ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ්‍යය සහ නියාමන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක්
සනිටුහන් කරමින්, වලංගු බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු හා ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24 කට මෙරට තුළ ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයක් මත 2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරි පනත (GRA) යටතේ ගත් මෙම තීරණය, දශක ගණනාවක් පුරා නීතිමය දුර්වර්ණ කලාපයක් හරහා බිලියන ගණනින් ජාතික ධනය සූරාකෑ ඩිජිටල් සෙවනැලි ආර්ථිකයකට එල්ල කළ දැවැන්ත මරු පහරකි.
එහෙත්, මෙම නීතිගරුක මෙහෙයුම හමුවේ සමස්ත සමාජයම මවිතයට පත් කරන දැවැන්ත පරස්පරයක් මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් පිටිය හරහා නිර්මාණය වී ඇත.
පැන නගින ප්‍රධානතම හා තියුණුම තර්කය වන්නේ, නීතිවිරෝධී යැයි රජය විසින්ම තහනම් කරන ලද 1xBet වැනි ජාත්‍යන්තර මාර්ගගත ඔට්ටු සමාගම්, මෙවර LPL තරගාවලියේ ප්‍රධාන හවුල්කරුවන් හා අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි.
සෙවනැලි ආර්ථිකය සහ නීතියේ ක්‍රියාකාරීත්වය
1941 සූදු ආඥාපනත සහ 2010 කැසිනෝ පනත තුළ තිබූ නියාමන රික්තකය උපක්‍රමශීලීව භාවිතා කරමින්, කිසිදු වගකීම් සහගත ප්‍රතිපත්තියකින් තොරව ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සහ පාසල් දරුවන් පවා මෙම ඩිජිටල් ව්‍යසනයට ගොදුරු විය.
තත්ත්වය කොතරම් බරපතළ වීද යත්, නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් පවා මීට ඇබ්බැහි වීමේ අවදානමක් මතුවිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති මඟහරිමින් ටෙදර් (USDT) සහ Binance P2P හරහා රටේ විදේශ විනිමය අන්තර්ජාල කැසිනෝ වෙත ගලා ගියේ ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමිනි.
නව සූදු නියාමන අධිකාරි පනතේ 6(c) වගන්තිය හරහා නීතිවිරෝධී සූදු මැඩපැවැත්වීමේ පූර්ණ බලය දැන් ලැබී ඇත. බලපත්‍ර රහිතව සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම රුපියල් මිලියන 10ක් දක්වා දඩයකට සහ වසර 2ක සිරදඬුවමකට යටත් වන වරදකි. ඒ අනුව 1xBet, Betway, Melbet ඇතුළු වෙබ් අඩවි 24ක් තහනම් කිරීම අතිශය සාධනීය පියවරකි. නමුත් නීතිය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාවට සහ අන්තර්ජාලයට පමණක්ද?
"ලංකා බෙටින් ලීගය" සහ ක්‍රීඩාවේ කළු සල්ලි
මේ වන විට අවසන් වටයට පිවිස ඇති LPL තරගාවලිය දෙස බැලීමේදී, එය "ලංකා ප්‍රිමියර් ලීගය" වෙනුවට "ලංකා බෙටින් ලීගය" බවට පත්ව ඇති බව පැහැදිලිය. සූදු වෙබ් අඩවි තහනම් කිරීමේ නියෝගය මෙම තරගාවලියේ අනුග්‍රාහක බෙටින්ග් සමාගම් සම්බන්ධයෙන් බලපැවැත්වෙන්නේ නැද්ද යන්න බරපතළ ගැටලුවකි.
ක්‍රීඩකයන්ගේ ප්ලාස්ටර්
ඇතැම් ක්‍රීඩකයන්ට තම ජාතිකත්වයේ හෝ ආගමික විශ්වාසයන්හි ගෞරවය රකින්නට, තම ඇඳුමේ ඇති බෙටින්ග් සමාගම් ලාංචන ප්ලාස්ටර් අලවා වසාගෙන ක්‍රීඩා කිරීමට සිදුව තිබේ. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එක් කර ඇත්තේ මකා දැමිය නොහැකි කළු පැල්ලමකි.
