– ශිරාල් ලක්තිලකගේ පැමිණිල්ලෙන් විමර්ශනයක් ඉල්ලයි!
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන අනිසි ලෙස
භාවිත කිරීම, රාජ්ය මුදල් වියදම් කිරීම සහ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් අයුතු මැදිහත්වීම් සිදුව ඇතැයි මතුව ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳව හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක ගේ නීතිඥ කණ්ඩායම විසින් අද (22) අදාළ බලධාරීන් වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

ජ්යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක විසින් ඉදිරිපත් කර ඇති මෙම ලිඛිත පැමිණිල්ල, නීතිඥ රජික කොඩිතුවක්කු සහ තීක්ෂණ ගම්මන්පිල විසින් භාරදීමට නියමිත අතර, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපතිවරයා සහ නීතිපතිවරයා වෙත එය යොමු කර ඇත.
මෙම පැමිණිල්ල මගින් මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ කොළඹ මහාධිකරණයේ විභාග වන HC 1824/20 දරන නඩුව සම්බන්ධයෙනි. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න සහ ජ්යෙෂ්ඨ නීතිඥ අනිල් සිල්වා විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින මෙම නඩුවට අදාළව පසුගිය ඔක්තෝබර් 19 වැනිදා ලබාදුන් සාක්ෂියක් මෙහි පදනම වී තිබේ.
එදින ගරු මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, පැමිණිල්ල වෙනුවෙන් නම් කර සිටි දෙවන සාක්ෂිකරු වන මොහොමඩ් සුහයිල් සිද්දික් නමැත්තා විත්ති පාර්ශ්වයේ හරස් ප්රශ්න කිරීම් හමුවේ ලබා දුන් සාක්ෂිය මගින් මෙම බරපතළ නීතිවිරෝධී ක්රියාදාමය අනාවරණය වී ඇත.
අදාළ සාක්ෂිකරුවා මුල් නඩු විභාගය සඳහා කැඳවීමේ දී තමන්ට ලංකාවට පැමිණ සාක්ෂි දීමට නොහැකි බව මින් පෙර තම නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට නීත්යානුකූලව දන්වා තිබුණි. එසේ තිබියදී, පොලිස් පරීක්ෂණ නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීමෙන් ඔහුව ජර්මනියේ සිට ශ්රී ලංකාවට කැඳවාගෙන ඒම සඳහා රුපියල් ලක්ෂ හතරහමාරක (රු. 450,000) පමණ ගුවන් ගමන් සහ අනෙකුත් වියදම් රාජ්ය මුදලින් දරා ඇති බවට පැමිණිල්ලෙන් ප්රශ්න කර තිබේ.
විශේෂයෙන්ම ඔහුගෙන් සාක්ෂි විමසීමේදී ජර්මනියේ සිට ශ්රී ලංකාවේ නඩු විභාගයට පැමිණීම සඳහා වියදම් වන මුදල තමන් විසින් නොදැරූ බවත්, ඒ සියළු වියදම් සහ සම්බන්ධීකරණ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් තොරව අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන "CCD හි අධ්යක්ෂ ඉන්දික මහත්තයා" ඇතුළු පිරිසක් විසින් සෘජුව මෙහෙයවා ඇති බවත් ඔහු අධිකරණය හමුවේ පිළිගෙන ඇත.

මෙම ක්රියාවලිය 2015 අංක 4 දරන පනතේ 14 වන වගන්තිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව නීතිඥ ශිරාල් ලක්තිලක පෙන්වා දෙයි. සාක්ෂි දීමට නොහැකි බව ප්රකාශ කළ සාක්ෂිකරුවෙකුට මූල්යමය ප්රතිලාභ ලබා දෙමින් පොළඹවා ගැනීම ව්යවස්ථාපිත ක්රමවේදයෙන් බැහැර වූ පොලිස් නිලධාරීන්ගේ අයුතු පෙළඹවීමක් සහ පූර්ව සැලසුම්ගත සාක්ෂි මෙහෙයවීමක් ලෙස පෙත්සමේ සඳහන් වේ.
එසේම, විදේශගතව සිටින සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි ලබාගැනීම සඳහා පනතේ 29 වන වගන්තිය මගින් දෘශ්ය හා ශ්රව්ය සබැඳි (Audio-Visual Link) හරහා විදේශ තානාපති කාර්යාලයක් මගින් සාක්ෂි විභාග කිරීමේ නීත්යානුකූල ක්රමවේදයක් දක්වා ඇත. එම ප්රතිපාදන නොතකා හරිමින්, පනත යටතේ පවතින වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂක අරමුදල හරහා නොව පොලිස් නිලධාරීන්ගේ හිතුමනාපයට රාජ්ය මුදල් වියදම් කිරීම මූල්ය රෙගුලාසි මෙන්ම පනතේ 7 සහ 8 වගන්ති යටතේ වන අපක්ෂපාතීත්වයේ මූලධර්මය කඩකිරීමක් බව ද අවධාරණය කර තිබේ.
සාක්ෂි ආඥාපනතේ 24 වන වගන්තිය ප්රකාරව යම් පෙළඹවීමක් හෝ මූල්ය වාසියක් මත පදනම්ව කැඳවනු ලබන සාක්ෂියක් දූෂිත සාක්ෂියක් වන අතර, එය ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) සහ 13(3) වගන්ති මගින් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බවද පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.
අපරාධ නඩුවක සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නීතියේ ආධිපත්යය, රාජ්ය මුදල්වල වගකීම්සහගත භාවිතය සහ අධිකරණ ක්රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්යවශ්ය බව පැමිණිල්ලේ ස්ථාවරයයි.
අධිකරණය ඉදිරියේ පවතින නඩු විභාගයේ අපක්ෂපාතීත්වයට හා යුක්තිසහගත භාවයට හානි කරමින් සිදු කර ඇති මෙම අයුතු මැදිහත්වීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිසි නීතිමය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා ඇත.

