SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ පවතින අර්බුද, දේශපාලන මැදිහත්වීම් සහ

නිලවරණයක් නොපැවැත්වීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස, 2027 වසරේදී පැවැත්වීමට නියමිත මංගල 'ICC කාන්තා ශූරයින්ගේ කුසලාන' (Women’s Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ.

 

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඊයේ (02) මෙම තීරණය නිල වශයෙන් තහවුරු කළ අතර, ඒ අනුව එම තරගාවලියේ නව සත්කාරක රට ලෙස ඉන්දියාව නම් කර ඇත.

 

 

මෙම අවාසනාවන්ත තීරණයත් සමග ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 20කට (රුපියල් කෝටි 6000කට ආසන්න) අධික අතිවිශාල විදේශ විනිමයක් අහිමි වී යනු ඇත. තරගාවලිය හරහා මෙරට සංචාරක කර්මාන්තයට සහ ආර්ථිකයට ලැබීමට තිබූ විශාල උත්තේජනය මෙන්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ ලැබීමට තිබූ ප්‍රසිද්ධිය ද මේ අනුව ගිලිහී ගොස් ඇත.

 

 

මෙලෙස සත්කාරකත්වය අහිමි වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙතෙක් පවත්වා නොතිබීමයි. දැනට ක්‍රිකට් පරිපාලනය මෙහෙයවනු ලබන්නේ රජය විසින් පත් කරන ලද 'පරිවර්තන කමිටුවක්' (Transformation Committee) විසිනි. මෙය ICC යේ ස්වාධීනත්ව ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවකි.

 

 

මෙහි ඇති වඩාත් කනගාටුදායක සහ විචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන කරුණ නම් මෙය හදිසියේ වූවක් නොවීමයි. මාස දෙකකට පෙර ICC ය විසින් මේ පිළිබඳව පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා වෙත පැහැදිලි අනතුරු ඇඟවීමක් කර තිබුණි. දේශපාලන මැදිහත්වීම් නතර කර වහාම නිලවරණයක් නොපැවැත්වුවහොත් සත්කාරකත්වය අහිමි වන බව ඔවුන් අවධාරණය කර තිබිණි.

 

 

එහෙත් එම බරපතළ අනතුරු ඇඟවීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර ඇත්තේ ඉතා මෑතකදීය. අදාළ කමිටුව මෙම අතිශය වැදගත් තොරතුරු නිසි කලට ඉහළ බලධාරීන්ට ලබා නොදීම තුළින් පෙනී යන්නේ ක්‍රිකට් පරිපාලනය තුළ පවතින දුර්වල සන්නිවේදනය සහ දැඩි වගකීම් විරහිත බවයි.

 

 

පරිවර්තන කමිටුව තරගාවලිය ශ්‍රී ලංකාවේම තබා ගැනීමට හැකිවනු ඇතැයි 'බලාපොරොත්තු සහගතව' සිටියද, ජාත්‍යන්තර නීති ඉදිරියේ එවැනි හිස් බලාපොරොත්තු වලට ඉඩක් නොමැති බව ICC ය නැවත වරක් ඔප්පු කර ඇත. බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව ද සලකා බැලීමෙන් පසු අවසානයේ තරගාවලිය ඉන්දියාවට ලබා දීමට ඔවුන් තීරණය කර තිබේ.

 

 

මෙය ශ්‍රී ලංකාවට පරිපාලන ගැටලු නිසා ICC තරගාවලියක් අහිමි වූ පළමු අවස්ථාව නොවේ. 2023 වසරේද රජයේ ඇඟිලි ගැසීම් හේතුවෙන් පැනවූ තහනමක් නිසා, 2024 වයස අවුරුදු 19 න් පහළ පිරිමි ලෝක කුසලානය ද ශ්‍රී ලංකාවට අහිමි වී දකුණු අප්‍රිකාවට හිමි විය. අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීමේ ඛේදනීය ප්‍රතිඵලය මෙවර ද සමස්ත රටටම අත්විඳීමට සිදු වී ඇත.

 

 

සත්කාරකත්වය අහිමි වුවද තරගාවලියට ක්‍රීඩා කිරීමේ වරම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අහිමි නොවේ. 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා ඉන්දියාවේ මුම්බායි සහ වඩෝදරා හිදී පැවැත්වෙන මෙම තරගාවලියට ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.

 

 

මේ වන විට පරිවර්තන කමිටුව විසින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දී තිබුණද, එය පාර්ලිමේන්තුව හරහා නීතිගත වීමට තවත් කාලයක් ගතවනු ඇත. එතෙක් ICC විධායක මණ්ඩල රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට අහිමි කර තිබේ.

 

 

දේශීය ක්‍රිකට් පරිපාලනයේ අත්තනෝමතික තීරණ, නිසි කලට ක්‍රියාත්මක නොවීම සහ බලධාරීන් අතර පවතින දුර්වල සන්නිවේදනය හේතුවෙන් තවදුරටත් ජාත්‍යන්තරය ඉදිරියේ රටක් ලෙස අපට විශාල වන්දියක් ගෙවීමට සිදු වී ඇති බව මෙම සිදුවීමෙන් මනාව තහවුරු වේ. වහාම නිලවරණයක් පවත්වා පිළිගත් පාලනයක් ස්ථාපිත නොකළහොත්, මෙවැනි ඛේදවාචකයන් ඉදිරියටත් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදු වනු නිසැකය.

 

 

 

නවතම ලිපි