු සාගර කලාපයේ බලය සහ නාවික වගකීම් පිළිබඳව කෙරෙන භූ දේශපාලනික කේවල් කිරීමක් බවද අප අමතක නොකළ යුතුය.

අවසාන විග්රහයේදී, එක්ස්ප්රස් පර්ල් ව්යසනය යනු දේශපාලකයන්ට හෝ රක්ෂණ සමාගම්වල PR ව්යාපාරවලට තම හිතුමතයට අවසන් කළ හැකි කල්පිත නවකතාවක් නොවේ. එය මේ රටේ ධීවර ප්රජාවගේ ජීවනෝපාය සහ සාගර පරිසරය සමග බැඳුණු පියවි සත්යයකි.
වන්දි අයකරගැනීම පදනම් විය යුත්තේ රක්ෂණ සමාගම්වල කොන්දේසි හෝ දේශපාලන ගනුදෙනු මත නොව, ස්වාධීන විද්යාත්මක සාක්ෂි සහ දැනට පවතින ශ්රේෂ්ඨාධිකරණ නියෝගය මත පමණි. රාජ්යතාන්ත්රික සහ නීතිමය යාන්ත්රණයන් මගහරිමින් සිදුකරන විධායක මැදිහත්වීම් වහාම නතර කර නීතිපතිවරයා හරහා ක්රියාමාර්ග ශක්තිමත් නොකළහොත්, මෙරටට හිමිවිය යුතු දැවැන්තම පාරිසරික වන්දිය ලබාගැනීමේ අවස්ථාව හුදු දේශපාලන ප්රබන්ධයක් බවට පත්වී ඉතිහාසයටම එක්වනු ඇත.
# සමාරා පරණවිතාන

