SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

MAS ඩොලර් මිලියන 93ක් ඉන්දියාවට ගෙන යද්දී, ලංකාවේ නියාමකයින් නිදිද?

 

 

1980 සහ 90 දශකවලදී රණසිංහ ප්‍රේමදාස සමයේ ආරම්භ කෙරුණු ඇඟලුම් කර්මාන්තශාලා

200යේ වැඩසටහන, ශ්‍රී ලංකාවේ කාර්මික ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. එහෙත් එම දැවැන්ත කර්මාන්ත පදනම ගොඩනැගුණේ හුදෙක් යකඩ සහ කොන්ක්‍රීට් මතින් නොව, ග්‍රාමීය තරුණ තරුණියන්ගේ ලේ, දහදිය සහ කඳුළු මතිනි. දශක කිහිපයක් පුරා සිය යෞවනය මැහුම් මැෂිමකට දිය කර හරිමින්, ශ්‍රී ලංකාවට ඩොලර් සංචිත ගෙනැවිත් දුන් අපේ කෙල්ලන්ගේ ශ්‍රමය අද වන විට කර්මාන්ත හිමියන්ගේ ගෝලීය ලාභ තර කිරීමේ ක්‍රීඩාවේ ඛේදනීය පූජාවක් බවට පත්ව ඇත.

 

 

MAS Holdings - Full service clothing manufacturer

 

 

මේ වන විට ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සමාගම වන අමලීන් පවුලට අයත් MAS Holdings සමාගම දේශීය මෙහෙයුම් කප්පාදු කරමින්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 93කට (ඉන්දීය රුපියල් බිලියන 8.8කට) ආසන්න දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට ගිවිසුම් අත්සන් කර තිබීම මගින් මෙම යථාර්ථය මනාව සනාථ වේ.

 

 

mas_3.jpeg

 

 

මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් සිදුවන දේශීය කර්මාන්ත සංකෝචනය

දේශීය සමාජ මාධ්‍ය තුළ "MAS කර්මාන්තශාලා වසා දමා සේවකයන් 26,000ක් ඉවත් කරයි" යනුවෙන් පැතිර ගියේ අතිශයෝක්තියක් වුවද, එහි ගැබ්ව ඇති යථාර්ථය සුළුකොට තැකිය නොහැක. 2026 පෙබරවාරි මාසය වන විට තුල්හිරියේ පිහිටි මෙත්ලිය කර්මාන්තශාලාවේ ඇඟලුම් මැසීමේ කටයුතු නතර කිරීමටත්, 2025 අගභාගයේ ඇති වූ දිට්වා සුළිකුණාටුවෙන් ඇතිවූ පාරිසරික අවදානම් මත පදනම්ව තුරුලි කර්මාන්තශාලාවේ මෙහෙයුම් වසා දැමීමටත් සමාගම පියවර ගෙන ඇත.

 

 

මෙමගින් සේවකයින් 3,800කට ආසන්න පිරිසකගේ වෘත්තීය ජීවිත වලට සෘජු බලපෑම් එල්ල වී ඇත. රෙදිපිළි නිෂ්පාදනය ඉහළ නැංවීමේ උපායමාර්ගික වෙනසක් ලෙස සමාගම මෙය අර්ථ දැක්වුවද, අවසානයේ සිදුව ඇත්තේ මෙරට නිෂ්පාදන ධාරිතාවෙන් සහ සෘජු රැකියා අවස්ථාවලින් සැලකිය යුතු කොටසක් කප්පාදු වීමයි.

 

 

ප්ි_5.jpeg

 

 

අපේ කෙල්ලන්ගේ ශ්‍රමය ඉන්දියාව පෝෂණය කරන හැටි

මෙම ක්‍රියාවලිය තුළ මතු වන ප්‍රබලතම සහ කම්පන සහගත ප්‍රශ්නය වන්නේ, MAS සමාගමට ඉන්දියාවේ මෙවැනි දැවැන්ත ආයෝජනයක් කිරීමට ප්‍රාග්ධනය ලැබුණේ කෙසේද යන්නයි. අපේ කෙල්ලන්ගේ ශ්‍රමය උරා බී උපයාගත් දැවැන්ත ලාභය සිංගප්පූරුව වැනි රටවල බැංකුවල තැන්පත් කර, එම ප්‍රාග්ධනය අවසානයේ ඉන්දියාවේ අඩු ශ්‍රම වැටුපක් අපේක්ෂාවෙන් ආයෝජනය කරන්නේ ද යන බලවත් චෝදනාව මේ හරහා සමාජය තුළ නිර්මාණය වී ඇත.

