කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන 'ඒෂියා කැපිටල්' (Asia Capital) හි
කොටස් අයිතියෙන් 71.6% ක් ජාත්‍යන්තර පිරමීඩ ජාල මහමොළකරුවෙකු වන විජය ඊශ්වරන් නැමැත්තා විසින් අත්පත් කරගෙන ඇති බවට සිවිල් බුද්ධි පෙරමුණ අද (01) ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු සංජය මහවත්ත අනාවරණය කළේ, 'ෆාස්ට් ගේන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්' නැමැති සමාගම හරහා මෙම සැක කටයුතු කොටස් අත්පත් කරගැනීම සිදුකර ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ සමාගම්වල ප්‍රධානියා ලෙස කටයුතු කළ විජය ඊශ්වරන්ට එරෙහිව මේ වන විටත් ඉන්දියාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කර තිබේ. එසේ තිබියදීත්, නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්කරුවෙකු ඩොලර් මිලියන ගණනක මුදලක් මෙරටට ගෙන එමින් සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ ආයෝජනය කරන්නේ කෙසේදැයි සංජය මහවත්ත මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කළේය.
මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඒෂියා කැපිටල් කළමනාකාරීත්වය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
අදාළ විශේෂ මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

