2026/2027 අධ්‍යයන වසර සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 17 දෙනෙකුට
චීන රජයේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් පසුගිය 24 වැනිදා කොළඹ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙවර ශ්‍රී ලංකාවෙන් තෝරාගත් මෙම දක්ෂ සිසු සිසුවියන් පිරිසට මූලික උපාධි, ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි සඳහා මෙලෙස චීන රජයේ පූර්ණ අනුග්‍රහය හිමිවී තිබීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න, මෙරට චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානී ජී ලිලී (Ji Lili) මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමතමින් අදහස් දැක්වූ සම්භාවනීය අමුත්තන්, ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය මෙන්ම අධ්‍යාපනික බැඳීම පිළිබඳව විශේෂයෙන් අවධාරණය කළහ. එහිදී නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න පෙන්වා දුන්නේ දෙරට අතර සහයෝගීතාවයේ වර්ධනය සඳහා අධ්‍යාපනය තවදුරටත් අතිශය වැදගත් ස්ථානයක් ගන්නා බවයි. ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට මෙම අගනා අවස්ථාව ලබාදීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවට සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, ශිෂ්‍යත්වලාභීන් හට සිය උණුසුම් සුබපැතුම් ද එක් කළේය.

එමෙන්ම උත්සවය ඇමතූ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානී ජී ලිලී මහත්මිය අවධාරණය කළේ අධ්‍යාපන සහයෝගීතාවය යනු චීන-ශ්‍රී ලංකා සබඳතාවල පවතින අතිශය වැදගත් බැඳීමක් බවයි. හිමිවූ මෙම සුවිශේෂී අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන, වෙහෙස වී අධ්‍යාපන කටයුතුවල නිරත වන ලෙස ඇය සිසුන්ගෙන් ඉල්ලා සිටියාය. එමගින් දෙරට අතර මිත්‍රශීලී සහයෝගීතාවයේ සැබෑ උරුමක්කාරයන් බවට පත්වන ලෙසද ඇය ශිෂ්‍යත්වලාභීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියාය.
"කෘතඥපූර්වක හදවතින් අරඹන උද්යෝගිමත් ගමනක්" - ශිෂ්‍යත්වලාභියෙකුගේ හඬ
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය මෙරට තරුණ පරපුරේ සිහින සැබෑ කිරීමට කෙතරම් බලපෑමක් කරන්නේද යන්න, මෙවර චීන හැංෂෝ සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ (Hangzhou Normal University) ගෝලීය සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සඳහා ශිෂ්‍යත්වය දිනාගත් එක් ශිෂ්‍යත්වලාභී සිසුවියක් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සංවේදී සටහනකින් මනාව පැහැදිලි වේ.
ඇය සිය ජයග්‍රහණයේ සතුට බෙදාගෙන තිබුණේ මෙසේයි.

"මගේ ජීවිතයේ ඉතා සුවිශේෂී සන්ධිස්ථානයක් මගේ ආදරණීයයන් සමඟ බෙදා ගැනීමට හැකි වීම මට විශාල ගෞරවයක් මෙන්ම විශාල සතුටකි. චීනයේ හැංෂෝ සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ ගෝලීය සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා 2026/2027 වෙනුවෙන් චීන මහජන සමූහාණ්ඩුවේ පූර්ණ ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට මට හැකියාව ලැබිණි.
මෙම අගනා අවස්ථාව මට ලබා දීම වෙනුවෙන් චීන මහජන සමූහාණ්ඩුවට, චීන ශිෂ්‍යත්ව කවුන්සිලයට (CSC) සහ ශ්‍රී ලංකාවේ ගරු චීන තානාපතිතුමන් ඇතුළු චීන තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමමි.
මගේ ජීවිතයේ බොහෝ අපූරු පුද්ගලයන්ගෙන් මා ලද ආදරය, සහයෝගය, මඟපෙන්වීම සහ දිරිගැන්වීම නොලැබෙන්නට මෙම ජයග්‍රහණය කිසිසේත්ම සැබෑවක් නොවනු ඇත. සැමවිටම මා ළඟින්ම හිඳිමින් මා කෙරෙහි විශ්වාසය තැබූ මගේ ආදරණීය පවුලේ සැමට මාගේ ගෞරවනීය ස්තූතිය හිමිවේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගේ ආචාර්ය මණ්ඩලයට (විශේෂයෙන් ආචාර්ය සේනානි හරිස්චන්ද්‍ර මහතාට) සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය මනෝජ් ජිනදාස මහතා ඇතුළු මගේ සියලුම ආචාර්යවරුන්ට සහ උපදේශකයින්ට මාගේ ප්‍රණාමය පුද කරමි. ඔබ ලබාදුන් මඟපෙන්වීම සහ දිරිගැන්වීම මා ලැබූ මෙම ජයග්‍රහණයට මහත් ශක්තියක් විය. එසේම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යංශයේ මගේ සියලුම කාර්ය මණ්ඩල සගයන්ට ඔවුන් දැක්වූ සහයෝගය, මිත්‍රත්වය සහ ආදරය වෙනුවෙන් මාගේ අවංක ස්තූතිය පළ කරමි.
මගේ ජීවිතයේ මෙම නව පරිච්ඡේදය ආරම්භ කරමින්, හැංෂෝ සාමාන්‍ය විශ්වවිද්‍යාලය තුළින් අලුත් දේ ඉගෙන ගැනීමටත්, නව ගෝලීය දැනුම හා අත්දැකීම් ලබා ගනිමින් පෞද්ගලිකව මෙන්ම අධ්‍යයන අංශයෙන් වර්ධනය වීමටත් මම බලාපොරොත්තු වෙමි. මා කෙරෙහි විශ්වාසය තැබූ මගේ පවුලේ අයට, ගුරුවරුන්ට, මිතුරන්ට, මට සහාය දුන් සැමට සහ මගේ රටට අභිමානයක් වීමට මම කැපවෙමි.
නව ආරම්භයක්, නව ක්ෂිතිජයක් සහ නිරන්තර අධ්‍යයනයක් උදෙසා කෘතඥපූර්වක හදවතින් මම මෙම උද්යෝගිමත් ගමන ආරම්භ කරමි!"

මෙම සිසු සිසුවියන් 17 දෙනා හුදෙක් ශිෂ්‍යත්වලාභීන් පමණක් නොව, හෙට දවසේ ශ්‍රී ලංකාව සහ චීනය අතර පාලම් ගොඩනඟන තානාපතිවරුන් වනු නොඅනුමානය. ඔවුනට සිය ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අපිදු උණුසුම් සුබපැතුම් එක්කරමු!

