SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

2021 මැයි 20 වන දින කොළඹ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සිංගප්පූරු ධජය සහිත

'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව ගිනිගැනීම හුදෙක් එක් නාවික අනතුරක් පමණක් නොවේ. එය ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම සමුද්‍රීය ප්ලාස්ටික් කාන්දුව මෙන්ම අතිශය සංකීර්ණ පාරිසරික ඛේදවාචකයක ආරම්භයයි.

 

 

 

කෙසේ වෙතත්, මෙම අඳුරු වලාකුළෙහි රිදී රේඛාවක් සනිටුහන් කරමින්, 2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාත්‍යන්තර පාරිසරික යුක්තිය උදෙසා ඓතිහාසික තීන්දුවක් ලබා දෙන ලදී. මෙම අදෘශ්‍යමාන මරණයේ තරම සහ ඒ වෙනුවෙන් මෙරටින් නැගුණු නීතිමය සටන ලාංකිකයාට අතිශය වැදගත්ය.

 

 

 IMG_4449-1536x1152.jpeg

 

 

“සාගරයට මුසු වූ අදෘශ්‍යමාන මරණය - කම්පනයට පත්කරන දත්ත”

ගිනිගෙන මුහුදුබත් වූ නෞකාව ශ්‍රී ලංකා සාගර කලාපයට මුදාහළ විනාශයේ තරම අතිශය බරපතළය. මෙය හුදු ප්ලාස්ටික් දූෂණයක් පමණක් නොව, විෂ රසායනික බෝම්බයක් පුපුරා යාමක් වැනිය.

 

 

  • ප්ලාස්ටික් නර්ඩල්ස් (Nurdles)

නෞකාවෙන් මෙට්‍රික් ටොන් 1,680 කට අධික (ප්ලාස්ටික් පෙති බිලියන 70 ත් 75 ත් අතර ප්‍රමාණයක්) සාගරයට එක් විය. මෙම ක්ෂුද්‍ර ප්ලාස්ටික් දිරාපත් නොවන අතර, සාගරයේ ඇති බැර ලෝහ සහ කාබනික දූෂක චුම්බක මෙන් තමන් වෙත ඇදගැනීමේ හා අවශෝෂණය කරගැනීමේ හැකියාවෙන් යුක්තය.

 

  • නයිට්‍රික් අම්ලය (Nitric Acid)

නෞකාවේ ගබඩා කර තිබූ නයිට්‍රික් අම්ලය ටොන් 25 ක් මුහුදට එක්වීමෙන් සාගර ජලයේ ආම්ලිකතාවය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

 

  • අනෙකුත් විෂ රසායනික

අන්තරාසර්ග පද්ධතියට හානි කරන බිස්ෆෙනෝල්, පිළිකාකාරක PAHs, කෝස්ටික් සෝඩා සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ජලයට මුදා හැරී ඇත.

 

 

පාරිසරික සහ මානව ඛේදවාචකය

මෙම ව්‍යසනයේ ප්‍රතිඵල ඉතා කෙටි කලක් තුළ මෙන්ම දිගුකාලීනව ද අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

 

අනතුරින් පසු කෙටි කාලයක් තුළ, දැඩි ලෙස පිළිස්සුණු සහ විෂ ශරීරගත වූ මුහුදු කැස්බෑවන් 417 ක්, ඩොල්ෆින් මසුන් 48 ක් සහ තල්මසුන් 8 දෙනෙකුගේ සිරුරු ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩගසා තිබුණි. ඊට අමතරව සාගර ජෛව පද්ධතියේ කොඳුනාරටිය බඳු සාගර ශාක ප්ලවාංග (Phytoplankton) දැඩි ලෙස විනාශයට ලක් විය.

 

 

මුහුදට එක්වූ ක්ෂුද්‍ර ප්ලාස්ටික්, ආහාර යැයි සිතා කුඩා මසුන්, කකුළුවන් සහ කවච සහිත සතුන් ගිලදැමීම හේතුවෙන් ඔවුන්ගේ ආහාර මාර්ග අවහිර වී කුසගින්නේ මියයාමේ අවදානමක් නිර්මාණය විය.

 

 

ප්ලාස්ටික් සහ බැර ලෝහ ආහාර දාමය ඔස්සේ මිනිස් සිරුරට ගමන් කිරීමේ දැඩි අවදානමක් පවතී. ස්නායු ආබාධ, හෝමෝන ගැටලු සහ පිළිකා වැනි බරපතළ සෞඛ්‍ය තර්ජන මින් ඇතිවිය හැක. එසේම, වසරකට අධික කාලයක් මසුන් මැරීම තහනම් කිරීම හේතුවෙන් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර, ඔවුන්ගේ දැල් ආම්පන්න විනාශ වී, ඇතැමුන්ට රසායනික අසාත්මිකතා ද ඇති විය.

 

 

සිව් වසරක නීතිමය සටන

මෙම දැවැන්ත විනාශය හමුවේ, පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) සහ ධීවර ප්‍රජාව එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෙන ගිය සිව් වසරක නීතිමය සටන, 2025 ජුනි මාසයේදී ජාත්‍යන්තර අවධානය දිනාගත් ඓතිහාසික තීන්දුවකින් අවසන් විය.

 

 

තීන්දුවේ සුවිශේෂී කරුණු

මෙතරම් විශාල පරිමාණයේ පාරිසරික ව්‍යසනයක් සඳහා මෙම මූලධර්මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි. එසේම පාරිසරික ව්‍යසනයක් නීතිය ඉදිරියේ 'අපරාධයක්' ලෙස සැලකූ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

 

 

නෞකාවේ හිමිකරුවන් සහ රක්ෂණකරුවන් විසින් මූලික වන්දියක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කළේය.

 

 

නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන විට එහි පැවති අවදානම් සහගත තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් වසන් කිරීම සම්බන්ධයෙන් නෞකාවේ අයිතිකරුවන්, ක්‍රියාකරුවන් සහ දේශීය නියෝජිතයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව අධිකරණය අවධාරණය කළේය.

 

 

වන්දි මුදල් ගෙවීම මඟහරින නෞකා සමාගමේ නිරුවත

අධිකරණ තීන්දුව අතිශය පැහැදිලි වුවද, නෞකාවේ හිමිකාරීත්වය දරන 'X-Press Feeders' සමාගම සහ ඔවුන්ගේ රක්ෂණ සමාගම් අදාළ වන්දි මුදල් ගෙවීම මඟහරිමින් සිටී.

 

 

නීතිය ජයග්‍රහණය කර තිබුණද, විනාශ වූ අපගේ සාගර පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට සහ පීඩාවට පත් ධීවර ප්‍රජාවට සාධාරණය ඉටු කිරීමට නම් මෙම වන්දි මුදල් කඩිනමින් අයකර ගැනීම අත්‍යවශ්‍ය වේ. එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය ලොවට කියා දෙන පාඩම පැහැදිලිය. අනාගතයේදී බහුජාතික සමාගම්වලට තම ලාභය වෙනුවෙන් පරිසරය විනාශ කර නිදැල්ලේ යාමට ඉඩ නොදිය යුතු බව මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් මුළු ලෝකයටම පෙන්වා දී ඇත.

 

 

නවතම ලිපි