- මහාධිකරණයේදී හෙළි වූ රාජ්‍ය සේවයේ බිඳවැටීම
රුපියල් ලක්ෂ 1,444 ක මහජන මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කරමින්,
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (IVIG) සහ රිටොප්සිමැබ් ඖෂධ රජයේ රෝහල්වලට සැපයීම සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුව, මෙරට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ පවතින බරපතළ දුර්වලතා සහ වගකීම් විරහිතභාවය මනාව නිරාවරණය කරමින් සිටී.
අයිසොලෙස් බයෝටෙක් ෆාමා හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ, පසුගියදා (25) පැවැති සාක්ෂි විභාගය මුළුමනින්ම කේන්ද්‍රගත වූයේ ඖෂධවල ප්‍රමිතිය මැනීමේ විද්‍යාත්මක පදනම සහ රාජ්‍ය ආයතනවල ලේඛන කළමනාකරණයේ ඇති බිහිසුණු හිඩැස් නිරාවරණය කිරීම කෙරෙහිය.

විද්‍යාත්මක පරීක්ෂණ උපකරණවල අරමුණ
පැමිණිල්ලේ හතරවන සාක්ෂිකරු ලෙස වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) ප්‍රතිශක්ති විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා සාක්ෂි ලබා දුන් අතර, පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල විසින් ඖෂධ පරීක්ෂා කළ ක්‍රමවේදයේ තාර්කික පදනම බරපතළ ලෙස ප්‍රශ්න කිරීමකට ලක් කළේය. විශේෂයෙන්ම ඖෂධයේ IGG මට්ටම මැනීම සඳහා භාවිත කළ 'Beckmann cooler' උපකරණය මිනිස් තරල (සීරම්, ප්ලාස්මා) පරීක්ෂා කිරීමට නිපදවා ඇති එකක් මිස, ඖෂධ පරීක්ෂාවට නිපදවූවක් නොවන බව විත්තියේ නීතිඥවරයා තර්ක කළේය.
නීතිඥවරයා: රෝගීන්ගේ IGG බලන්න මැෂින් එක හදලා තියෙන්නේ. ඔබේ මතය තමයි කුප්පියේ IGG එක හා සමානයි කියන එක.
සාක්ෂිකරු: මෙහි තියෙන්නේ යම් පුද්ගලයෙක්ගේ IGG ද කුප්පියක තියෙන IGG ද යන්න වෙනම දෙයක්. මිනිසුන්ගේ රෝග ලක්ෂණ ටෙස්ට් කරන්න තමයි මැෂින් එක හදලා තියෙන්නේ. බොහෝමයක් බෙහෙත්වල IGG ටෙස්ට් කරන්න හදලා නෑ.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති): ඔබ කියන්නේ වෛද්‍ය උපකරණයක දත්ත රෝගීන් diagnosis කිරීමට බාධාවක් නෑ කියලද?
සාක්‍ෂිකරු: ඔව් ස්වාමීනි.

ලේඛනවල අතුරුදන් වූ සාම්පල අංක සහ අනුමාන පරීක්ෂණ
මෙම හරස් ප්‍රශ්න ඇසීමේදී රාජ්‍ය සේවයේ දුර්වලතාව වඩාත් තීව්‍ර ලෙස හෙළි වූයේ පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාව සහ ලේඛන නඩත්තුව පිළිබඳව නීතිඥවරයා මතු කළ තියුණු තර්ක හමුවේය. අදාළ කුප්පියේ තිබූ IVIG වල IGG පරීක්ෂාව තහවුරු කිරීම සඳහා කළ බව කියන දෙවැනි පරීක්ෂාව සහ රසායනාගාර වාර්තා පවත්වාගෙන යාමේ ඛේදජනක තත්ත්වය එහිදී පහත සංවාදය හරහා මනාව නිරාවරණය විය.
නීතිඥවරයා: එම (දෙවැනි) පරීක්ෂාව ඔබ විසින් සිදුකළාද?
සාක්ෂිකරු: නැහැ. මා විසින් එය සිදුකළේ නෑ.
නීතිඥවරයා: ඒ සඳහා භාවිතා කළ සාම්පල ඔබ විසින් ලබා දුන් බවට වාර්තාවේ කොතැනක හෝ සඳහන්ව තිබෙනවාද?
සාක්ෂිකරු: එවැනි සටහනක් වාර්තාවේ කොතැනකවත් නැහැ.