මූල්‍ය විනිවිදභාවය
කණ්ඩායමක් මිලට ගැනීමට සහ නඩත්තුවට කෝටි 40-50ක් පමණ වැය වෙතත්, ප්‍රේක්ෂකයන්ගෙන් හිස් වූ ක්‍රීඩාංගණ තුළින් එම මුදල කිසිසේත් උපයාගත නොහැක. එසේ නම්, මෙතරම් මුදලක් ආයෝජනය කරන්නේ කළු සල්ලි සුදු කිරීමට හෝ තරග පාවාදීම් හරහා මුදල් ඉපයීමට නොවේදැයි සාධාරණ සැකයක් මතු වේ.
පරිපාලන අර්බුද
දඹුල්ල සික්සර්ස් පිල වැනි කණ්ඩායම් වල කළමනාකාරීත්වය සහ හිමිකාරීත්වය පිළිබඳ ගැටලු, ජැෆ්න කිංග්ස් හිමිකරුවන්ගේ නෛතික අර්බුද මෙන්ම, අනිල් මොහාන් වැනි පාර්ශ්වයන් සමඟ ක්‍රිකට් බලධාරීන් දක්වන සමීප සබඳතා මෙම තරගාවලියේ විශ්වසනීයත්වය මුළුමනින්ම විනාශ කර ඇත.
පදනමක් නැති අනුග්‍රාහකත්ව සහ ජනතා අපේක්ෂාව
TRCSL මගින් තහනම් කරන ලද 1xBet වැනි ආයතන තරගාවලියේ ප්‍රධාන හවුල්කරුවන් ලෙස ප්‍රදර්ශනය වීම, රටේ නීතිය ප්‍රසිද්ධියේම හාස්‍යයට ලක් කිරීමකි.
මෙම තරගාවලියට අනුග්‍රාහකයන් කැඳවීමේදී, ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූල (Legalize) පදනමක් නොමැති සූදු ආයතන ක්‍රීඩා තරග සඳහා සම්බන්ධ කරගත්තේ කවර පදනමක් යටතේද?

සූදු නියාමන අධිකාරිය ජනතාවට මුදල් ආයෝජනය නොකරන ලෙස අවවාද කරන වෙබ් අඩවි වල ප්‍රචාරණ නාමයන්, ක්‍රිකට් පිටිය මැද රජයේ අනුග්‍රහය සහිතව ප්‍රදර්ශනය වීම තරම් තවත් ඛේදවාචකයක් නොමැත. මෙය ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ කණ්ඩායමේ (FATF/APG) ඇගයීම් වලට ලක්වීමට නියමිත රටක මූල්‍ය පද්ධතිය පිළිබඳව ජාත්‍යන්තරයට යවන වැරදි සහගත සංඥාවකි.
ක්‍රිකට් සුද්ධ කිරීමට පැමිණි පරිවර්තන කමිටු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මේ සියල්ල හමුවේ මුනිවත රැකීමෙන් ඔවුන්ගේ සැබෑ ස්වභාවය නිරාවරණය වී ඇත. දැන් මේ අර්බුදය නිරාකරණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඉහළම විධායකයටයි.
තහනම් කරන ලද සූදු සමාගම්වල අනුග්‍රාහකත්වය LPL පිටිය තුළ තවදුරටත් වලංගු වන්නේ කෙසේද යන්න පිළිබඳවත්, ජාතික ධනය සහ ක්‍රීඩාවේ අනාගතය සුරකින නව නීති රාමුව ක්‍රිකට් තණතීරුවට ද වෙනසකින් තොරව ආදේශ කරන්නේද යන්න පිළිබඳවත්, ජනාධිපතිවරයාගේ මීළඟ තීරණය කුමක් වේද යන්න දෙස අතිමහත් උනන්දුවකින් යුතුව සමස්ත ජනතාවම බලා සිටිති.
නීතියක් අකුරටම ක්‍රියාත්මක වන්නේ නම්, එය මහමගටත්, අන්තර්ජාලයටත්, ක්‍රිකට් පිටියටත් එකසේම විය යුතුය.
# සමාරා පරණවිතාන

