SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ්‍යය සහ නියාමන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන්

කරමින්, බලපත්‍ර නොමැති සියලුම ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) ඊයේ රාත්‍රියේ පියවර ගෙන ඇත.

 

 

වාර්තා වූ ආකාරයට මෙය හුදෙක් සරල තාක්ෂණික වාරණයක් නොවේ. එය දශක ගණනාවක් පුරා නීතිමය දුර්වර්ණ කලාපයක් හරහා බිලියන ගණනින් ජාතික ධනය සූරාකෑ සහ කළු සල්ලි සුදු කළ ඩිජිටල් සෙවනැලි ආර්ථිකයකට එල්ල කළ දැවැන්ත මරු පහරකි.

 

 

මීට පෙර පැවති යල්පැන ගිය 1941 සූදු ආඥාපනත හෝ 2010 කැසිනෝ පනත තුළ ඔන්ලයින් සූදුව පිළිබඳ කිසිදු නෛතික නිර්වචනයක් නොවීය. මෙම නියාමන රික්තකය සහ විදුලි සංදේශ කොමිසමට තිබූ නෛතික සීමාවන් උපක්‍රමශීලීව භාවිතා කළ 1xBet, Megapari සහ Melbet වැනි ජාත්‍යන්තර වේදිකා, කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් ඉලක්ක කරගනිමින් සිය මෙහෙයුම් දියත් කළේය.

 

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මූල්‍ය බුද්ධි ඒකකයේ දැඩි නීති රීති මගහරිමින්, මෙම ඔන්ලයින් කැසිනෝ ගනුදෙනු සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වූයේ ටෙදර් (USDT) වැනි ක්‍රිප්ටෝ මුදල්ය. Binance P2P වැනි ජාල හරහා රුපියල් දේශීයව හුවමාරු වී විදේශ විනිමය ලෙස සෘජුවම අන්තර්ජාල කැසිනෝ වෙත ගලා ගියේය. මෙය සාර්ව ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම රටේ ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් විය.

 

 

 

කිසිදු වයස් තහවුරු කිරීමේ යාන්ත්‍රණයක් හෝ වගකීම් සහගත ප්‍රතිපත්තියක් (Responsible Gaming) නොමැති වීම හේතුවෙන් පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව විශාල වශයෙන් මෙම ඩිජිටල් ව්‍යසනයට ගොදුරු විය. තත්ත්වය කෙතරම් බරපතළ වී ද යත්, ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් නිලධාරීන් පවා ඔන්ලයින් සූදුවට ඇබ්බැහි වී ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු මෙයට ගොදුරු වුවහොත් කිසිදු සමාවක් නොදී සේවයෙන් පහ කරන බවත් පොලිස්පතිවරයාට ප්‍රසිද්ධියේ අවධාරණය කිරීමට සිදු විය. නියාමනයක් නොමැතිකම ආයතනික පිරිහීම දක්වාම විහිදී ගිය ආකාරය මින් මනාව තහවුරු වේ.

 

 

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට TRCSL ක්‍රියාත්මක කළ වෙබ් අඩවි අවහිර කිරීමේ මෙහෙයුමට සෘජු නීතිමය බලය ලැබුණේ අභිනවයෙන් බලාත්මක වූ 2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරි පනත (GRA) හරහාය. එහි 6(c) වගන්තිය මගින් නීතිවිරෝධී සූදු මැඩපැවැත්වීම සඳහා පොලිසිය සහ දුරකථන සේවා සපයන්නන් ඇතුළු අනෙකුත් ආයතන සමග අන්තර් සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලය නව ස්වාධීන අධිකාරියට පවරා ඇත.

 

 

මෙම නව නීතිය යටතේ බලපත්‍ර රහිතව සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම රුපියල් මිලියන 10ක් දක්වා දඩයකට සහ වසර 2ක සිරදඬුවමකට යටත් වන සාපරාධී වරදකි. ඩිජිටල් සූදු සඳහා වෙනම බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, පාරිභෝගිකයින් රවටන ඇල්ගොරිතම භාවිතය ද සම්පූර්ණයෙන්ම තහනම් කරමින් විනිවිදභාවය තහවුරු කර තිබේ.

 

 

නියාමනයට සමගාමීව, 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි දැඩි බදු ප්‍රතිසංස්කරණ ද හඳුන්වා දී ඇත. ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ප්‍රවේශ බද්ද ඩොලර් 100 දක්වා 100% කින් ඉහළ නංවා ඇති අතර, ආයතනවල දළ එකතු කිරීමේ බද්ද 18% දක්වා වැඩි කර තිබේ. මෙහි මූලික උපායමාර්ගය වන්නේ දේශීය ජනතාව සූදුවෙන් ඈත් කර තබමින්, ධනවත් සංචාරකයින්ගෙන් උපරිම විදේශ විනිමයක් භාණ්ඩාගාරයට එකතු කර ගැනීමයි.

 

 

සාම්ප්‍රදායික දේශීය හිමිකාරීත්වයෙන් ඔබ්බට යමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල Melco වැනි දැවැන්ත සමාගම් කොළඹ 'City of Dreams' හරහා මෙරටට පිවිසීම මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් හෙවත් "ඉන්දියාවේ මැකාවු" බවට පත්වීමේ ගමන් මග වේගවත් වී ඇත. ඉදිරියේදී කොළඹ වරාය නගරය (Port City) කේන්ද්‍ර කරගනිමින් ද අක්වෙරළ සූදු ක්‍රියාකාරකම් විධිමත්ව ප්‍රසාරණය වනු ඇත.

 

 

දශක ගණනාවක් පුරා අතලොස්සකගේ ඒකාධිකාරියක් සහ ඩිජිටල් ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ සූදු සහ කැසිනෝ කර්මාන්තය, අද වන විට පූර්ණ විනිවිදභාවයකින් යුතු නීති රාමුවකට නතු වෙමින් පවතී. GRA හි උපදෙස් මත TRCSL ගත් අද දින තීරණය, 2026 වසරේ මුහුණ දීමට නියමිත ආසියා පැසිෆික් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ කණ්ඩායමේ (FATF/APG) ඇගයීම් සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සුරක්ෂිත බව ලෝකයට දෙන ප්‍රබල සංඥාවකි. නව සූදු නියාමන අධිකාරිය යනු හුදෙක් රාජ්‍ය බදු එකතු කරන්නෙකු පමණක් නොව, ජාතික ධනය සහ සමාජයේ අනාගතය සුරකින ප්‍රබලම ආරක්ෂක පවුරක් බව දැන් අවිවාදයෙන් තහවුරු වී හමාරය.

 

නවතම ලිපි