නීතිඥවරයා: එහි ලැබ් නම්බරයක් (Lab number) හෝ සාම්පල් නම්බරයක් සඳහන්ව නෑ නේද?
සාක්ෂිකරු: එවැන්නක් අදාළ වාර්තාවේ සඳහන්ව නැහැ.
නීතිඥවරයා: පරීක්ෂාවට ලක් කළේ කුමන සාම්පලද යන්න පිළිබඳව මෙම වාර්තාව මගින් සොයාගත හැකිද?
සාක්ෂිකරු: එවැනි හඳුනාගැනීමක් කළ නොහැකියි. ස්වාමීනී, අපේ ලැබ් එකේ IVIG ඇති බ්‍රෑන්ඩ් එකක් වෙන තිබුණේ නෑ, මෙය පමණයි තිබුණේ. ඒවා තියෙන්නේ වෛද්‍ය සැපයුම් ඒකකයේ. අප දෙපාර්තමේන්තුවේ ඒ වන විට තිබුණේ 'Live Earth' බ්‍රෑන්ඩ් එක පමණයි. ඒ නිසා පරීක්ෂාවට ලක් කළේ මෙය පමණක් බව ප්‍රකාශ කළ හැකියි.
නීතිඥවරයා: ඔබ ඔය කරන ප්‍රකාශය මෙම වාර්තාව බලලා වෙනත් අයෙකුට තේරුම්ගත හැකිද?
(මෙම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයට විරෝධය පළ කළ අතර, සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මැදිහත් වෙමින් ප්‍රශ්නය ඇසීමට අවසර ලබා දුන්නේය.)
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ: මේ වාර්තාව බලන කෙනෙකුට "මොන වගේ සාම්පලයක්ද පරීක්ෂා කළේ" කියලා තේරුම් ගන්න පුළුවන්ද කියන එක තමයි එම ප්‍රශ්නයෙන් අහන්නේ. ඒ නිසා එම ප්‍රශ්නය යොමු කිරීම කළ හැකියි.
සාක්ෂිකරු: ස්වාමීනි, මෙය එක document එකක් පමණයි. එහිදී මා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම මහතාට සටහනක් දැම්මා මෙය අයිසොලෙස් සාම්පලය බවට. අදාළ සාම්පලය බව සනාථ කිරීමට තමයි එය කළේ.
රසායනාගාර අංකයක් හෝ නොමැතිව, ඒ අවස්ථාවේ රසායනාගාරයේ තිබුණේ අදාළ සමාගමේ ඖෂධය පමණක් නිසා එය පරීක්ෂා කළ බවට අනුමාන කළ යුතු තත්ත්වයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ නිර්මාණය වී තිබීම මෙමගින් තහවුරු විය.

තනුක කිරීමේ ගැටලුව සහ නොලියවුණු වාර්තා
IGG ප්‍රතිශතය 3000 ට වඩා වැඩි වූ විට එම උපකරණයෙන් නිශ්චිත අගයක් ගණනය කළ නොහැකි බව සාක්ෂිකරු පිළිගත් අතර, Reliance Life Science සමාගමේ ඖෂධයක් මීට පෙර පරීක්ෂා කළ බව කීවද, ඒ කිසිවක් නිල වාර්තාවල සටහන්ව නොතිබූ බව නීතිඥවරයා මතු කළ ප්‍රශ්න කිරීම් හරහා තහවුරු විය. කුප්පියෙහි ඇතුළත් ද්‍රාවණය තනුක (Dilute) කර පරීක්ෂණය නොකළේ මන්දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ, එහි IGG මට්ටම 75 ට වඩා අඩුවෙන් (ප්‍රතිදේහ අඩංගු නොතිබූ නිසා) පැවති බැවින් තනුක කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවූ බවයි.
ජීවිතයත් මරණයත් අතර තීරණය
ADR වාර්තා කිරීමේ අනිවාර්යතාව
මෙම පරිපාලනමය දුර්වලතා මධ්‍යයේ, රෝගීන්ගේ ජීවිත කොතරම් අවදානමකට ලක්ව ඇත්ද යන්න නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නැගූ ප්‍රශ්න හමුවේ තවදුරටත් පැහැදිලි විය.