 

 

දේශීය කර්මාන්තශාලා වසා දමමින් හෝ ඒවායේ මෙහෙයුම් වෙනස් කරමින්, තමිල්නාඩුව තුළ සෘජු රැකියා 7,000ක් උත්පාදනය කිරීමට MAS සමාගම කටයුතු කරන්නේ ලාංකීය ආර්ථිකයට දැවැන්ත ඩොලර් ප්‍රමාණයක් අහිමි කරමිනි. ඔවුන් ලොව පුරා රටවල් 17ක ව්‍යාපාරික ජාලයක් පවත්වාගෙන ගියද, ඔවුන්ගේ එම දැවැන්ත ව්‍යාපාරික අධිරාජ්‍යයේ අත්තිවාරම දැමුවේ මෙරට කාන්තාවන්ගේ ශ්‍රමය බව සමාගමට අමතක වී ඇති සෙයකි.

 

 

mas_4.jpeg

 

 

රාජ්‍ය නියාමන යාන්ත්‍රණයේ නින්දිත බෙලහීනතාව

මෙම සමස්ත ක්‍රියාවලිය තුළ දැඩිව ප්‍රශ්න කළ යුතු අනෙක් කරුණ වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) පවතින උපායමාර්ගික බෙලහීනතාවයයි. තමිල්නාඩු රජය "Guidance Tamil Nadu" නමින් තනි කවුළු ක්‍රමයක් හරහා දින 21ක් වැනි කෙටි කාලයකදී කර්මාන්තශාලා අනුමැතීන් ලබා දෙමින් ආක්‍රමණශීලී ලෙස ගෝලීය ආයෝජන ඩැහැගනිද්දී, අපේ රටේ ආයෝජන මණ්ඩලය තවමත් නිලධාරිවාදයේ මුල් බැසගෙන සිටී.

 

 

තුල්හිරිය මෙත්ලිය කර්මාන්තශාලාව වසා දමද්දී EDB ප්‍රධානී මංගල විජේසිංහ මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කළේ, "මෙය වසා දැමීමක් නොව, සේවකයන් වෙනත් තැන්වලට යොමු කරමින් රෙදි නිෂ්පාදනයට පහසුකම් පුළුල් කිරීමේ ප්‍රතිව්‍යුහගත කිරීමක්" බවයි. රාජ්‍ය නිලධාරීන් ජාතික සම්පත් සහ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට ප්‍රතිපත්ති හදනවා වෙනුවට, අද වන විට බහුජාතික සමාගම්වල තීරණ සාධාරණීකරණය කරන ප්‍රකාශකයන්ගේ භූමිකාවට පිරිහී ඇත.

 

 

mas_2.jpeg

 

 

ඇඟලුම් ක්ෂේත්‍රයේ මේ සා විශාල ශ්‍රම පවුරක් ආරක්ෂා කර ගැනීමට BOI ආයතනයට කිසිදු උපායමාර්ගයක් නැත. දේශීයව ඉපැයූ ලාභය පිටරටට ඇදී යාම නියාමනය කිරීමට හෝ, එම මුදල් නැවත මෙරටම ආයෝජනය කරවා ගැනීමට ලංකාවෙ නියාමන ආයතනවලට නිසි වැඩපිළිවෙළක් නොමැත. විදුලි ගාස්තු අස්ථාවර ලෙස ඉහළ යාම්, අමුද්‍රව්‍ය හිඟය සහ දැඩි බදු ප්‍රතිපත්ති හමුවේ කර්මාන්තකරුවන් මෙරට අතහැර යද්දී, ඊට ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදු නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ ජාතික ආර්ථිකයේ මිනී පෙට්ටියට ඔවුන්ම අවසන් ඇණය ගසමින් සිටින බවයි.

 

 

ජාතික අනන්‍යතාව සහ ගෝලීය ප්‍රාග්ධනය අතර සටනේදී අද දවසේ පරාජය වී ඇත්තේ තම ජීවිතයම යන්ත්‍ර සූත්‍ර අසල දියකර හැරිය අපේම ශ්‍රමිකයන්ය. රජය සහ ආයෝජන මණ්ඩලය තවදුරටත් අවදියෙන් තොරව කටයුතු කරන්නේ නම්, MAS පමණක් නොව තවත් දැවැන්ත සමාගම් රැසක් ලංකාව අතහැර යාම කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි වනු ඇත.

 

 

මූලාශ්‍ර:

  • MAS Holdings 2025 බලපෑම් වාර්තාව (Impact Report)
  • ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නිල ප්‍රකාශ
  • රොයිටර්ස් (Reuters) සහ ඉන්දීය ජාතික මාධ්‍ය ආයතන වාර්තා

 

නවතම ලිපි