SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සත්‍යග්‍රහ රැල්ල, මහානායක අවවාදය සහ භික්ෂුවගේ සැබෑ සමාජ වගකීම

 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා

කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලා අරබයා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් 2026.10.25 දිනැතිව නිකුත් කරන ලද විශේෂ නිවේදනය, වර්තමාන ලාංකීය භික්ෂු සමාජයේ හැසිරීම සහ භූමිකාව පිළිබඳව ගැඹුරු කතිකාවතක් නිර්මාණය කර තිබේ.

 

 

අතිපූජ්‍ය මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහානායක හිමිවරුන්ගේ අත්සනින් නිකුත් වූ මෙම ලිපියේ භික්ෂුවගේ පදනම පිළිබඳව මෙසේ පැහැදිලිව දක්වා ඇත.

"ශ්‍රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පුදෝපහාරයට පාත්‍ර වන ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේය. එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණි".

 

 

image_94ad64deb8.jpeg

මෙම අර්බුදය පිටුපස ඇති දේශපාලනික හා කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව ද මහානායක හිමිවරු සිය ලිපියෙන් සෘජුවම අනතුරු අඟවා ඇත්තේ,

"දැනට මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන ඇතැම් විරෝධතා දැක්වීම් පාදක කරගනිමින් ශ්‍රී ලාංකේය සමාජය තුළත්, ජාත්‍යන්තරය හමුවේත් භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය හා කීර්තිනාමය පළුදු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන අතර ඒ සඳහා ඉඩ නොතැබීමට සමස්ත භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතුය" යනුවෙනි.

තවද, අදාළ ගැටලුව නීත්‍යානුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උන්වහන්සේලා මේ වන විටත් රජය වෙත අවශ්‍ය මැදිහත්වීම සිදු කර ඇති බව ද එහි තවදුරටත් සඳහන් වේ.

 

 

නමුත් මෙම සිදුවීම හරහා මතුකරන සමාජ දේශපාලනික යථාර්ථය ඊට වඩා බොහෝ සෙයින් සංකීර්ණය. බහුතර බෞද්ධාගමික රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ මහා සංඝරත්නයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රාජ්‍ය පාලනයට අනුශාසනා කිරීමේ සහ සමාජයට මඟපෙන්වීමේ ඓතිහාසික වගකීමක් භික්ෂුවට පැවරී ඇත. එසේ තිබියදී, අරගල රැල්ලේ ආශාවෙන් මත් වී තැන තැන කඳවුරු බැඳගෙන විරෝධතා දැක්වීම භික්ෂුවගේ සැබෑ කාර්යභාරය ද යන්න බරපතළ ලෙස ප්‍රශ්න කළ යුතුව ඇත.

 

 

අද වන විට ලාංකීය සමාජය මුහුණ දී සිටින්නේ අතිශය ඛේදනීය මානව හිමිකම් අර්බුදයකට සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටීමකටය. එක් පසෙකින්, ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුඛවාඩම් බඳිමින්, අත්තනෝමතික ලෙස පුරවැසියන් අත්අඩංගුවට ගැනීමේ අවකාශය විවර කර දෙන 'ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත' (PTA) සහ නව සංශෝධිත තාවකාලික පනත් හරහා මානව සමාජයට සිදුවන අකටයුතුකම් අතිමහත්ය.

 

 

සමාජයේ බහුතරයක් පීඩාවට පත්වන මෙවැනි අත්තනෝමතික නීතිවලට එරෙහිව පෙනී සිටීම සමාජයේ මුරදේවතාවන් ලෙස සැලකෙන භික්ෂුවගේ වගකීමක් නොවේද?

 

 

අනෙක් පසින්, පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන තරුණයින් නිසි අධිකරණ ක්‍රියාවලියකට යොමු කිරීමට පෙර, පොලිස් ස්ථාන තුළදීම කෲර වධහිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සංස්කෘතියක් රට තුළ නිර්මාණය වී ඇත.

 

 

වැරදිකරුවන් වේ නම් ඔවුන්ට නීතියෙන් දඬුවම් දී පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීම වෙනුවට, අත්අඩංගුවේදී ඝාතනයට ලක්වීම කිසිසේත්ම ශිෂ්ටසම්පන්න සමාජයක ලක්ෂණයක් නොවේ. ජීවත්වීමේ අයිතිය අහිමි කරන මෙවැනි බරපතළ ඝාතන සහ අකටයුතුකම් සිදුවෙද්දී ඊට එරෙහිව මහා සංඝරත්නය වීදි නොබසින්නේ ඇයි?

 

 

වඩාත් ප්‍රමුඛ ජාතික සහ සමාජීය අර්බුද පසෙක තිබියදී, හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකට සමාව ලබාගැනීමේ අරමුණින් පමණක් සංවිධානය වන මෙවැනි සත්‍යග්‍රහ සහ විරෝධතා මඟින් ඉටුකරමින් සිටින්නේ කාගේ දේශපාලන ව්‍යාපෘතීන් ද යන්න සැක සහිතය.

 

 

සැබෑ බෞද්ධ භික්ෂුවගේ භූමිකාව විය යුත්තේ දේශපාලන න්‍යාය පත්‍රවල රූකඩයක් වීම නොවේ. නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙන විට, රාජ්‍ය යාන්ත්‍රණය විසින් ජනතාව පීඩාවට පත් කරන විට සහ මිනිස් ජීවිතවලට නිසි වටිනාකමක් නොලැබෙන විට ඊට එරෙහිව ධර්මානුකූලව හඬ නැගීමයි.

 

 

මෙම සමස්ත අර්බුදය හමුවේ මහානායක හිමිවරුන් සිය ලිපිය අවසන් කරමින් ලබා දී ඇති අවවාදය අතිශය කාලීනය.

 

"ශාසන බ්‍රහ්මචර්යාවේ උදාර අරමුණුත් ඓතිහාසික භික්ෂු භූමිකාවේ සමාජීය කාර්යභාරයත් නිරන්තරයෙන් මෙනෙහි කරමින් 'අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්‍යෝභාවාය' යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශ්වයන්හි සමස්ත මහා සංඝරත්නයට මෙයින් සිහිපත් කර සිටිමු"

යනුවෙන් එම නිවේදනය මඟින් අවධාරණය කර ඇත.

මහානායක හිමිවරුන්ගේ මෙම අවවාදය හුදෙක් එක් සත්‍යග්‍රහයක් නතර කිරීමට පමණක් නොව, සමස්ත භික්ෂු සමාජයම තමන් මේ ඉටුකරමින් සිටින්නේ කාගේ වුවමනාවක්දැයි යළි හැරී බැලීමටත්, සමාජයේ සැබෑ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වීමටත් කරනු ලැබූ ප්‍රබල අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතුය.

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

 

නවතම ලිපි