ස්වයං ප්‍රතිදේහ නිෂ්පාදනය නොවන ප්‍රතිශක්තීකරණ ඌනතා රෝගීන්ට IVIG ලබා නොදුන්නහොත්, වෛරසය රුධිරය හරහා මොළයට ගොස් හෝ පෙනහළු ආසාදනය වී (නිව්මෝනියා තත්ත්වයෙන්) රෝගියා දිගු කාලයක් අතිශය දුක්ඛිත තත්ත්වයකට පත්ව මියයන බව වෛද්‍ය රජීව ද සිල්වා අවධාරණය කළේය. එබැවින් මෙම රෝගීන්ට අදාළ ඖෂධය ජීවත්ව සිටින තාක් කල් මාසෙන් මාසයට අත්‍යවශ්‍ය වේ.
එමෙන්ම, ඖෂධයක් ලබාදීමෙන් පසු අහිතකර ප්‍රතික්‍රියා (ADR) මතුවන්නේ නම් එය වහාම SAFREx කමිටුවට දැනුම් දීම අනිවාර්ය බවත්, එසේ නොවුණහොත් මෙවැනි ඖෂධ භාවිතා කිරීම නිසා රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. මාතලේ සහ මහනුවර රෝහල්වල රෝගීන් දෙදෙනෙකු බරපතළ 'ඇනෆිලැක්සිස්' (Anaphylaxis - අධි සංකූලතා) තත්ත්වයට පත් වූයේද මෙම ක්‍රියාවලියේ ඇති ඛේදවාචකය නිසාවෙනි.
ඩිජිටල්කරණයේ සිදුරුවලින් රිංගූ දූෂිත ජාලය
මෙම නඩු වාර්තාවේ ඊළඟ වැදගත්ම සාක්ෂිය ඉදිරිපත් වූයේ පැමිණිල්ලේ 165 වන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර කුමාර කුෂාන්ත හේමන්ත ගෙනි. දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ ඇසූ හරස් ප්‍රශ්න හමුවේ, 2023 වසරේ 'ස්වස්ථා' පද්ධතිය හඳුන්වා දීමෙන් පසු පරිපාලන ක්‍රියාවලිය දුර්වල වූ ආකාරය හෙළි විය.
එකල වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය කපිල වික්‍රමනායකගේ උපදෙස් මත හඳුන්වා දුන් මෙම "Paperless සහ Seal-less" (කඩදාසි සහ මුද්‍රා රහිත) ක්‍රමවේදය හරහා භෞතික අනුමැතියකින් තොරව හුදෙක් දත්ත පමණක් පද්ධතියට ඇතුළත් කර තිබේ. ඉන්වොයිස් පත් හතක් හරහා අයිසොලෙස් සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු වෛද්‍ය සැපයුම් ඒකකයට මෙම ඖෂධ සපයා ඇති අතර, ඩිජිටල්කරණයේ මුවාවෙන් අනුමැතිය සහ විනිවිදභාවය මගහරිමින් කෝටි ගණනක ව්‍යාජ ඖෂධ රජයේ ගබඩාවලට ඇතුළු කිරීමට තරම් සෞඛ්‍ය පද්ධතියේ පරිපාලනය සිදුරු සහිත වී ඇති බව මෙම සාක්ෂියෙන් තාර්කිකව ඔප්පු වේ.
නිසි ලේඛන කළමනාකරණයක් නොමැති රසායනාගාර, සාම්පල් අංකයක් හෝ නොමැති වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ ඉහළ නිලධාරීන්ගේ නිසි අධීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වන ඩිජිටල් දත්ත පද්ධති මගින් සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවයම දූෂිත ජාලයක ග්‍රහණයට නතු වී ඇති බව මෙම නඩු විභාගය සමාජයට යළි යළිත් පසක් කර දෙයි. ජීවිතාරක්ෂක ඖෂධයක් පරීක්ෂා කිරීමේදී එයට නිශ්චිත රසායනාගාර අංකයක් ලබාදීමට තරම්වත් රාජ්‍ය සේවයේ විධිමත්භාවයක් නොමැති වීම, මෙම ඛේදවාචකයේ සැබෑ තරම කියාපාන්නකි.
Right to Reply
As a responsible media organization, we strictly uphold the "Right to Reply". If you or your organization are mentioned in any of our articles and wish to express an objection, share a different perspective, or provide a factual clarification, you have the right to do so. We are committed to fair and balanced journalism.
Please submit your responses or clarifications to:
[This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / whatsapp 0774945996]
Editor's mail - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

