ශ්රී ලංකා දේශපාලන කරළියේ මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන චරිතයක් බවට
පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මේ වන විට මුහුණ දී සිටින නීතිමය අභියෝග, ඔහුගේ දේශපාලන ගමනට සෘජුවම සහ බරපතළ ලෙස තර්ජනයක් එල්ල කර තිබේ.
විශේෂයෙන්ම එයාර්බස් සහ ක්රිෂ් ගනුදෙනු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් චෝදනා යටතේ ඔහු වරදකරුවෙකු වුවහොත්, එය ඔහුගේ දේශපාලන දිවියේ අවසානය සනිටුහන් කිරීමේ ආරම්භය වනු ඇත.
ව්යවස්ථාවේ උගුල සහ දේශපාලන වනවාසය
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 89 සහ 91 වගන්තිවලට අනුව නාමල් රාජපක්ෂට අදාළ චෝදනා ඔප්පු වුවහොත් වහාම ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරය අහිමි වී යනු ඇත. නීතිමය ප්රතිපාදනවලට අනුව, යම් වරදකට වසර දෙකකට වැඩි සිරදඬුවමක් නියම වී, ඉන් මාස හයකට වඩා සිරගතව සිටීමට යමෙකුට සිදු වුවහොත්, එම දඬුවම සම්පූර්ණයෙන් අවසන් වූ දින සිට තවත් වසර හතක් ගතවන තුරු ඔහුට කිසිදු මැතිවරණයක් සඳහා තරඟ කිරීමට හෝ ඡන්දය ප්රකාශ කිරීමට නොහැකිය.
මෙහි ඇති භයානකම තත්ත්වය නම්, ශ්රී ලංකා නීතියට අනුව විවිධ නඩු සඳහා නියම වන සිරදඬුවම් එකින් එක ගෙවීමට සිදු වුවහොත්, නාමල්ගේ සම්පූර්ණ සිරදඬුවම වසර 10ක් හෝ ඊට බොහෝ සෙයින් වැඩි වීමට ඉඩ තිබීමයි. මෙයින් අදහස් වන්නේ, දඬුවම් කාලය සහ ඉන්පසු එළඹෙන වසර හතක තහනම් කාලයද ඇතුළුව දශක දෙකකට ආසන්න කාලයක් සඳහා ඔහුව ශ්රී ලංකා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමේ පැහැදිලි අවදානමක් නිර්මාණය වී ඇති බවයි.
නාමල්ට ඇප නොලැබී දිගටම 'ඇතුළේ' සිටින්නේ ඇයි?
නාමල් රාජපක්ෂට ඇප ලබාගැනීමට ඇති ප්රධානතම බාධකය වී ඇත්තේ නීතියේ ඇති දැඩිභාවයයි. ඔහුට එරෙහිව මේ වන විට ක්රියාත්මක වන්නේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත (2026 නව සංශෝධන සහිතව) සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතයි.
2026 ගෙන ආ නව සංශෝධනවලට අනුව රුපියල් ලක්ෂයකට වැඩි අල්ලස් චෝදනාවලදී, අදාළ සැකකරුට මහේස්ත්රාත්වරයෙකු මගින් ඇප ලබා දිය හැක්කේ අතිශය "සුවිශේෂී කරුණු" අධිකරණය හමුවේ තහවුරු කළහොත් පමණි.
පසුගියදා නාමල්ගේ නීතිඥයින් විසින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේ ප්රධාන කරුණු දෙකක් මුල් කරගනිමිනි. එනම්, විමර්ශන අවසන් වී ඇති බවත්, ඔහුගේ දෙමාපියන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ යන දෙදෙනාම රෝහල්ගත කර ඇති බවත් ය.
නමුත් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා එම ඇප ඉල්ලීම ප්රතික්ෂේප කළේය. ඊට හේතු වූයේ ස්වාධීන වෛද්ය වාර්තා මගින් අදාළ රෝහල්ගතවීම් නිසි පරිදි තහවුරු නොකිරීම සහ හුදෙක් 'විමර්ශන අවසන් වීම' පමණක් ඇප ලබා දීමට ප්රමාණවත් සුවිශේෂී කරුණක් ලෙස නීතිය ඉදිරියේ නොසැලකීමයි.
ත්රිපුද්ගල මහාධිකරණය
සමස්තයක් ලෙස ගත් කල, නාමල් රාජපක්ෂ මේ වන විට මුහුණ දෙන්නේ මූල්ය අපරාධ සම්බන්ධයෙන් පනවා ඇති අතිශය දැඩි දූෂණ විරෝධී නීතිවලට පමණක් නොවේ. ඔහුට එරෙහිව විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ (Trial-at-Bar) ක්රියාදාමයක් ද දියත් වීමට නියමිතය. එයින් ඔහුට දැඩි දඬුවම් හිමිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර, එය නාමල්ගේ දේශපාලන අනාගතය අතිශයින්ම අවදානම් සහ අඳුරු තත්වයකට පත් කර ඇති ප්රබලතම සාධකය බව දේශපාලන හා නීති අංශ පෙන්වා දෙයි.
#NiromiSubramaniyam

