ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ අප අත්සන් තබා ඇති ගිවිසුම රටේ
ආර්ථික ගැලවුම්කරුවා ලෙස කාලයක් තිස්සේ රනිල්වාදීන් විසින් පුම්බා පෙන්වනු ලැබීය. එහෙත් එම ආයතනය විසින්ම නිකුත් කරන ලද නවතම දත්ත දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මෙම ගමන රටත් ජනතාවත් තවදුරටත් අගාධයටම ඇද දමන එකක් බවයි.
ඔවුන්ගේ නවතම ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව ශ්රී ලංකාවේ උද්ධමනය මේ වසරේදී ආසියානු කලාපයේ සාමාන්ය මට්ටම මෙන් දෙගුණයකින් පමණ ඉහළ යනු ඇත. ගෙවී ගිය 2025 වසරේදී පැවති සෘණ දශම පහක මට්ටම සම්පූර්ණයෙන්ම කණපිට හරවමින් මේ වසරේදී උද්ධමනය සියයට පහයි දශම තුනක් දක්වාත්, ලබන වසරේදී සියයට පහයි දශම හතරක් දක්වාත් ඉහළ යනු ඇතැයි IMF සංවිධානයම පිළිගෙන තිබේ.

මෙය කලාපයේ අනෙකුත් රටවල තත්ත්වය හා සසඳන විට අතිශය ඛේදනීය තත්ත්වයක පෙරනිමිත්තකි. ආසියාවේ නැඟී එන රටවල සාමාන්ය උද්ධමනය සියයට දෙකයි දශම හතක මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක, අපේ රටේ ජනතාවට පමණක් මෙතරම් අධික ජීවන වියදම් පීඩනයක් දරා ගැනීමට සිදුවීමෙන් පෙනී යන්නේ ක්රියාත්මක වෙමින් පවතින ආර්ථික මොඩලයේ පවතින බරපතළ ව්යුහාත්මක බිඳවැටීමයි.

උද්ධමනය පමණක් නොව, රටේ සමස්ත ආර්ථික වර්ධනයද මේ වන විට බරපතළ කඩාවැටීමකට ලක්වෙමින් පවතින බව වාර්තාව පෙන්වා දෙයි. පසුගිය වසරේ සියයට පහක මට්ටමේ පැවති ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට හතර දක්වාත්, ලබන වසරේදී සියයට තුනයි දශම හත දක්වාත් අඛණ්ඩව පහත වැටෙනු ඇති බව ඔවුන්ගේම දත්ත තහවුරු කරයි.
එපමණක් නොව රටකට ඉතා වැදගත් වන ජංගම ගිණුමේ ශේෂයද යළිත් වරක් සෘණාත්මක දිශාවකට හැරෙමින් තිබේ. පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකයි දශම හයක අතිරික්තයක් පෙන්වූ ජංගම ගිණුම, මේ වසරේදී සියයට දශම පහක හිඟයක් දක්වාද ලබන වසරේදී දශම තුනක හිඟයක් දක්වාද පහත වැටෙනු ඇත. මෙයින් පැහැදිලි වන්නේ විදේශීය සංචිත හීන වෙමින් අර්බුදය යළි හිස ඔසවමින් පවතින බවයි.
මෙම අර්බුදය හමුවේ IMF සංවිධානය සිදුකරන එකම යෝජනාව වන්නේ රටේ ජනතාව තවදුරටත් පීඩනයට පත්කරන දැඩි මූල්ය ප්රතිපත්ති අනුගමනය කළ යුතු බව පමණි. බලශක්ති මිල ගණන් ඉහළ යාම හමුවේ ජනතාවට ලබාදෙන සුබසාධන සහ සහනාධාර පවා ඉතා සීමිත සහ තාවකාලික විය යුතු බවට ඔවුන් දෙන උපදෙස් මගින් සාමාන්ය පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය අමු අමුවේම උදුරා ගනිමින් සිටී.
අප වැනි තාක්ෂණික වටිනාකම් දාමයන්ට සම්බන්ධ නොවූ, හුදෙක් බලශක්ති ආනයනය මතම යැපෙන රටක් ගෝලීය වශයෙන් වඩාත්ම දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බව IMF ආයතනයම පිළිගනී. එසේ තිබියදීත් බදු බර වැඩිකරමින් සුබසාධනය කප්පාදු කරමින් ක්රියාත්මක කරන මෙම අමානුෂික කොන්දේසි මාලාවෙන් සිදුවන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම අකර්මණ්ය වීම පමණි.

ආර්ථික වර්ධනය පහත වැටෙන, එමෙන්ම උද්ධමනය කලාපයේ අනෙක් රටවලට වඩා දෙගුණයකින් ඉහළ යන මෙම යථාර්ථය තුළ පැහැදිලි වන එකම සත්යය නම් මෙම ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන අපට කිසිදු සැබෑ ආර්ථික සහනයක් ගෙන දී නොමැති බවයි. එම නිසා තවදුරටත් ජනතාව බිල්ලට දෙන මෙම IMF කසාදය වහාම අවසන් කර, රටට ගැළපෙන ස්වාධීන සහ දේශීය නිෂ්පාදනය මත පදනම් වූ, අධි පරිභෝජනවාදය සීමාකරන ආර්ථික ගමන් මඟක් තෝරා ගැනීමට දැන් කාලය එළැඹ තිබේ.
#SamaaraParanavithana

